brand logo

කසාද සහතිකය එන්න කලින් දික්කසාද වෙන තරුණ ජෝඩු

06 February 2021

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය උපාලි සේදර එම අමාත්‍යාංශ රාජකාරිවලට අමතරව මේ දිනවල මේ රටේ පාසල් අධ්‍යාපනය කෙසේ නම් ප්‍රතිසංස්කරණය විය යුතු දැයි කියා සොයා බලන කමිටුවේ සාමාජිකයෙක් හැටියටද කටයුතු කරන්නේය. පසුගිය දවසක එහි වැඩමුළුවක් අමතමින් ඔහු රටේ කොයි කාගේත් ඇස් උඩ යන කතාවක් කියා තිබුණි. එනම් වර්ග කිලෝමීටර් හැටපන් දහසක් පමණ වූ මේ රටේ දිනකට දික්කසාද හාරසීයක් පමණ වාර්තා වන බවයි. මේ තත්ත්වයට මූලික හේතුව වී ඇත්තේ රටේ අධ්‍යාපනය බවත් ඔහු එහිදී වැඩිදුරටත් කියා තිබුණි. එසේම පාසලේදී ගණිතය, ජ්‍යාමිතිය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව ආදී විෂයයන් ඉගෙනගත් පමණින් දරුවකු පරිපූර්ණ මිනිසකු නොවන බවද ඔහු එහිදී කියා තිබුණි. ‘‘කෙනෙකුට ජීවිතේ වඩාත්ම වැදගත් දේ වෙන්න ඕනේ තමන්ගේ පවුල. අපි හැමෝටම අපේ කියලා පවුලක් ඕනේ. ඒක තමයි සමාජ යථාර්ථය. එ්ත් අද වෙනකොට තරුණ ජෝඩු කසාද බැඳලා මාස තුනෙන් උසාවියට එනවා එයාලගේ දික්කසාදේ අරගෙන යන්න. ඇයි කියලා ඇහුවොත් බිරිඳ කියනවා ‘සැමියා අඩු ගානේ නිදියන ඇඳවත් අස්කරන්නේ නැහැ, ඇඳේ රෙද්දවත් නවන්නේ නැහැ’ කියලා. සැමියාගෙන් ඇහුවොත් කියන්නේ ‘හැමදාම කන්නේ කඩෙන්. අඩු ගානේ නිවාඩු දවසේවත් උයන්නේ නැහැ’ කියලා. මෙවැනි සුළු අතපසුවීම්වලදී පවා විවාහ ජීවිතය දික්කසාදයකින් කෙළවර කරගන්නා තරමට අද තරුණ ප්‍රජාව පිරිහිලා’’ යැයිද ඔහු එහිදී සඳහන් කර තිබුණේය. මේ තත්ත්වයට බලපා ඇත්තේ ඔවුන්ගේ පෞරුෂ සංවර්ධනයේ ඇති දුර්වලතාය. පාසලේදී හෝ නිවසේදී දරුවන්ට නිතර දෙවේලේ මන්ත්‍රයක් සේ මතුරන්නේ සාමාන්‍ය පෙළට ‘ඒ’ නවයක්. උසස් පෙළට ‘ඒ’ තුනක්. ඊට පසුව විශ්වවිද්‍යාලය බවත්ය. එයින් නොනැවතී දෙමාපියන් ඔවුන්ව තල්ලු කරන්නේ උසස් රැකියාවක්, උසස් වැටුපක් සහ ඉහළ පැලැන්තියේ විවාහයක් සඳහාය. නමුත්, ඔවුන් කිසි විටෙක සිය දරුවාට පවුල් සංස්ථාව කියන්නේ කුමක්ද, එහි වටිනාකම කුමක්ද කියාවත් වටහා නොදෙන බව ආචාර්ය උපාලි සේදර කීවේය. දහනව වැනි සියවස වනවිට ලෝකයම සිතුවේ බුද්ධිය නිසාම මිනිසුන් සාර්ථක වන බවයි. එ්ත් 1980 වසරේදී මනෝවිද්‍යා ආචාර්ය ඩැනියල් ගොල්මන් හාවඩ් විශ්වවිද්‍යාලය සමග සිදුකළ පරීක්ෂණයකදී එතෙක් ‘බුද්ධිය ප්‍රමුඛ වූ සාර්ථක මිනිසා’ යන තර්කය බිඳ දැමුවේය. ඔවුන් කියා සිටියේ බුද්ධිය නොව චිත්තවේග පාලනය මත මිනිසුන් සාර්ථක පුද්ගලයන් වන බවයි. එයට ඔවුන් ලබාගත් උදාහරණය වන්නේත් හාවඩ්හි සිසුන්මය. එනම්, හාවඩ් විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඉහළ සාමාර්ථ ගෙන ඉහළ රැකියාවන්වල නියුතු පුද්ගලයන්ගේ පවුල් ජීවිතය. එහිදී, දැන ගැනීමට ලැබුණේ අධ්‍යාපනයෙන් ඉහළ සාමාර්ථ ලබාගත්තත් ඔවුන් ජීවිතයෙන් අසාර්ථක බවයි. එමෙන්ම, ඔවුන්ගෙන් සියයට හැටක්ම දික්කසාද තුන හතරක්ම කරගත් පුද්ගලයන් වීමත් විශේෂත්වයක් විය. ඒ නිසාම උපතින් ලැබෙන බුද්ධියට වඩා අපි සමාජය තුළින් ලබා ගන්නා චිත්තවේග පාලනය සාර්ථක මිනිසකු නිර්මාණය වීමට සියයට හැත්තෑවක දායකත්වයක් දක්වන බව මනෝවිද්‍යා ආචාර්ය ඩැනියල් ගොල්මන් පවසා තිබුණි. මේ ආකාරයේ පුද්ගලයකු නිර්මාණය වීමට පාසල් අධ්‍යාපනය මෙන්ම පවුල් පසුබිමද බලපාන්නේය. එබැවින් වර්තමාන අධ්‍යාපන රටාව පවා ඒ අනුව හැඩගැස්විය යුතු බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය එම්. උපාලි සේදර කීවේය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ දත්තයන්ට අනුව 2019 වසරේදී පමණක් ඔවුන් වෙත ලැබුණු නඩු සංඛ්‍යාව දහතුන් දහසකි. එයින් හත්දහස් තුන්සිය අසූ හතරක්ම ඇත්තේ නඩත්තු ගෙවන ලෙස කරන ලද ඉල්ලීම්ය. මෙයින් දෙදහසක්ම ඇත්තේ දික්කසාද නඩුය. ‘‘මේ වෙනකොට හුඟක්ම එන්නේ බැඳලා අවුරුද්දක්වත් යන්න කලින් අපිට දික්කසාදය ඕනේ කියලා එන තරුණ ළමයි. එයාලා බොහෝ දෙනෙක්ට තියෙන්නේ ඉතාමත් සරල ගැටලු. ඒවා දෙන්නට කතා කරලා වුණත් විසඳා ගන්න පුළුවන්. ඒ නිසා අපි මුලින්ම එයාලත් එක්ක කතා කරනවා. එතකොට තමයි දැනගන්නේ මෙයාලා තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න, හැඟීම් පවා දෙන්නට දෙන්නා හුවමාරු කර ගන්නේ නැතුව මාස ගණනක්ම හංගගෙන ඉඳලා තියනවා කියලා. ඒ වගේම විවාහ වෙන්නේ ඇයි, මොකක්ද දෙන්නගේ අනාගත සැලසුම් කියලා හිතන්නේවත් නැතුව හදිසියේ විවාහ වුණු තරුණ දරුවොත් ඉන්නවා. අන්න ඒ වගේ අය තමයි වැඩිපුරම අපි ගාවට ඇවිල්ලා ‘දැන් අපිට එකට හිටියා ඇති කියලා’ දික්කසාදය ඉල්ලන්නේ” යැයි නීති ආධාර කොමිෂන් සභාවේ නීති නිලධාරිනී හර්ෂණී බලහරුව කියන්නීය. මේ අතර නීතිඥ සජීවනී අබේකෝන් කියන්නේ, දික්කසාදය ඉල්ලා පැමිණෙන්නේ සියයට අනූවක්ම කාන්තාවන් බවයි. මෙසේ දික්කසාද වීමට ඔවුන් දක්වන හේතු නම් දහසකි. ඒවා අතර ගෘහස්ථ හිංසනය, සැමියාගේ හෝ බිරිඳගේ අනියම් සබඳතා, සූදානම් නොවී විවාහවීම සහ ලිංගික අනවබෝධය යන කරුණු ප්‍රමුඛ වන්නේය. මෙලෙස පැමිණෙන පුද්ගලයන්ව උපදේශන සේවාවන් සඳහා යොමු කිරීමට උත්සහ කළත් ඔවුන් එය ප්‍රතික්ෂේප කරන බව නීතිඥ සජීවනී අබේකෝන් කියන්නීය. ‘‘බොහෝ දෙනෙක් අපි ගාවට එන්නේ අවුරුද්දක් හෝ මාස හයක් වගේ කාලයක් අඹුසැමියන් විදිහට ඉඳලා විවාහ ජීවිතය ගැන කලකිරිලයි. ඒ එන අයව අපි මුලින්ම උපදේශන සේවාවකට යොමු කරනවා. එ්ත් ගොඩක් දෙනෙක් කැමති නෑ උපදේශන සේවාවන් ලබාගන්න. එකට හේතුව මොකක්ද කියලා අපි ඇහුවම එයාලා කියන්නේ ගමේ මිනිස්සු දැනගත්තොත් ඔවුන්ට ‘පිස්සෙක්’ විදිහට සලකයි කියලා. අනික දැන් ඉන්න කාන්තාවෝ රැකියාවන් කරනවා, හොඳ අධ්‍යාපනයක් ලබනවා. එතකොට එයාලා අකමැතියි තවත් කෙනෙක්ට යටත් වෙලා ඉන්න. අන්න ඒ හේතුව මතත් සුළු සුළු අතපසුවීම්වලටත් දික්කසාද වෙන්නත් තවත් කට්ටිය බලන් ඉන්නවා.” අද වනවිට අඹුසැමියන් අතරේ පොඩි වචන හුවමාරුවක් වුවත් එය කෙළවර වන්නේ ‘දික්කසාදයෙන්’ ය. ඒ වාගේම තවත් අයෙක් සිතන්නේ ‘විවාහය කියන්නෙම දික්කසාදයකින්’ කෙලවර වන දෙයක් ලෙසයි. එබැවින් දරුවන්ට චිත්තවේග පාලනය කර ගැනීමට වගේම ලිංගික අධ්‍යාපනයත් පාසලෙන්ම ආරම්භ කළයුතු බව නීතිඥ සජීවනී අබේකෝන්ගේ අදහසයි. මේ ලංකාවේ තත්ත්වයයි. ලෝකයේද අද වනවිට දික්කසාදය කියන වචනය නොඇසෙන රටක් හෝ නගරයක් නැත. ඒ අතර එක්සත් රාජධානිය, නෝර්වේ සහ දකුණු කොරියාව වැනි රටවල දික්කසාද වීමේ අනුපාතය පුද්ගලයන් දස දහසකට පහළොවකි. එමෙන්ම, එක්සත් ජාතීන්ගේ ගෝලීය විවාහ රටාවන් පිළිබඳ දළ විශ්ලේෂණයේ දැක්වෙන්නේ 2020 වනවිට ලෝක ජනගහනයෙන් වයස අවුරුදු තිස් පහත් තිස් නවයත් අතර වැඩිහිටි තරුණ ප්‍රජාව වැඩි වශයෙන් ‘දික්කසාද’ වීමට පෙලඹෙන බවයි. කෙසේ වෙතත්, ‘දික්කසාදය’ ට වයස් භේදයක් නොමැති බව ඔප්පු කළේ බ්‍රිතාන්‍යයේ බර්ටි සහ ජෙසී වුඩ් අඹුසැමි යුවළයි. ඔවුන් දෙදෙනා දික්කසාද වූයේ වයස අවුරුදු අනූ අටේදීය. දැන් ලොව ‘වයස්ගතම දික්කසාද යුවළ’ ලෙස හඳුන්වන්නේත් බර්ටි සහ ජෙසී වුඩ්ය. මේ අතර විවාහ වී මිනිත්තු විස්සෙන් දික්කසාද වූ යුවළක්ද සිටින්නේය. ඔවුන් අඩුම කාලයකදී විවාහ වී දික්කසාද වූ යුවළ ලෙස ලෝක වාර්තාවක්ද තැබුවේය. මෙම යුවළ වන්නේ ඉතාලි ජාතික නළුවකු වන රුඩොල්ෆ් වැලන්ටිනෝ සහ ඇමරිකානු නිළියක වන ජීන් ඇකර්ය. ඔවුන් දෙදෙනා 1919 නොවැම්බර් 6 වැනි දින විවාහ විය. එදින මංගල රාත්‍රියේ ඇතිවූ සිදුවීමක් පදනම් කරගනිමින් ඔවුන් දෙදෙනා දික්කසාද වුයේය. එයත් විවාහ වී මිනිත්තු විස්සක් ගතවූ පසුව වීමත් විශේෂත්වයකි. මෙසේ සිදුවූ දික්කසාදයන් අතර වසර අනුවයි දින දෙසිය අනූ එකක් අඹුසැමියන් ලෙස ජීවත්වූ යුවළක් ගැනත් වාර්තා වන්නේය. එසේ දැනට ලෝකයේ සිටින දිගුම විවාහ ජීවිතයක් ගතකළ යුවළ බවට පත් වන්නේ කරම් චන්ද් සහ කර්තාරි චන්ද් යන යුවළයි. ඔවුන් 1925 දෙසැම්බර් එකළොස් වැනිදා විවාහ වන්නේය. කෙසේ වෙතත්, 2016 සැප්තැම්බර් තිස් වැනිදා ලෝකයේ වැඩිම කාලයක් විවාහ ජීවිතය ගත කළ යුවළ යන නම්බුනාමය පමණක් ඉතිරි කර ‘කරම් චන්ද්’ මිය යන්නේය. මෙලෙස විවාහ වී මාස කිහිපයක් ගොස් දික්කසාද වන අඹුසැමියන් අතර මේ ‘චන්ද් යුවළ’ ලෝකයටම සපයන්නේ අපූරු ආදර්ශයකි. හර්ෂණී දිසානායක
 

More News..