brand logo

කළුබෝවිලට ගෙනිච්ච අම්මට කොරෝනත් නෑ අන්තිමට පුතත් නෑ

03 November 2020

කොවිඩ් 19 යළිත් මෙරට සීග්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමග ඉතා අවාසනාවන්ත සිදුවීමක් හෝමාගම කිරිවත්තුඩුව කොස්වත්ත හරිත උයන ප්‍රදේශයෙන් පසුගියදා වාර්තා විය. කොස්වත්ත හරිත උයන ප්‍රදේශයේ කාන්තාවක් ඉකුත් 30 වැනිදා කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි සැකපිට වෛද්‍ය ප්‍රතිකාර සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දකුණු කොළඹ ශික්ෂණ රෝහලට රැගෙන යන ලදී. පසුගිය 15 වැනිදා මහරගම මාළු වෙළෙඳ සැලකට ගොස් ආපසු පැමිණි මෙම කාන්තාව දින කිහිපයකින් පසු අසනීපවීම හේතුවෙන් ඒ පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කිරීමට කටයුතු කළේය. කොවිඩ් වැලඳී ඇතැයි සැකපිට ඒ අනුව ඇයව මෙලෙස ප්‍රතිකාර සඳහා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට රැගෙන ගොස් තිබේ. ඇය සිය නිවසේ ජීවත් වූයේ විශේෂ අවශ්‍යතා සහිත තම තරුණ පුතණුවන් සමගිනි. මහජන පරීක්ෂකවරුන් මෙම කාන්තාව ප්‍රතිකාර සඳහා රැගෙන ගොස් ඇත්තේ එම විශේෂ අවශ්‍යතා සහිත දරුවා තනිවම නිවසේ රඳවමිනි. නමුත් ප්‍රදේශවාසීන් මෙම තරුණයාට දුරකථන ඔස්සේ කතා කර සුවදුක් බැලීමට අමතක කළේද නැත. ප්‍රතිකාර සඳහා රැගෙන ගිය මෙම කාන්තාවද අසල්වාසී කාන්තාවකට දුරකථන ඇමතුමක් ලබාදී පවසා තිබුණේ තම දරුවා පිළිබඳව සොයා බලන ලෙසය. ඒ අනුව අදාළ කාන්තාව මෙම තරුණයාගේ සුවදුක් බැලීම සඳහා තවත් කිහිපදෙනකු සමග එම නිවසට ගොස් ඇත. එහිදී සිදුකළ පරීක්ෂාවේදී නිවස තුළින් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු නිසා නිවසේ දොර ඇර බැලීමට ඔවුන් කටයුතු කර තිබේ. එහිදී ඔවුනට දැකගත හැකිවූයේ අවාසනාවන්ත සිද්ධියකි. නිවසේ හුදෙකලා වී රැඳී සිටි එම තරුණයා ගෙල වැලලාගෙන මියගොස් ඇති බව ප්‍රදේශවාසීන්ට දැකගත හැකිවිය. ඒ අනුව ප්‍රදේශවාසීන් මේ සම්බන්ධව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දී ඇත. පෙරවරු දහයට පමණ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට මේ පිිළිබඳ දැනුම් දුන්නද පස්වරු දෙක පමණ වනතුරුත් ඔවුන් එම ස්ථානයට නොපැමිණි බව ප්‍රදේශවාසීහු පවසති. කෙසේ වෙතත් මේ සම්බන්ධව මාධ්‍ය මගින් කළ විමසුමකදී ප්‍රදේශය භාර අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ප්‍රකාශ කළේ මෙම විශේෂ අවශ්‍යතා සහිත තරුණයා සමග නිවසේ නැවතී සිටීමට පැමිණෙන ලෙස ගාල්ල ප්‍රදේශයේ සිටින ඔහුගේ සහෝදරයකුගෙන් ඉල්ලීමක් කළද ඔහු එය ප්‍රතික්ෂේප කළ බවය. ඊයේ (2) වනවිටත් මෙම තරුණයාගේ මෘතදේහය කොළඹ අයි.ඩී.එච්. රෝහලේ තබා තිබුණේ මරණ පරීක්ෂණය සිදු කිරීමටය. හෝමාගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ මෙම මළසිරුරේ ජෛව සාම්පලද පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට යොමු කර ඇති බවය. ප්‍රතිකාර සඳහා යොමු කළ මියගිය තරුණයාගේ මව ඊයේ (2) වනවිට දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ නේවාසිකව සිටින බවත්, ඇයට කොවිඩ් - 19 ආසාදනය වී ඇතැයි මෙතෙක් තහවුරු වී නොමැති බවත් හෝමාගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේය. කොවිඩ් - 19 දෙවන රැල්ලත් සමගින් සමාජීය වශයෙන් සිදුවන මෙවැනි අවාසනාවන්ත සිදුවීම් ඇති නොවීමට වගබලා ගැනීම සියලු දෙනාගේම යුතුකමකි. මෙවැනි විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් සහ ළමුන් පිළිබඳවද මීට වඩා සැලකිලිමත් වීමේ සමාජ වගකීම අප සියලු දෙනා සතුය. මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වළක්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳව ‘අරුණ’ කළ විමසීමකදී ළමා රෝග විශේෂඥ වෛද්‍ය, මීගමුව ඩෙංගු රෝග මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ලක්කුමාර් ප්‍රනාන්දු මෙලෙස අදහස් දැක්වීය. ‘‘අපිට විශාල වශයෙන් මේ වගේ ප්‍රශ්න මතුවෙනවා. මෙය එවැනි එක සිදුවීමක් පමණයි. දැනට අපේ ප්‍රතිපත්තිය තමයි කිසිම රෝග ලක්ෂණයක් නැති වුණත් සියලු ආසාදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට දාන එක. අනිවාර්යයෙන්ම මෙම තත්ත්වය ඉදිරියට කරගෙන යන්න බැරි වෙනවා. ඒ අනුව රෝග ලක්ෂණ නොමැති අය නිවෙස්වලම නිරෝධායනය කිරීමට දැන් කටයුතු යොදා තිබෙනවා. එය හොඳ නිරීක්ෂණ ක්‍රමවේදයක් ඇතුව කළ යුතුයි. උදාහරණ ලෙස ගතහොත් ග්‍රාම නිලධාරිවරයා මාර්ගයෙන් හෝ මහජනතාවගේම සහභාගිත්වයෙන් ඇති කමිටු හරහා රෝගීන් බවට සැක කෙරෙන අය නිවෙස්වල තැබීම සිදුකළ යුතුයි. ඒ අයට උපකාර කරමින් ඒ අයව නිවෙස්වල තියලා අසල්වැසියන්ගේ උදව්වෙන් රෝග ලක්ෂණ පිළිබඳව විමසිලිමත් වෙමින් කටයුතු කිරීමේ තත්ත්වයක් ඉදිරියට ඇති කරන්න වෙනවා. එම තත්ත්වය තවමත් ආපු නැති නිසා තමයි මේ වගේ අවාසනාවන්ත දේවල් සිදුවන්නේ. දැන් සමහර වෙලාවට අම්මා විදේශගත වෙලා ගෙදර ඉන්නේ තාත්තයි, ළමයි දෙන්නයි වෙන්න පුළුවන්. ඒ වගේ තැනක තාත්තා කොවිඩ් ආසාදිතයෙක් වෙලා ඔහුව ප්‍රතිකාර සඳහා රැගෙන ගියොත් මොකද වෙන්නේ? ඒ වගේම ප්‍රතිකාර මධ්‍යස්ථානවල බොහෝ දෙනකු එකට දාලා තියෙනවා. ගෙදරදී කොත්තමල්ලි ටිකක් බීලා හිටපු කෙනාට දැන් වතුර බොන්න පෝලිමේ ඉන්න සිදුවෙලා. එවැනි අවස්ථා ගැන අපි අහලා තියෙනවා. මේවා පිළිබඳව තීරණ ගන්නා අය මේ හැම පැත්තක්ම හිතලා බලන්න ඕනෑ. මෙවැනි පුද්ගලයන් තනිවුණාම මොන වගේ දෙයක් සිදුවෙයිද කියන එක හිතපු නැති එක තමයි වරද. මේ සිදුවීමෙන් අපි කාගේත් ඇස් ඇරෙන්න ඕනෑ. රෝග ලක්ෂණ නැති අයව නිවසේ රඳවා තබාගෙන අවශ්‍ය ප්‍රතිකාර කිරීමේදී ප්‍රශ්නයට වඩා විසඳුම නරක එකක් නොවිය යුතුයි. අපට දැනට තියෙන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම තුළින් පමණක් මේ ප්‍රශ්නය විසඳිය නොහැකියි. මෙම පවතින තත්ත්වය සමග රෝග ලක්ෂණ ඇති පුද්ගලයන් විවෘතව ඒ ගැන ප්‍රකාශ කිරීමේ ඉඩකඩත් නැතිවෙනවා. එමනිසා මෙම ක්‍රමවේදයේ වෙනසක් සිදුකළ යුතු වෙනවා මෙවැනි සිදුවීම්වලින් වැළකෙන්න. ඒ වගේම දෙමාපියන් මෙලෙස ආසාදනය වී රැගෙන ගිහින් සිටින අවස්ථාවක නිවසේ සිටින විශේෂ අවශ්‍යතා නොමැති දරුවකුට වුණත් සිත් වේදනාවක් ඇතිවෙලා මෙවැනි අවාසනාවන්ත සිදුවීමක් වෙන්න හැකියාව පවතිනවා.’’   වරුණි පෙරමුණ   සබැඳි පුවත්................... අම්මා රෝහල් ගත කල දුකින් පුතා දිවි නසා ගනී - https://bit.ly/3kU65wg
 

More News..