brand logo

කළුගඟේ ජල මට්ටම ඉහළට - ගංවතුර අවධානමක්

23 September 2020

මේ දිනවල නිරිතදිග මෝසම සක්‍රීය වීමත් සමග ඇති අධික වර්ෂාව නිසා ඉදිරියේදී රත්නපුර දිස්ත්‍රික්කයටත් ගංවතුර අවදානමක් ඇතිවිය හැකි බව රත්නපුර දිස්ත්‍රික්කයේ වාරිමාර්ග දෙපාර්තමේන්තු දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ඇතුළු ආයතන රැසක අනතුරු අඟවා ඇත. කළුගඟ ආරම්භ වන සිරිපාද අඩවියට අධික වර්ෂාපතනයක් ඇතිවීමත් ඊට අමතරව දිස්ත්‍රික්කයේ අනෙකුත් සෑම ප්‍රදේශයකටම අඛණ්ඩව පවතින වර්ෂාවත් නිසා මෙම සුළු ගංවතුර තත්ත්වය අබියස සිටින බව රත්නපුර දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු අරුණ සමරතුංග සඳහන් කළේය. රත්නපුර දිස්ත්‍රික්කයේ සුළු ගංවතුර තත්ත්වය යනු කළු ගඟේ මුවගම ප්‍රදේශයේ පිහිටි ගංවතුර මාපකයේ මීටර් 7-5 සීමාව ඉක්මවා යෑමකි. සතියක පමණ කාලයක සිට දිස්ත්‍රික්කය පුරා මහවැසි ඇදහැලෙමින් පවතින අතර වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ ශ්‍රී පාද අඩවියෙනි. එය මි-මී 167 ක් විය. එරත්නයෙන් වාර්තා වූ වර්ෂාපතනය මි-මී 151ක් වන බවත් එය රත්නපුරයට මි.මී. 91 ක් ලෙස ලැබී තිබූ බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. කළුගගේ මෙන්ම එහි අතු ගංගා වන වේ ගඟ කුරු ගඟ හා එම අතු ගංගා වන එල්ලාවල ගඟ ගලතුර ගඟ ඇතුළු තවත් ගංගා රැසක ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් පහත් බිම්වල ජීවත් වන ජනතාවට නිරන්තර අවධානයෙන් සිටින්නැයි රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලක්මාලි උදය කුමාරි ඉල්ලා සිටි. සිංහරාජ අඩවියටද මහවැසි ඇදහැලෙමින් පවතින නිසා ඒ ආශ්‍රිත ප්‍රදේශවලද ගංවතුර අවදානමක් පැවතිය හැකි බව රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන අතර ඒ නිසා දිස්ත්‍රික්කයේ සියලුම ජනතාවට ඒ සඳහා සූදානමින් සිටින්නැයි එම කාර්යාලය මහජනතාවගෙන් ඉල්ලා සිටී. නායයාමේ අනතුරු ගැනද නිරන්තර අවධානයෙන් සිටින්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසන අතර ඇහැලියගොඩ, ඇළපාත, රත්නපුර, කුරුවිට, පැල්මඩුල්ල, ගොඩකවෙල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවට ඒ පිළිබඳ දැඩි විමසිල්ලකින් පසුවන ලෙසද ඉල්ලා සිටි. ජනක කස්තුරි - කිරිඇල්ල
 

More News..