brand logo

කසළ තේවලින් නියම තේ හදලා - කම්හලේ හිමිකරු අත්අඩංගුවේ

30 September 2020

කසළ තේ ඉතා අපිරිසුදු ලෙස අව්වේ වේළමින් මහජන සෞඛ්‍යයට හානිවන ලෙස නිමි තේ සකසන ස්ථානයක් වෙලම්බොඩ පොලිසිය මගින් වටලා ඇත. මෙම මෙහෙයුමේදී එහි හිමිකරු සමග කසළ තේ කිලෝ විසිදහසක් අත්අඩංගුවට ගැනීමට ඔවුන් සමත්ව තිබේ. පොලිසිය පවසන්නේ කසළ තේ කිලෝ තුන්දහසක් සඳහා බලපත්‍ර ලබාගෙන ඊට වඩා වැඩි කසළ තේ ගබඩා කොට මෙම ජාවාරම සිදුකරන බවයි. විශාල කොන්ක්‍රීට් වහලක් මත එකවර කිලෝ දහස බැගින් බිම දමා වේලා ගැනීම සිදුකරන අතර එහිදී මෙම තේ කොළවලට විවිධ අපද්‍රව්‍ය හා ක්ෂුද්‍ර ජීවින් එකතු වන බව පොලිසිය සඳහන් කරයි. වෙලම්බොඩ කූරදෙණිය මාර්ගයේ පිහිටි මෙම නීති විරෝධී කසළ තේ කොළ ගබඩාව මුද්‍රා තැබීමට පොලිසිය පියවර ගත් අතර එය තේ මණ්ඩල නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් කිරීමට නියමිතය. වෙලම්බොඩ ප්‍රදේශයේ දිගින් දිගටම මෙවැනි කසළ තේ ගබඩාවන් වැටලූ අතර මීට දින දෙකකට පෙර ප්‍රදේශයේම කසළ තේ කොළ කිලෝ 15,000 ක්ද පොලිස් භාරයට ගනු ලැබීය. මෙසේ සකසන තේ කොළ අනුරාධපුර, යාපනය, පොළොන්නරුව ආදී ප්‍රදේශවලට අලෙවි කරන බවද පොලිසිය අනාවරණය කරගෙන ඇත. මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ, වෙලම්බොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත සුදසිංහ යන නිලධාරීන්ගේ උපදෙස් මත පාලන අංශ ස්ථානාධිපති මංජුල සේනාරත්න, දූෂණ මර්දන අංශ ස්ථානාධිපති ශාලිත කරුණාරත්න ඇතුළු නිලධාරීහු මෙම වැටලීම සිදු කළය. සුරංග දිල්හාන් - ගම්පොල
 

More News..