brand logo

කළු තුෂාරට මරණීය දණ්ඩනය නියම වෙයි

10 December 2019

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 25 ක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු හේරත් මුදියන්සේලාගේ තුෂාර හෙවත් කළු තුෂාර නමැත්තෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් අද (10) මරණීය දණ්ඩනය නියම කරන ලදී. 2017 වසරේ මැයි මස 12 වනදා සිය සේදවත්ත ප්‍රදේශයේ දී යතුරුපැදියකින් හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 59 ප්‍රවාහනය කරමින් සිටියදී සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කොට්ඨාශයේ නිළධාරීන් විසින් මෙම විත්තිකරු අත්අඩංගුව ගෙන තිබුණි. ඉන් අනතුරුව නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර ගොනු කරනු ලැබීය. දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව තීන්දු කළේය. ඒ අනුව එම චෝදනා වලට විත්තිකරු වරදකරු කළ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා එම චෝදනා දෙක සඳහා වෙන් වෙන් වශයෙන් මරණීය දණ්ඩනය නියම කරන බව සිය තීන්දුවෙන් සඳහන් කර සිටියේය. මෙම විත්තිකරු භාරයේ තිබී අත් අඩංගුවට ගත් මුළු හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 59 ක් වන අතර එහි අඩංගු ශුද්ධ හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 25.77 බවට රජයේ රස පරීක්ෂකවරයා විසින් වාර්තා කර ඇති බව ද නඩු විභාගයේදී අනාවරණය විය. (අධිකරණ වාර්තාකරු )
 

More News..