brand logo

කසුන් සහ ධනංජය හැරුණු විට සෙසු සැවොම සුවෙන් - දික්වැල්ල

12 January 2021

දකුණු අප්‍රිකානු සංචාරයේදී ආබාධයන්ට ලක් වූ ක්‍රීඩකයන් 7 දෙනාගෙන් තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා සහ වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත හැරුණු විට සෙසු ක්‍රීඩකයන් එංගලන්ත තරගාවලිය සඳහා සහභාගි විය හැකි ශාරීරික යෝග්‍යතාවකින් සිටින බව නිරෝෂන් දික්වැල්ල පවසයි. ඊයේ (11දා) වීඩියෝ තාක්ෂණය ඔස්සේ මාධ්‍ය හමුවකට එක් වෙමින් ශ්‍රී ලංකා කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි දික්වැල්ල ‘අපේ රටේ ක්‍රීඩා කරන නිසා සත්කාරකත්වයේ වාසිය අරන් අපි එංගලන්ත තරගාවලියට සහභාගි වෙන්න සූදානමින් සිටිනවා. එංගලන්තයේ බෙන් ස්ටෝක්ස්, ජොෆ්රා ආචර් වගේ ක්‍රීඩකයෝ නැහැ. ඒත් ඔවුන්ව සුළුවෙන් තකන්න බැහැ. මොකද අවසන් වරට ඔවුන් ලංකාවට ඇවිත් හොඳින් ක්‍රීඩා කළා.’ යි කියා සිටියේය. එංගලන්ත කණ්ඩායම අවසන් වරට 2018 වසරේ නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකා සංචාරයක නිරත වූ අතර එහිදී ඔවුන් විසින් 3-0කින් අදාළ තරගාවලියේ ජය වාර්තාකරගෙන තිබිණි. දකුණු අප්‍රිකානු සංචාරය නිමාකර ඉකුත් 09 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායම ලංකාව බලා පැමිණියේය. ඔවුන් මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ආසන්නයේ ඇති හෝටලයක නේවාසිකව සිටී. ලංකාවට පැමිණීමෙන් අනතුරුව හරිහැටි පුහුණුවීමක් ලැබීමට නොහැකි වූ බව පවසන දික්වැල්ල ‘මේ දවස්වල ගාල්ලේ වහින නිසා අපිට හරිහැටි පුහුණුවීම් කටයුතුවල නිරත වෙන්න තවම අවස්ථාවක් ලැබුණේ නැහැ. හැම තරගාවලියකටම වගේ මේ තරගාවලියටත් අපේ හොඳ සූදානමක් තියෙනවා. තරගාවලිය ජයග්‍රහණය හැමෝගෙම බලාපොරොත්තුව. කවුරුවත් ආසාවෙන් ෆේල් වෙන්නේ නැහැ’යි යනුවෙන්ද කීවේය. ටෙස්ට් තරග 39කදී ඉනිම් 70කට සහභාගි වී තවමත් ටෙස්ට් ශතකයක් රැස්කර ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් තමන් ලැජ්ජාවන බවත්, මේ තරගාවලියේදී මංගල ශතකය රැස් කිරීම තම බලාපොරොත්තුව බවත් දික්වැල්ල කියයි. ‘ගොඩක් වෙලාවට මට ලැබෙන්නේ කණ්ඩායමේ අග පිතිකරුවන් එක්ක පන්දුවට පහරදෙන්න. මම මේ වන විට අර්ධ ශතක 15ක් ලබාගෙන තියෙනවා. නමුත් තවමත් මට ශතකයක් වාර්තා කරන්න අවස්ථාවක් ලැබිලා නැහැ. එක අතකින් ඒක ලැජ්ජාවක්. මේ තරගාවලියේදීවත් මගේ මංගල ටෙස්ට් ශතකය වාර්තා කරන්න බලාපොරොත්තු වෙනවා.’ යි දික්වැල්ල කීවේය. ගයාශාන් විතානආරච්චි
 

More News..