brand logo

කසුන් පලිසේනට පනවා තිබූ ඇප කොන්දේසියක් ලිහිල් කිරීමට අධිකරණය නියෝග කරයි

20 August 2019

2015 වසරේ ජාතික ආර්ථිකයට රුපියල් බිලියන 10000 කට වැඩි පාඩුවක් සිදුකල මහබැංකු බැඳුම්කර වංචා සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම් කරනු ලැබ සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කසුන් පලිසේන මහතා වෙත පණවා තිබූ ඇප කොන්දේසියක් ලිහිල් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කළේය. මෙම පැමිණිල්ල අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී සැකකාර කසුන් පලිසේන වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම සැකකරු ඇපමත මුදා හැරීමේදී සෑම ඉරු දිනකම රහස් පොලිසිය හමුවේ වාර්තා කළ යුතු යැයි ඇප කොන්දේසියක් පනවා තිබූ බවත් එම කොන්දේසිය ලිහිල් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියහ. එම කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සෑම මසකම ඉරු දින රහස් පොලිසිය හමුවේ වාර්තා කළ යුතු බවට පනවා තිබූ ඇප කොන්දේසිය ලිහිල් කරමින් සෑම මසකම අවසන් ඉරිදා පමණක් රහස් පොලිසිය හමුවේ වාර්තා කිරීම ප්‍රමාණවත් බවට නියෝග කළාය. පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සමාගමට අයත් තත්කාලීන දළ පියවීම් පද්ධතියේ ගිණුමේ පවතින මුදල් නිත්‍ය ආයෝජන පහසුකම් තැන්පතු ගිණුමට ආයෝජනය කිරීම අත්හිටුවමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නියෝගය ඉවත් කරන මෙන් ඉල්ලීමක් කළහ. ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ මහබැංකුවේ නිලධාරියා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීන්දුවකට අනුව මෙම පියවර ගෙන ඇති බව සදහන් කළේය කෙසේ වෙතත් මෙම කරුණ සම්බන්ධයෙන් මීළඟ නඩු දිනයේ ලිඛිතව කරුණු දක්වන ලෙස ද මහෙස්ත්‍රාත්වරිය ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරියාට නියෝග කළාය. ඉන්පසුව පැමිණිල්ල ඔක්තෝම්බර් මස 28 වනදා කැඳවීමටද නියෝග කෙරිණි.
 

More News..