brand logo

කවුරු හරි ගෙදර දී මිය ගියොත් දැන් කරන දේ දන්නවාද?

13 November 2020

නිවෙසක මරණයක් සිදුවූ විට රෝහලකට ගෙන යාමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණයකින් අනතුරුව දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීම හෝ සෞඛ්‍ය අංශ සහ ග්‍රාම නිලධාරිවරයෙකුගේ අනුමැතිය සහිතව දේහය සම්බන්ධ අවසන් කටයුතු සිදුකිරීම සාමාන්‍යයෙන් සිදුවනවා. කෙසේ වෙතත් මේ දිනවල නිවසේ දී කෙබදු පුද්ගලයකු මරණයට පත් වුවත් කොවිඩ් ආසාදිතයෙකු දැයි නිශ්චිතව තහවුරු වන තෙක් දේහය සම්බන්ධ අවසන් කටයුතු සිදුකිරීමට අවස්ථාවක් හිමිවන්නේ නැහැ. ඒ අනුව දැන් නිවසේ දී මියයන ඕනෑම පුද්ගලයෙකුගේ මෘතදේහයක් මරණ පරීක්ෂකවරයෙකුගේ හෝ මහේස්ත්‍රාත්වරයෙකුගේ නිර්දේශ මත පීසීආර් පරීක්ෂාවකට ලක්කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා. මෙම තීරණය කොවිඩ් අවදානම් සහිත ප්‍රදේශවලට මෙන්ම අවදානමක් නොමැති ප්‍රදේශවලටත් එක හා සමානව අදාලවේ. මීට අමතරව කොවිඩ් වසංගත අවදානම ඉහළ කොළඹ ආශ්‍රිත ප්‍රදේශවලින් රෝහල්ගත කිරීමට රැගෙන ඒමේදී මියයන හෝ මිනීමැරුමකින්, සියදිවි හානිකරගැනීමකින් සිදුවන මරණයන් කොවිඩ් සැකසහිත නම් එවැනි මෘතදේහයන් ද පීසීආර් පරීක්ෂණ වලට ලක් කරනු ඇත. මේ පිළිබඳ අදහස් දැක් වූ අධිකරණ වෛද්‍ය නිලධාරී වි‍‍ශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතා පවසන්නේ, “අපි මේ මෘත ශරීරය වහාම ශරීර බහාලන බෑගයක දාලා ආරක්ෂා සහිතව ‘කූල් රූම්‘ එකට දමනවා. දැනට දවසට දෙපාරක් අපි පී.සී.ආර්. පරීක්ෂණ සඳහා ජෛව සම්පල ගන්නවා. මේ සාම්පල අපි වෛද්‍ය පර්යේෂණායතනයට යැව්වාම ප්‍රතිඵල අපිට ලැබෙන්නේ අදාල දිනයේ රෑ 12ට විතර ෆැක්ස් පනිවිඩයක් මගින්. ප්‍රතිපලය පොසිටිව් නම් අපි කිසිම අවස්ථාවක පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන්නේ නැහැ. පවුලේ අයව සම්බන්ධ කරගෙන ඒ මියගිය පුද්ගලයා සම්බන්ධව අපි පුළුවන් තරම් තොරතුරු ලබාගන්නවා. මිය ගිය පුද්ගලයා නිදන්ගත රෝගවලින් පෙලුණානම් අපි ඒ ගැනත් තොරතුරු ලබාගන්නවා. එතකොට මේ කොවිඩ් රෝගය නිසා යම්කිසි රෝග ලක්ෂණයක් පෙන්නුම් කළාද විශේෂයෙන් ඒ මරණ සිදුවෙන්න දවසකට දෙකකට, පැය ගානකට කලින් වූ සිදුවීම් ආදිය අපි විස්තරාත්මකව ඒ ඥාතීන්ගෙන් ලබාගන්නවා. ඊට පස්සේ මරණය සිදු විය හැකියැයි අනුමාන කළ හැකි හේතුවක් අපි ලබාදෙනවා. ඊට පස්සේ තමයි ඒ මෘත ශරීරය ආදාහන කටයුතු සඳහා භාරදෙන්නේ.“ පීසීආර් පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදිතයෙකු නොවන බව තහවුරු කෙරෙන මෘත ශරීර සාමාන්‍ය පරිදි පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු අවසන් කටයුතු සඳහා ඥාතීන්ට භාර කෙරෙනවා.
 

More News..