brand logo

කවුරුත් නොදන්න ගෑස් සූත්තරේ

12 January 2019

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල තීරණය වන්නේ ලෝකයටම ගෑස් සපයන ‘සවුදි ඇරම්කෝ’ සමාගමේ මිල දර්ශකය අනුව ය. ‘සවුදි ඇරම්කෝ’ යනු ලෝකයේ ඉන්ධන බලවතා වන සවුදි අරාබියට අයත් ප්‍රමුඛතම තෙල් සමාගම ය. එමෙන්ම එය ලොව ධනවත්ම සමාගම් අතර වන ප්‍රමුඛ පෙළේ සමාගමක් ද වන්නේ ය. සාමාන්‍යයෙන් සවුදි ඇරම්කෝ සමාගම ඉන්ධන සහ එල්.පී.ගෑස් මිල ගණන්වලට අදාළ ඔවුන්ගේ මිල දර්ශකය මාස් පතා යාවත්කාලීන කරයි. ඉන්ධන ආනයනය කරන ලොව පුරා රටවල් බොහොමයක් ද සවුදි ඇරම්කෝ දර්ශකයට සමානුපාතික වන පරිදි තම තමන්ගේ රටවල්වල ඉන්ධන මිල ගණන් මාස් පතා ම උච්චාවචනය කරන්නට පුරුදුව ඇත්තේ ඒ අනුව ය. අපේ රටේ තරමට සංකීර්ණ නොවූව ද ලෝකයේ වෙනත් රටවල් ද මාස් පතා වෙනස් වන ‘විද්‍යාත්මක වූ ඉන්ධන සහ ගෑස් මිල සූත්‍ර‍‘ සාර්ථකව සහ සාධාරණව පවත්වාගෙන යයි. ඒ අනුව සවුදි ඇරම්කෝ සමාගමේ මිල දර්ශකයට අනුව ඉන්ධන සහ ගෑස් මිල ඉහළ නගින සෑම විටකම ගෑස් සහ ඉන්ධන ආනයනය කරන රටවල්වල ගෑස් සහ ඉන්ධන මිල ගණන් ඉහළ නගී. සවුදි ඇරම්කෝ මිල දර්ශකයේ ගෑස් සහ ඉන්ධන මිල පහත බසින සෑම විටකම ගෑස් සහ ඉන්ධන ආනයනය කරන රටවල් වල ගෑස් සහ ඉන්ධන මිල ගණන් පහත බසී. 2018 සැප්තැම්බර් මස ගෑස් මෙට්‍රික් ටොන් 1 ක, එනම් කිලෝග්‍රෑම් 1000ක සවුදි ඇරම්කෝ මිල ඇමරිකානු ඩොලර් 600 ක් විය. 2018 ඔක්තෝබර්වල එය ඇමරිකානු ඩොලර් 655 දක්වා වැඩි වූ අතර 2018 නොවැම්බර් වන විට ඇමෙරිකානු ඩොලර් 540 දක්වා අඩු වීමක් ද පෙන්නුම් කළේ ය. ඇත්තෙන්ම 2018 වසර අවසන් වන විට, එනම් දෙසැම්බරයේ සවුදි ඇරම්කෝ ගෑස් මිල හෙවත් ලෝක වෙළෙඳපොළේ මිල තව තවත් අඩු විය. ඒ අනුව මේ වන විට ගෑස් කිලෝග්‍රෑම් 1000 ක් සඳහා වන සවුදි ඇරම්කෝ සම්මත මිල ඇමෙරිකානු ඩොලර් 445 ක් වේ. එනම් මේ වන විට ලෝක වෙළෙඳපොළේ වත්මන් තෙල් මිල 2018 සැප්තැම්බර්වල පැවැති මිලට වඩා ඒකක 155 කින් අඩු වී ඇත. එහෙත් සැප්තැම්බර් මාසයේ සිට මේ වනතුරුත් අපේ ගෑස් මිල පවතින්නේ නොවෙනස් වූ එකම අගයක ය. එහි අදහස වන්නේ ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල මේ වන විට ක්‍ර‍ම ක්‍ර‍මයෙන් පහත බසිමින් පැවැතියත්, අපේ රටේ ගෑස් මිල පහත බැස්සේ නැති බව ය. අවසන් වතාවට අපේ රටේ ගෑස් මිල සංශෝධනයක් සිදුවන්නේ 2018 සැප්තැම්බර් 26 වැනිදා ය. එහිදී කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල එවකට පැවැති මිලට වඩා රුපියල් 195 කින් ඉහත දැමිනි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ මිල රුපියල් 1733 ක් විය. කෙසේ වෙතත් ලෝක වෙළෙඳපොළේ වත්මන් ගෑස් මිලට සාපේක්ෂව බලන විට, කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක තිබෙන ගෑස්වල ශුද්ධ වටිනාකම විය යුත්තේ රුපියල් 1012 කි. ඉන් අදහස් වන්නේ අපි අපේ ගෙදර පාවිච්චි කරන ගෑස් සිලින්ඩරය ‘නැවත පුරවන’ හැම අවස්ථාවකදීම රුපියල් 721 ක් වැඩිපුර ගෙවමින් සිටින බවය. එම ‘අමතර ගාස්තුව’ අප මත පැටවී ඇත්තේ ආනයන වියදම් සහ බදු නිසාත්, මෙරට ගෑස් මිල නිසි පරිදි නියාමනය නොවන නිසාත් ය. ලෝක වෙළෙඳපොළේ මිල ගණන් අඩු වැඩිවීම්වලට සාපේක්ෂව අපේ දේශීය වෙළෙඳපොළේ ගෑස් මිල ගණන් වෙනස් නොවන්නේ ඇයි ද යන්න සම්බන්ධයෙන් ‘අරුණ’ කළ සොයාබැලීමකදී අනාවරණය වූයේ ලෝක වෙළෙඳපොළේ මිල ගණන්වලට සාපේක්ෂව දේශීය වෙළෙඳපොළේ ගෑස් මිල ගණන් වෙනස්වීමට අදාළ ‘මිල සූත්‍ර‍යක්‘ තිබුණත්, එය නිසි පරිදි ක්‍රියාත්මක නොවන බව ය. මුල් වරට අපේ රටේ ‘ගෑස් මිල සූත්‍ර‍යක්‘ සකස් වන්නේ 2007 දී ය. ඒ ගෑස් සමාගමක් විසින් පවරන ලද නඩුවකට ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් අනුව ය. මෙකී ගෑස් මිල සූත්‍රයට බලපාන තීරණාත්මක සාධක තුනක් තිබේ. එනම් ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල, විනිමය අනුපාතිකය සහ විකුණුම් ධාරිතාව යි. ඒ අනුව ‘ගෑස් මිල සූත්‍ර‍ය’ නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ නම්, මේ කියන සාධකවල වෙනස්වීම්වලට සමානුපාතිකව ගෑස් මිල ගණන් ද උච්චාවචනය විය යුතු ය. කෙසේ වෙතත් අපේ වෙළෙඳපොළේ ගෑස් මිල තීරණය වන්නේ එකී මිල සූත්‍රයට අනුව විද්‍යාත්මක පදනමකින් නොවේ. මෙරට ගෑස් බෙදාහරින සමාගම් දෙකෙන් එකක් වන ලාෆ් ගෑස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අශේන් ද සිල්වා ඒ බව අරුණට පැවැසුවේ මෙසේ ය. ‘‘ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල වැඩි වෙනකොට, එහෙමත් නැත්නම් රුපියල අවප්‍රමාණය වෙනකොට ගෑස් මිල වැඩි කරන්න අවසර දෙන්න කියල පාරිභෝගික සේවා අධිකාරියෙන් ලිට්‍රො සමාගම වගේ ම අපේ සමාගමත් ඉල්ලීම් කරනවා. අපේ ඉල්ලීමක් ලැබිලා දින 30 ක් ඇතුළත පාරිභෝගික සේවා අධිකාරිය මිල වෙනස් කිරීමට අදාළ පියවර ගත යුතු වුණත් අවුරුදු 3 ක් තිස්සෙ ඒ ක්‍රමවේදය හරියට ක්‍රියාත්මක වෙන්නෙ නෑ. දැන් ‘ජීවන වියදම් කමිටුව’ කියල ඇමැති අනු කමිටුවකුත් තියනවනෙ. පාරිභෝගික සේවා අධිකාරියෙන් කෙරෙන්න ඕන මිල නියාමන වැඩේට දැන් ඒකත් හවුල් වෙනවා. කොහොම හරි අපි එකපාරක් මිල වැඩි කරන්න ඉල්ලුවම මාස ගාණක් කල් අරගෙන ඉල්ලන ගාණට වඩා අඩු ගාණකින් මිල වැඩි කරන්න අවසර දෙනවා. දැන් අවුරුදු තුනක් තිස්සෙම වෙන්නෙ මේ වැඩේ. මිල සූත්‍රය හරියට ක්‍රියාත්මක වුණානම් මෙහෙම වෙන්නෙ නෑ.’’ මේ අාකාරයෙන් මැසිවිලි නගන ගෑස් සමාගම් මේ මොහොතේත්, ගෑස් මිල වැඩිකිරීමකට පාරිභෝගික සේවා අධිකාරිය සමඟ ඔට්ටු වෙමින් සිටී. ඒ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ මිල රුපියල් 496 කින් ඉහළ නංවා ගැනීමට ය. ඒ අනුව ඔවුන් ඉල්ලා සිටින මිල නියම වුවහොත් ගෑස් සිලින්ඩරයේ මිල රුපියල් 2229 ක් වනු ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති රූමි මර්ෂුක් මහතා අරුණට පැවැසුවේ මෙසේ ය. ‘‘රුපියල අවප්‍රමාණය වීමේ හේතුව මත ගෑස් මිල වැඩි කරන්න සමාගම් දෙකම අවසර ඉල්ලලා තියෙනවා. ඒත් තවම ඒකට අවසර දීලා නෑ. ඉදිරියේදී ඒ ගැන සලකා බැලෙනවා. ඊළඟ ජීවන වියදම් කමිටු රැස්වීමේදීත් මේ ගැන සාකච්ඡා වෙයි’’ කෙසේ වෙතත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය පවසන්නේ වෙනම කතාවකි. ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යන සෑම අවස්ථාවකම ගෑස් මිල ඉහළ දමාගැනීමට හැකි සෑම ‘අරගලයක්ම’ කරන ගෑස් සමාගම් ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල අඩු වූ විට ගෑස් මිල අඩුකිරීමට මැලි වන බවයි. පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය වැඩිදුරටත් පවසන්නේ ‘‘ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල අඩුවෙලා තියෙන මේ වෙලාවෙ ගෑස් මිල අඩු කරනවා වෙනුවට වැඩි කරන්න අවසර ඉල්ලන එක විහිළුවක්. ආණ්ඩුවත් මේ වෙලාවෙ මේ සමාගම්වලට ගෑස් මිල වැඩි කරන්න ඉඩ දුන්නොත් පාරිභෝගිකයින් මේ සමාගම්වලට නඩු දාන එක නම් වළක්වන්න බැරි වේවි’’ යනුවෙනි. 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතේ 18 වැනි වගන්තිය අනුව ‘අත්‍යවශ්‍ය භාණ්ඩ’ වල මිල ගණන් එම භාණ්ඩ ආනයනය කරන හෝ නිෂ්පාදනය කරන සමාගම්වලට ‘හිතුමතේ’ ඉහළ දැමිය නොහැකි ය. 2003 එවකට වාණිජ සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වූ රවී කරුණානායක විසින් අංක 1302/24 ගැසට් නිවේදනය මගින්, සිමෙන්ති, ගෑස්, කිරිපිටි සහ අනෙකුත් කිරි ආහාර, මදුරු දඟර සහ ගිනිපෙට්ටි යන භාණ්ඩ වර්ග පහ ‘අත්‍යවශ්‍ය භාණ්ඩ’ ලැයිස්තුවට ඇතුළත් කර තිබේ. ඒ අනුව පාරිභෝගික සේවා අධිකාරියේ අවසරය නැතිව ගෑස් මිල ඉහළ දැමීමට ආනයනය කර බෙදා හරින සමාගම්වලට අවසර නැත. මීට අමතරව 2015 සිට ‘ජීවන වියදම් කැබිනට් අනුකමිටුව’ ගෑස් මිලට මෙන් ම වෙනත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල තීරණය වීමට බලපාන තවත් ‘දේශපාලන බලාධිකාරියක්’ ද නමින් ක්‍රියාත්මක වේ. ඇත්තෙන්ම 2015 න් පසු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල නියාමනයට බෙහෙවින් ම බලපාන්නේ පාරිභෝගික සේවා අධිකාරියටත් වඩා මෙකී ‘කැබිනට් අනුකමිටුව’ යි. අවසන් වතාවට ගෑස් මිල වැඩි කිරීමක් සිදුවූයේ 2018 සැප්තැම්බර් මාසයේ දී ය. එවකට එම මිල වැඩිවීම ද තීරණය කළේ , ‘ජීවන වියදම් කැබිනට් අනුකමිටුව’ ය. එවර ගෑස් ආනයනකරුවන් විසින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරය රුපියල් 323 කින් මිල වැඩිකිරීමට අවසර ඉල්ලා තිබූ අතර ‘ජීවන වියදම් කැබිනට් අනු කමිටුව’ අවසර දී තිබුණේ රුපියල් 195 කින් මිල වැඩිකිරීමට ය. කෙසේ වෙතත්, කාරණා කිහිපයක් පැහැදිලි ය. අප නොදන්නවාට, තෙල් මිලට වගේ ම ගෑස් මිලට ද අදාළ වන ‘මිල සූත්‍රයක්’ තිබේ. ‘අත්‍යවශ්‍ය භාණ්ඩ’ ලැයිස්තුවේ භාණ්ඩයක් වන එහි මිල නියාමනයට අදාළ වගකිව යුතු නිලධාරීන්ගෙන් සමන්විත ආයතනත් තිබේ. එපමණකුත් නොව, 2015 සිට අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍යවල මිල නියම කිරීමට වගවිය යුතු ‘කැබිනට් අනුකමිටුවක්’ ද තිබේ. එහෙත් උදේ සිට රෑ වන තුරු පාවිච්චි කරන සෑම භාණ්ඩයකටම සේවාවකට ම අදාළව නහුතයක් බදු ගෙවන අප තවදුරටත් ජීවත් වන්නේ භාණ්ඩයක මිලවත් හරි හැටි තීරණය කරගත නොහැකි ‘යහ පාලනයක්’ සහිත රටක ය. - සුරේඛා සමරසේන
 

More News..