brand logo

කලිඳුව ලැබුණෙ මගේ වාසනාවට

05 December 2020

සිදූ ටෙලිනාට්‍යයේ තෙරුණි ලෙසින් පුංචි තිරයේ ආදරය දිනා ගත් මනීෂා චංචලා මේ වෙද්දී බොහෝ ප්‍රේක්ෂක ආදරය වගේම අවධානයත් දිනා ගන්නට සමත් වුණු නව පරපුරේ රංගන ශිල්පියක්. ඇයගේ උපන් ගම මහනුවර නුගවෙල,මනීෂාට ඉන්නේ වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙක්. මනිෂා කියන විදියට පුංචි කාලේ ඉඳන් කලාවට ළැදිකමක් දක්වලා තියෙන්නේ මනිෂා විතරයිලු. කොහොම හරි මනිෂාගේ හැකියාවන් තේරුම් ගත්ත අම්මයි තාත්තයි මනිෂාව කලාවට යොමු කළ බවයි ඇය කියන්නේ. 2008 දී මහනුවර, කඳුරට fm එකත් එක්ක ළමා නිවේදිකාවක් විදිහට එකතු වුණ මනිෂා ඊට පස්සේ දෙරණ Little Star තරගෙට එකතු වෙනවා. එහිදී ඇය 12න් පහළ ගායන තරගාවලියේ 4 වන ස්ථානය දිනා ගන්නවා. ඉන් පසුවයි මනිෂා පුංචි තිරයට රංගනයෙන් එකතු වෙන්නේ. මේ වෙද්දී මනිෂා ගායිකාවක්, රංගන ශිල්පිනියක් සහ නිවේදිකාවක් විදියට ප්‍රේක්ෂකයා හමුවට එනවා. ඒ නිසාම ඇය මේ දිනවල මොකද කරන්නේ කියලා හොයලා බලන්නත් එක්කම පිනිපලස අපි මනීෂාට කතා කළා. කොහොමද මනීෂා මොකද වෙන්නේ මේ දවස්වල? මේ දිනවල විකාශය වන සිහින සමාගමේ රූගත කිරීම් වැඩකටයුතු සහ හද රැඳි පැය වැඩසටහන ඉදිරිපත් කරනවා. ඊට අමතරව අලුත් සිංදුවක් කළා. ඒක ළඟදීම එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. රංගනයෙන් තව අලුත් නිර්මාණ භාර අරගෙන තියෙනවද? නැහැ එහෙම නම් තව නිර්මාණ භාර අරන් නැහැ. මේ තියෙන කොවිඩ් උවදුරත් එක්ක අලුත් නිර්මාණ කටයුතු නම් කෙරෙනවා හරි අඩුයි. හැබැයි හොඳ නිර්මාණයකට ආරාධනාවක් ලැබුණොත් භාර ගන්නවා. කොහොමද චරිත තෝරා ගන්නේ? මුලින්ම ඒ චරිතය තුළ මට දෙයක් කරන්න තියෙනවද කියන එක තමා බලන්නේ. මොකද මට ඒ චරිතයට සාධාරණයක් කරන්න බැරි නම් මම චරිතය භාර ගන්නේ නැහැ. ඒ වගේම මම කැමති එකිනෙකට වෙනස් වූ චරිත කරන්න. ගායනයටද රංගනයටද වැඩියෙන්ම කැමැති? ඒක මට බෙදන්න අමාරුයි. මම ඒ දෙකටම දායක වෙන්නේ ගොඩක් කැමැත්තෙන්. ඒ නිසා සමබරව කරගෙන යන්න තමා කැමැති. අධ්‍යාපන කටයුතු කොහොමද? මේ දවස්වල විශාරද විභාගයට සූදානම් වෙනවා. ඒ වෙනුවෙන් පන්ති යනවා. කලාවට සම්බන්ධ වීම ගැන අද මොකද හිතෙන්නේ? කලාවට එන්න ලැබීම ලොකු වාසනාවක්. ගොඩක් අයට කලාවට එන්න හීන තියෙනවා. නමුත් අවස්ථාව ලැබෙන්නේ නැහැ හැමෝටම. ඉතින් ඒ නිසා ඒ ගැන නිහතමානීව සතුටක් තියෙනවා. ගමේ එහෙම යන්නේ නැද්ද? ඔක්තෝබර් මගේ උපන්දිනයට ගමේ ගිහින් ආවා. ඇත්තටම ගමේ යන්න ලැබෙන කාලය නම් හරි අඩුයි. වෙලාවක් හම්බුණ ගමන් යන්න ආස මගේ ගමට. ගමේ යාළුවො තාම හම්බෙනවද? මම ගමේ ගියොත් යාළුවො හම්බෙන්නේ නැතුව එන්නේ නම් නැහැ. නුවරින් ආපු දවසේ ඉඳන් අදටත් ගමේ ගියොත් යාළුවො හම්බෙනවමයි. ගමේ යාළුවො මොකද කියන්නේ? එයාලට හරිම ආඩම්බරයක්. හැමතිස්සෙම මාව දිරිමත් කරන පිරිසක් තමා මට ගමේ ඉන්නේ. ඒ වගේ යාළුවො හිතවතුන් ලැබීමත් මම හිතන්නේ මගේ පිනක් කියලා. දුරකථන ඇමතුමකින් හරි මා එක්ක එයාල අදටත් ඉන්නවා. අපි ආදරය ගැන කතා කළොත්? හ්ම් ආදරය සුන්දරයි. මමත් ඉතා සුන්දරව ආදරය විඳිනවා. ඒ අතිනුත් මම හරිම වාසනාවන්තයි. ඉතින් අපි පෙම්වතා ගැන කියමු? එයා තමයි කලිඳු කරුණාරත්න. දෙරණ ආයතනයේ ප්‍රවෘත්ති නිවේදකයෙක්. ඔහුව තෝරා ගන්න මොකක් ද ඔහුගෙන් දැක්ක විශේෂත්වය? කලිඳු කියන්නේ හරිම අව්‍යාජ චරිතයක්. කිසිම වාසියක් තකා බොරුවක් කියන්නේ නැති හරිම අවංක හැමෝටම හොඳින් සලකන පොළොවේ පය ගහලා ජීවත් වන චරිතයක්. ඒ නිසාමයි ඔහුට මගේ හිත ගියේ. ඔහුගෙන් තහංචි නැද්ද රඟපානවට? කිසිම විදියකින් නැහැ. මම හිතන්නේ ගැහැනු ළමයෙකුට ලැබෙන්න ඕනේ සහකරුවෙක් කලිඳු කියන්නේ. ඔහුගෙන් සහයෝගයක් තමා හැම මොහොතකම ලැබෙන්නේ. ළඟදී විවාහ වෙන්න අදහසක් තියෙනවද? විවාහය සැලසුම් කරගෙන යනවා. හැබැයි තවම කාලයක් තීරණය කරලා නැහැ. බලමු ඉතින්. කලිඳුට සින්දු කියන්න බැරිද? එයත් පෙන්නුවේ නැති වුණාට එයත් හොඳ ගායකයෙක්. නිවේදනය තරම්ම දක්ෂතාවක් තියෙනවා ගායනයටත්. එහෙනම් ඉදිරියේදී දෙන්නගෙම සින්දුවක් අහන්න ලැබෙයි? බලමු නේද. ඒක වෙන්නත් පුළුවන්. ජීවිතේ කඩාවැටීම් පසුබෑම් තියෙනවද? ඒකට නැහැ කිව්වොත් ඒක බොරුවක්. ඕනෙම කෙනෙක්ගේ ජීවිත තුළ පසුබෑම් සහ කඩාවැටීම් තියෙනවා. මගේ ජීවිතෙත් ඒවා නොතිබුණා නෙවෙයි හැබැයි මම ඒවා ඒ විදියට භාර අරගෙන නැහැ. මම ඒ හැම දෙයක්ම අත්දැකීම් කරගෙන මගේ ගමන ඉස්සරහට අරගෙන ආව කෙනෙක්. ප්‍රවීණ අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද? ම වැඩ කරපු නිර්මාණවල හිටපු සියලුම ප්‍රවීණ අය මට හැමදේම කියලා දුන්නා. ඇත්තටම මම රංගනය කියන දේ ඉගෙන ගන්නේ ඒ ප්‍රවීණ අයගෙන් ලැබෙන ගුරුහරුකම් නිසා. අනාගත බලාපොරොත්තු? මම නියැළිලා ඉන්න ක්ෂේත්‍රය තුළ හොඳ නමක් එක්ක හොඳ ගමනක් යන්න මම ආස කරන කෙනෙක්. හදිස්සියක් නැහැ මට හැමදේම හොඳින් ඉගෙන ගෙන හොඳ නිර්මාණ වලට දායක වෙමින් හොඳ ගමනක් යන එක තමා අරමුණ සහ බලාපොරොත්තුව. අනුෂා රණසිංහ .
 

More News..