brand logo

කළුගල් කැණීමේ කර්මාන්ත කටයුතුවලදී පරිසරය සුරකින්න - අගමැති

05 March 2020

රජයේ ඉඩම්වල සිදු කෙරන කළුගල් කැණීම් කර්මාන්තය සහ පෞද්ගලික ඉඩම්වල සිදු කෙරෙන කළුගල් කැණීමේ කර්මාන්තය සඳහා බදු දීමේ, අය කර ගැනීමේ විධිමත් හා පහසු ක්‍රමවේදයක් ඇති කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ. අග්‍රාමාත්‍යවරයා මේ තීරණය ගනු ලැබවේ රජයේ ඉඩම්වල කළුගල් කැණීමේ කර්මාන්තයේ යෙදෙන්නන් හා පෞද්ගලික ඉඩම්වල කළු ගල් කැණීමේ කර්මාන්තයේ නිරතවන්නන්ගේ ගැටලු සම්බන්ධයෙන් අද (05) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවේදීය. රජයේ සහ පෞද්ගලික ඉඩම්වල සිදු කෙරන කළුගල් කැණීමේ කර්මාන්තය සඳහා බදු දීමේ හා බදු අය කර ගැනීමේ විධිමත් හා පහසු ර්ඛීය ක්‍රමවේදයක් සැකසීම සඳහා ඉඩම් කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළ අතර එම කමිටුව සඳහා ඉඩම් කොමසාරිස් කාර්යාලය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය, මහවැලි අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවී දෙපාර්තමේන්තුව, මිනින්දෝරු දෙපාර්තමේන්තුව, ආරක්ෂක අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, මහා භාණ්ඩාගාරය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නියොජනය කරමින් නියෝජිතයින් ඇතුළත් වේ. අදාළ කමිටුවේ නිර්දේශ සති දෙකක් ඇතුළත භාරදෙන ලෙස දැනුම් දුන් අග්‍රාමාත්‍යවරයා පැවසූයේ එම කර්මාන්තයේ නියැලෙන්නන් හා ඒ ආශ්‍රිත රැකියාවල නිරතවන්නන් අපහසුතාවයට පත් නොවන ආකාරයට රාජ්‍ය අංශයේ කටයුතු කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි. බලපත්‍ර ලබා ගැනීමේදී හා බදු මුදල් ගෙවීමේදී විශාල රාජ්‍ය ආයතන ප්‍රමාණයකට යායුතු බවත් විධිමත් බදු දීමේ හා බදු අයකර ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවන බවත් සදහන් කරමින් කර්මාන්තයේ නියැලෙන්නන් විසින් තමන් මුහුණ දී ඇති තත්ත්වය පිළිබද මෙහිදී දීර්ඝව කරුණු ඉදිරිපත් කරන ලදී. මෙම කරුණු සැලකිල්ලට ගනිමින් අග්‍රාමාත්‍යවරයා විසින් ඉහත කමිටුව පත් කිරීමට තීරණය කරන ලදී. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසූයේ පරිසරය සුරැකෙන ආකාරයෙන් කළුගල් කැණීමේ කර්මාන්තයේ නිරත විය යුතු බවත්, අක්‍රමවත් ආකාරයට කළුගල් කැණීමේ කර්මාන්තයේ නිරතවීම ජල පෝෂිත ප්‍රදේශ විනාශවීම් හා නැයයෑම් තත්ත්ව වැනි පාරිසරික වෙනස්වීම් රැසකට බලපෑම් ඇති වන බවයි. රටේ පරිසරය පිළිබද වැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. එමෙන්ම කළුගල් කර්මාන්තය මත පැනවෙන බදු මුදල් සමාලෝචනයකට ලක්කළ යුතු බවත්, කළුගල් මිල ඉහළ යාම ඉදිරි සංවර්ධන ව්‍යාපෘති සඳහා සෘජුවම බලපාන බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
 

More News..