brand logo

කළුගඟේ ජලය විස වේ

06 April 2019

කළුතර කළු ගඟෙන් ලබාගෙන කෙත්හේන ජල පවිත්‍රාගාරයෙන් දොඩංගොඩ, කළුතර, බේරුවල හා පානදුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවුල් හැටනවදහසකට බෙදා හරින නළ ජලය බීමට නුසුදුසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර පවසයි. කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රධාන රසායනික විශ්ලේෂකගේ ලබාගත් පරීක්ෂණ වාර්තාවක් අනුව ඒ බව පැහැදිලි වී ඇත. ජලයේ විදුලි සන්නායකතාව තිබිය යුත්තේ 100ක් වුවත් කළු ගඟේ ජලයේ එම ප්‍රමාණය 5000 දක්වා වැඩි වී ඇත. ජලයේ ලවණ තත්ත්වය ලීටරයකට මිලිලීටර් 3000ක් වුවත් එය 5000ක්ද ෆ්ලෝරයිට් අගය 250ක් වුවත් එම ප්‍රමාණය 1800ක්ද, කැල්සියම් අගය 250ක් වුවත් එම ප්‍රමාණය 960ක්ද මැග්නිසියම් අගය 30ක් වුවත් එම ප්‍රමාණය 760ක් බවද සිදු කරන ලද රසායනාගාර පරීක්ෂාවෙන් සනාථ වී ඇත. මීට මූලික හේතු වී ඇත්තේ දෙසැම්බර් සිට අප්‍රේල් දක්වාත්, ජූලි අගෝස්තු සැප්තැම්බර් කාලවලත් කළු ගඟට මුහුදු ජලය විශ්‍රවීම බව සඳහන් වේ. මෙම ප්‍රදේශවල ජීවත් වන ලක්ෂ 4ක් පමණ ජනතාව බීමට ගන්නේ ජල සම්පත් මණ්ඩලයෙන් ලබා දෙන නළ ජලය වන අතර මෙවැනි තත්ත්වයකින් යුතු ජලය පානය කිරීමෙන් එය වකුගඩුවලට සෘජුවම බලපාන බව සෞඛ්‍ය අංශ පවසයි. කළුතර සෞඛ්‍ය වෛද්‍ය ආයතනයෙන් මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී එහි රසායනාගාර අංශයේ ප්‍රකාශිකාවක් පැවසුවේ ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා පෞද්ගලිකව කළුගඟේ ජල සාම්පලයක් පරීක්ෂා කළ බවයි. මේ අතර කැලණි ගඟටද මුහුදු ජලය මුසු වීමේ අවදානමක් පිළිබඳ තොරතුරු වාර්තා වේ. කැලණි ගඟ පෝෂිත ප්‍රදේශවලට පසුගිය කාලයේ සැලකිය යුතු මට්ටටමේ වර්ෂාවක් නොමැතිවීමෙන් ජල මූලාශ්‍ර සිඳී යාම නිසා උල්පත් මගින් ගලා එන ජලයද සීමා වීම නිසා මෙම තත්ත්තවය උද්ගතවී ඇත. කොළඹට ජලය සපයන අඹතලේ ජලපවිත්‍රාගාරය ආසන්නයේ කැලණි ගඟ හරස් කර බැම්මක් ඉදිකර ඇත්තේ ඉන් ඉහළට මුහුදු වතුර ගලා යාම වැළැක්වීම සඳහායි. කෙසේ වෙතත් අවිස්සාවේල්ලේ සිට අඹතලේ දක්වා ඇති කර්මාන්තශාලාවල අපද්‍රව්‍ය හා රසායන ද්‍රව්‍ය බොහෝමයක් එකතුවන්නේද කැලණි ගඟට බැවින් එහි ජලයට නොයෙකුත් අහිතකර රසායනික එක්වීමේ ප්‍රවණතාවක් ඇති බව ජලසම්පාදනයේ ප්‍රධානියකු සඳහන් කළේය. චමින්ද සේනාරත්න
 

More News..