brand logo

කහ හිඟයට මාස 3කින් විසඳුම්

22 September 2020

රට තුළ දැනට පවතින කහ හිඟය තවත් මාස 03 ක කාලයක් පවතිනු ඇතැයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. දෙපාර්තමේන්තු වාර්තාවලට අනුව රටේ වාර්ෂික කහ ඉල්ලුම මෙට්‍රික් ටොන් 7500 ක් වන අතර, දේශීය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 1500 ක් පමණ වේ. රජය විසින් පනවා ඇති කොවිඩ් -19 ආනයන සීමා හේතුවෙන් දැනට කහ ආනයනය තහනම් වේ. කෙසේ වෙතත් මෙම කහ ආනයන තහනම දේශීය කහ ගොවීන් දිරිමත් කිරීමේ පියවරක් ලෙස භාවිත කිරීමටද අමාත්‍යාංශය මේ වන විට විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත. අමාත්‍යාංශ වාර්තාවලට අනුව රටපුරා හෙක්ටයාර් 1500 ක පමණ ප්‍රදේශයක කහ වගාකර ඇති අතර 2021 ජනවාරි මාසයේදී අමුකහ මෙට්‍රික් ටොන් 22,500 ක අස්වැන්නක් අපේක්ෂා කරයි. ලබන ජනවාරියේ අපේක්ෂිත කහ අස්වැන්නෙන් මෙට්‍රික් ටොන් 4000 ක් ඊළඟ කන්නයේ බීජ වෙනුවෙන් වෙන් කිරීමෙන් අනතුරුව සෙසු තොගය රටේ කහ ඉල්ලුම සැපිරීමට ප්‍රමාණවත් බවද අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙයි. 2021 වර්ෂයේදී ශ්‍රී ලංකාව කහවලින් ස්වයංපෝෂිත කිරීමටද අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. කෙසේ වෙතත් පසුගිය වසරේ (2019) ශ්‍රී ලංකාවේ අමතර කහ අවශ්‍යතාව සැපිරීම වෙනුවෙන් කහ මෙට්‍රික් ටොන් 5382 ක ප්‍රමාණයක් ආනයනය කර ඇති අතර, ඒ සඳහා වැයකර ඇති මුදල රුපියල් බිලියනකට ආසන්න වේ. නයන තරංග ගමගේ
 

More News..