brand logo

කලා උපාධියේ කඩතොලු වහන්නේ කොහොමද ?

24 October 2022

නිදහස් කලා හෙවත් ලිබරල් ආර්ට්ස් යනුවෙන් අදහස් කරන්නේ හුදෙක් ලංකාවේ ශාස්ත්‍ර පීඨවල ඉගැන්වෙන මානව ශාස්ත්‍ර සහ සමාජයීය විද්‍යා විෂයයන් පමණක් නොවේ. මූලික ස්වභාවික විද්‍යා විෂයයන් සහ ගණිතය වැනි දේ ද ලෝකයෙහි නිදහස් කලා පාඨමාලාවලට ඇතුළත් වේ. එහෙත් අප රට ශාස්ත්‍ර පීඨවල ඉගැන්වෙන විෂයවලින් විශාල ප්‍රමාණයක් නිදහස් කලා යනුවෙන් හැඳින්වෙන විෂය ධාරාවට අයත් වේ. ඒ නිසා මෙහි සාකච්ඡා කෙරෙන අධ්‍යාපනය වූකලී අප රට විශ්වවිද්‍යාලවල ශාස්ත්‍ර පීඨවලින් ලැබෙන අධ්‍යාපනය යැයි සැලකීම වරදක් නැත. අධ්‍යාපනය පිළිබඳ කෙරී ඇති පර්යේෂණ පදනම්ව කලා උපාධි පාඨමාලාවකින් අපේක්ෂිත ප්‍රතිලාභ රැසකි.

ශිෂ්‍යයාගේ පෞද්ගලික රුචිය සහ උනන්දුව පෘථුලකර ඔහුගේ හෝ ඇයගේ සමාජමය ආත්ම විශ්වාසය වැඩි කිරීම

හොඳින් සැකසුණු සේම හොඳින් උගන්වනු ලබන කලා උපාධි පාඨමාලාවකින් විශාල කලාපයක විසිරුණු දැනුමක් සේම දේවල් දෙස බැලීමට පෘථුල පර්යාලෝක සහ දෘෂ්ටිකෝණද ලැබේ. මේ නිසා පෞද්ගලිකව ශිෂ්‍යයා උනන්දුව දක්වන ක්ෂේත්‍රවල පෘථුලවීමක්ද, ශිෂ්‍යයාගේ මානසික උත්තේජනය සපයන මූලාශ්‍රවල පදනම පෘථුල වීමක්ද සිදුවේ. අධ්‍යාපනයෙහි අරමුණ එක තනි පටු ක්ෂේත්‍රයක දැනුමක් ලබා ගැනීම එක තනි දෘෂ්ටි කෝණයකින් ලෝකය බැලීම නොවේ. එසේම, මනුෂ්‍ය මනස නිරන්තරයෙන් උත්තේජනය කර තැබීම පහසු නැත. ජීවිතයේ විවිධ අඩවි ගැන පළල් උනන්දුවක් ඇති කිරීමට මානව ශාස්ත්‍ර සහ සමාජයීය විද්‍යා විෂය ධාරා මගින් තැත් දරන්නේ එහෙයිනි. එසේ පළල් විෂය ක්ෂේත්‍රයක පැතිරුණු දැනුමක්ද විශාල කලාපයක විසිරුණු දේවල් ගැන උනන්දුවක්ද ඇති විට කෙනකුගේ සමාජමය ආත්ම විශ්වාසය වැඩිවේ යැයි සැලකේ. වියතුන් සභා මැද පැකිළී පසුබා නොයාම උගතකුගේ ගුණයක් සේ අපේ සාහිත්‍යයේද නිතර විස්තර කෙරේ. එවන් සමාජමය ආත්ම විශ්වාසයක් ඇති විට කෙනකුට බහුවිධ අධ්‍යාපනික, පෞද්ගලික සහ වෘත්තීය රුචි අරුචිකම් ඇති විවිධ ස්වරූපයේ මනුෂ්‍යයන් සමග පහසුවෙන් සම්බන්ධ වීමේ හැකියාව අත්පත් කර ගත හැකිය.පළල් කලාපයක විසිරුණු විෂය මාලාවක් උගනිමින්, පෘථුල ආකාරයේ දෘෂ්ටිකෝණ වර්ධනය කරගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන් තුළ ඉහළ මට්ටමේ ආත්ම අභිමානයක් සහ සමාජමය ආත්ම විශ්වාසයක් ඇති වන බව පර් යේෂකයන් සොයාගෙන ඇත. එවැනි පාඨමාලා ඒවාට උචිත ආකාරයේ ඉගැන්වීම් විධි ඇසුරින් අපේ විශ්වවිද්‍යාලවල උගන්වනු ලබන්නේද යන්න වෙනම සාකච්ඡා කළ යුතු කාරණයකි.

වඩා ඵලදායක ලෙස සහ කාර්යක්ෂම ලෙස ඉගෙනීමේ ධාරිතාව වර්ධනය වීම

මනුෂ්‍යයන් දේවල් උගන්නා ආකාරය ගැන ඉතා සිත් ගන්නා ස්නායු විද්‍යාත්මක පර් යේෂණ මත පදනම්ව මෙම කරුණ සාකච්ඡා කෙරේ. ඉගෙනීම හොඳින් සිදුවන්නේ අප දැනටමත් දන්නා දේවල් හෙවත් අපේ මොළයෙහි දැනටමත් තැන්පත්ව ඇති දේවල් සමග අලුතින් ඉගෙනගන්නට තැත් කරන දේ ස්නායු විද්‍යාත්මක වශයෙන් සම්බන්ධ වන විටය. අපේ මොළයෙහි දැනටමත් ගබඩා කරගෙන ඇති සම්බන්ධතාවල ප්‍රමාණය සහ විවිධත්වය වැඩි නම් ඒවා අලුත් දේවල් සමග සම්බන්ධ කිරීම පහසුය. මෙය විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වනතුරු අධ්‍යාපනය ලබා ඇති කෙනකු හොඳින් දන්නා දෙයකි. “මනමේ කුමාරියටත්, ඇනා කැරනිනාටත්, එමා බොවාරිටත් තිබුණේ මූලික වශයෙන් එකම ප්‍රශ්නයක්. ඒ තමයි පුරුෂාධිපත්‍යයෙන් යුතු විවාහයක් තුළ ස්ත්‍රියගේ ස්ථානය පිළිබඳ ප්‍රශ්නය.” මා මෙසේ කීවේ යැයි සිතන්න. එය වටහා ගැනීම සඳහා මනමේ නාට්‍යය, ඇනා කැරනිනා සහ එමා බොවාරි යන නවකතා දෙක දැක කියවා තිබීම අවශ්‍ය බව අපි දනිමු. මනමේ නාට්‍යය ගැන දැනට දන්නා නමුත් අර නවකතා දෙක නොකියවා ඇති කෙනකුට මේ සබඳතාව ගොඩ නගා ගැනීම පහසුය. මනමෙ ගැන අප තුළ ඇති මතකය (හෝ ස්නායු විද්‍යාත්මක දත්ත) අර නවකතා දෙක අලුතින් ඉගෙනීම පහසු කරයි. ඉගෙනීම හැඳින්වෙන Learning යන වචනය එන්නේ Lira යන ලතින් වචනයෙනි. එහි අර්ථය රේඛාව, ඉරි ඇඳීම, නගුල් තලයකින් පොළොවෙහි ඉරක් ඇඳීම වැන්නකි. එනම් ඉගෙනීම යනු අපේ මොළයෙහි එක්තරා ආකාරයකින් ස්නායුමය ඉරක් ඇඳීම වැන්නකි. එසේ ඇඳි ස්නායු ඉරි වැඩි වන තරමට අලුතින් උගන්නා ඒ හෑරුණු ඉරිවලට පටලා සම්බන්ධ කිරීම පහසුය. මානව ශාස්ත්‍ර සහ සමාජයීය විද්‍යා අධ්‍යාපනය මගින් අපගේ මොළයෙහි ඇති අර වැනි ස්නායු විද්‍යාත්මක ජාල පද්ධතිය හෙවත් රේඛා පද්ධතිය පෘථුල කිරීමක් සහ බහුවිධ කිරීමක් සිදු වේ. ශාස්ත්‍ර පීඨයේ නියම ලෙස අධ්‍යාපනය ලබන්නේ නම් පළල් කියවීම අවශ්‍ය වන්නේ එම නිසාය. එමගින් අලුත් අදහස් සමග සම්බන්ධ වීමේ මාර්ග වැඩි කරනු ලැබේ. එවැනි දැනුම පිළිබඳ ස්නායු විද්‍යාත්මක වශයෙන් පළල් පදනමක් අප අභ්‍යන්තරයෙහි ඇති කර ගැනීම නිසා ඔබ තුළ දැනටමත් පවත්නා දැනුම වෙනත් සන්දර්භ වෙත මාරු කිරීමට පහසු කරයි.

බහුවිධ පර්යාලෝක තුළින් විචාරාත්මකව චින්තනයෙහි යෙදීම

ලෝකයෙහි ඇති ඉතාම වැදගත්, කාලීන, බරපතළ ගැටලු හෝ අභියෝග එක තනි විෂයකදී මුණ ගැහෙන්නේ නැත. මා උගන්වන සාහිත්‍ය පාඨමාලාවලදී නූතන සාහිත්‍යයට අදාළ ගැටලු හා අභියෝග සමහරක් මුණ ගැසුණද වඩා කාලීන ගැටලු වන පාරිසරික ප්‍රශ්න, ගෝලීය ආර්ථික අසමානතාව, ආදී බොහෝ වැදගත් ප්‍රශ්න හුදෙක් සාහිත්‍ය පාඨමාලාවකදී මුණ නොගැසේ. අද ලෝකයේ තීරණාත්මක වශයෙන් වැදගත් වන්නා වූ බොහෝ ප්‍රශ්න මුණ ගැසෙන්නේ බහුවිධ විෂයධාරා අතර ගැඹුරු අන්තර්ක්‍රියා සිදුවන තැන්වලදීය. එහිලා අන්තර් විෂයීය සම්බන්ධතා අවශ්‍ය වේ. පෞද්ගලික නිදර්ශනයක් මෙසේය. මම පරිසරවාදී සාහිත්‍ය න්‍යාය සහ විචාරය ගැන දේශන මාලාවක් උගන්වමි. එහිදී මට සාහිත්‍යය, පරිසරවාදය, නූතනත්වය, නූතනවාදී සංවර්ධනය ආදිය මුණ ගැසේ. ශාස්ත්‍ර පීඨයේ අධ්‍යාපනය ඉහළ මට්ටමින් සිදුවන අවස්ථාවල මෙවන් විෂයාන්තර තේමාත්මක සම්බන්ධතා ගොඩ නැගේ. එහිලා ලෝකයේ පවත්නා එවන් කතිකා ගැන අවබෝධයක් ඇති ගුරුවරුන්ද, ඒවා අධ්‍යයනයට අවශ්‍ය පහසුකම්ද එවැනි දේ ගැන කුතූහලයෙන් යුතු ශිෂ්‍යයන්ද සිටිය යුතු බව වෙනම කතාවකි. අපි පාරිසරික වෙනස්වීම පිළිබඳ ප්‍රශ්නය ගනිමු. ඒ තේමාව හොඳින් හැදෑරීමට අඩු තරමින් පහත සඳහන් විෂය පර්යාලෝක අවශ්‍ය වේ: පරිසරවාදය - මනුෂ්‍යයන් පරිසරය සමග අන්තර්ක්‍රියා කරන්නේ සහ පරිසරය ආරක්ෂා කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීම භෞතික විද්‍යාව - විකල්ප බලශක්ති ප්‍රභව පිළිබඳ අවබෝධය ලබා ගැනීම ආර්ථික විද්‍යාව - විකල්ප බලශක්ති ප්‍රභව වෙත මාරුවීමෙන් කර්මාන්තවලට සිදු වන වියදම් අවම කරගන්නා ආකාරය ගැන අවබෝධය දේශපාලන විද්‍යාව - පොසිල ඉන්ධන අධික ලෙස භාවිත කරන කර්මාන්ත සම්බන්ධයෙන් නීති රෙගුලාසි සම්පාදනය ජාත්‍යන්තර සම්බන්ධතා - ලෝකයේ විවිධ රටවල් පරිසර ප්‍රශ්නයට දායක වන ආකාරය පිළිබඳ අවබෝධ සහ සම්මුති ඇති කර ගැනීම ඉතිහාසය - පරිසරය සහ මිනිසා අතර සම්බන්ධයෙහි ඓතිහාසික විකාශනය තේරුම් ගැනීම ආගමික අධ්‍යයනය - විවිධ ආගමික සම්ප්‍රදායයන් තුළ පරිසරය පිළිබඳ ගොඩ නැගී ඇති දැනුම් තුලනාත්මකව වටහා ගැනීම. මෙම විෂය ලැයිස්තුව තව දිගය. මෙවන් විෂයාන්තර ප්‍රවේශයකින් ලෝකයෙහි සහ යුගයෙහි ප්‍රධාන ප්‍රශ්න දැකීමට එළිය ලබා දීම ශාස්ත්‍ර පීඨයෙහි අධ්‍යාපනයෙහි කාර්යයයි. ඉහත ලැයිස්තුව නැවත බලන්න. එහි එන භෞතික විද්‍යාව නම් විෂය අපේ ශාස්ත්‍ර පීඨවල උගන්වන්නේ නැත. එය බලවත් පාඩුවකි. එවන් විෂයන් පිළිබඳ මූලික හැඳින්වීමක් ශාස්ත්‍ර පීඨවලින්ම සැපයීමට නම් අප මෙතෙක් දේශනවල කතා කළ නිදහස් කලා සාම්ප්‍රදායෙන් එළිය ලැබිය යුතුය. ඉහත ලැයිස්තුවෙහි එන සියලු විෂයයන් පිළිබඳ ප්‍රමාණවත් දැනුමකින් යුතුව පරිසර ප්‍රශ්නය දෙස බලන කෙනකුට එහි ගැඹුර සහ සංකීර්ණතා හොඳින් පෙනේ. අපට තිබිය යුත්තේ එවැනි අධ්‍යාපනයක් නොවේද?

නිර්මාණශීලී ලෙස සිතීම

නිර්මාණශීලීත්වය පැන නගින්නේ හුදෙක් තනි විෂයක සීමාවෙන්ද, තනි පර්යාලෝකයක සීමාවෙන්ද, තනි විෂයකට පමණක් සීමා වූ කුසලතාවලින් එපිටට විහිදුණු දැනුම් පදනමක් තුළිනි. අතිශයින්ම නිර්මාණශීලි පුද්ගලයන් පිළිබඳ කෙරී ඇති පර් යේෂණවලින් මෙවැන්නක් හෙළි වී තිබේ. ඔවුහු හුදෙක් තනි විෂයකට සීමා නොවූ දැනුමද උනන්දුවද ඇත්තෝ වෙති. එමගින් ඔවුන්ට බහුවිධ විෂය ක්ෂේත්‍ර වෙතින් අදහස් උරා ගැනීමේ හැකියාව ඇත. ලෝකයේ සිටි සහ සිටින විශිෂ්ටතම සාහිත්‍යකරුවන් බොහෝ දෙනකුගේ නිර්මාණ කියවා ඇති මම මේ කාරණය ඇත්තක් බව දනිමි. ඉතා හොඳින් ශාස්ත්‍ර පීඨ අධ්‍යාපනය සිදුවන්නේ නම් එය නිර්මාණශීලීත්වයට දිරි දිය යුතුය. මාර්ටින් වික්‍රමසිංහ වැනි අතිශය නිර්මාණශීලී කෙනකු විශ්වවිද්‍යාලයෙහි උපකාරයෙන් තොරව බිහි වූයේ කෙසේදැයි කෙනකු අසන්නට පුළුවන. ඔහුගේ උපන්දා සිට නම් චරිතාපදානය කියවන්න. අටේ පන්තියට පමණක් උගත් ඔහු මා මෙහි පැහැදිලි කරන අන්දමේ අධ්‍යාපනයක් තමාම නිර්මාණය කරගත්තේය. ඔහු සාහිත්‍ය, විද්‍යාව, මානව විද්‍යාව, මනෝ විද්‍යාව, දර්ශනය ආදී විෂයාන්තර පොත පත කියවූයේය. හොඳින් ඉංග්‍රීසි බස දැන සිටීම ඔහුට විශාල උපකාරයක් විය. ඔහුට නොතිබුණු පහසුකම් ඇති, නිර්මාණශීලීත්වයට තුඩු දෙන්නේ යැයි කියන විශ්වවිද්‍යාලය ඔහු වැන්නවුන් අඩුවෙන් බිහි කරන්නේ ඇයි? මෙය අප අද ඇසිය යුතු ප්‍රශ්නයකි.

වෘත්තීය විකල්ප ගවේෂණය සහ තෝරා ගැනීම

මෙම කාරණය ගැන මා කතා කරන්නේ ඉතා කෙටියෙනි. ශාස්ත්‍ර පීඨයේදී විවිධාකාර විෂය ක්ෂේත්‍රවලට ඔබ අනාවරණය වන නිසා බහු විධ වෘත්තීය ගමන් පථ ගැන අදහසක් ඔබට වර්ධනය කරගත හැකිය යන්න මෙහි අදහසයි. රුචිය, දක්ෂතා, වටිනාකම් (ජීවිතයට වැදගත් යැයි ඔබ සිතන දේවල්) මේ තෝරා ගැනීමේදී තීරණාත්මක වේ. මෙය න්‍යායිකව ඇත්තක් වුවද අපේ රටේ ඇති ආර්ථික තත්ත්වය අනුව ඔබ බොහෝ දෙනකු පාසල් ගුරුවරුන් වීමට මිස වෙනත් වෘත්තීය විකල්ප ගැන නොසිතන බව මම දනිමි. එය අප රට ආර්ථිකයේ මෙන්ම සමාජ පද්ධතියේද ස්වභාවයකි. එහෙත් වෘත්තීය තෝරා ගැනීම වැටුප හෝ ආර්ථික තත්ත්වය ගැන පමණක් සිතා ගැනීම අනුවණකමකි. වෘත්තිය යන්නට “වොකේෂන්” යැයි ඉංග්‍රීසියෙන් කියයි. එහි මූලය ඇත්තේ ලතින් බසෙහිය. “වොකේෂියෝ” යැයි ලතින් බසින් හැඳින්වෙන්නේ “කැඳවීම” වැනි අර්ථයකි. එහි අදහස මෙවැන්නකි: ඔබගේ වෘත්තිය ඔබගේ සැබෑ දක්ෂතා, රුචිය සහ වටිනාකම්වලට ආමන්ත්‍රණය කර ඒවා කැඳවිය යුතුය. රක්ෂාව සහ රැකියාව යන දේවල් අපගේ අධ්‍යාපනයෙහි ප්‍රධාන අරමුණකි. රක්ෂාවීම යනුවෙන් වැටුපක් ගෙන බඩ වියත රැකගැනීමට වඩා දෙයක් අදහස් විය යුතුය. අපගේ රක්ෂාව අපගේ දක්ෂතා, අප ඇත්තටම කරන්නට කැමැති දේ, සහ අප අගයකොට සලකන වටිනාකම්ද ආරක්ෂා කරන්නේ නම් වඩා හොඳය.

ශිෂ්‍යයාගේ වෘත්තීය ගමනෙහි සාර්ථකත්වයට දායක වීම

ශාස්ත්‍ර පීඨ අධ්‍යාපනයෙන් ලැබිය යුතු ප්‍රයෝගික ඵලද අපමණ තිබේ. වෘත්තීය ගමනෙහි සාර්ථකත්වයට තුඩු දිය හැකි කුසලතාද ඉන් ලැබේ. විසි එක්වෙනි සියවස වන විට රැකියා වෙළඳපොළෙහි ඉල්ලුම ඇත්තේ මොන මොන ගුණවලටද යන්න ගැන කතාබහක් ඇති වී තිබේ. අපේ අධ්‍යාපනයෙන් ලැබෙන ඇතැම් කුසලතා එහිලා ගැළපෙන ආකාරය විස්තර කෙරෙන අධ්‍යයන ඇත. ශාස්ත්‍ර පීඨවලින් ලැබෙන අධ්‍යාපනය විසි එක්වෙනි සියවසේ රැකියා වෙළඳපොළෙහි ඇතිවන ඇතැම් රැකියාවලට සුදුසුම අධ්‍යාපනය වීමට ඉඩ තිබේ. එය සිදුවනු ඇත්තේ ඒ අධ්‍යාපනය ඉතා හොඳින්ම ලබා දීමට අපගේ විශ්වවිද්‍යාල සමත් වන්නේ නම්ය. එවැනි පසුබිමක් තිබෙන විට ලැබෙන අධ්‍යාපනය නිසා ශිෂ්‍යයාට ලැබෙන දේ අපට මෙසේ සාරාංශ කළ හැකිය:

සමෝධානීය ඉගෙනුම

මෙයින් අදහස් වන්නේ දැනුම සහ කුසලතා සැබෑ ලෝකය සම්බන්ධයෙන් භාවිත කිරීමේ හැකියාවය. මනුෂ්‍ය සංස්කෘති, භෞතික ලෝකය, ස්වභාවික ලෝකය පිළිබඳ දැනුම මෙයින් අදහස් වන දැනුම පහත සඳහන් අංගවලින් සෑදී පැවතිය මනාය. විද්‍යාව සහ තාක්ෂණයෙහි නව වර්ධන පිළිබඳ දැනුම, ගෝලීය ගැටලු, ගෝලීය ආර්ථික දේශපාලන ප්‍රවණතා, ඒවාගෙන් අනාගතයට වන බලපෑම ගැන අවබෝධය, අප රටෙහි සහ අනෙක් රටවල සංස්කෘතික වටිනාකම් පිළිබඳ තුලනාත්මක අවබෝධය

බුද්ධිමය සහ ප්‍රායෝගික කුසලතා

- භාෂණයෙන් සහ ලේඛනයෙන් ඵලදායක ලෙස සන්නිවේදනය කිරීමේ හැකියාව - විචාරාත්මක සහ විශ්ලේෂණීය චින්තන කුසලතා - බහුවිධ මූලාශ්‍රවලින් තොරතුරු සොයා ගැනීමේ, සංවිධානය කිරීමේ සහ තක්සේරු කිරීමේ හැකියාව - අභිනව ආකාරයෙන් නිර්මාණශීලීව සිතීමේ හැකියාව - සංකීර්ණ ගැටලු විසඳීමේ හැකියාව - සංඛ්‍යා සමග වැඩ කිරීමේ සංඛ්‍යානමය දත්ත තේරුම් ගැනීමේ හැකියාව මේ එක් එක් අංග ගැන සන්දර්ශනාත්මක පැහැදිලි කිරීමකට මෙහි ඉඩ නැත.

පෞද්ගලික සහ සමාජමය වගකීම:

බහුවිධ කණ්ඩායම් පසුබිම්වල සහයෝගීතාවෙන් වැඩ කිරීමේ හැකියාව, සාමූහික ක්‍රියාවල නියැළීමේ කුසලතා, අවංකභාවය සහ ආචාරධර්ම පිළිබඳ හැඟීම. මෙම කාරණය පැහැදිලි කරගැනීමට උපකාර වන නිදර්ශනයක් මෙසේය: ඇමරිකා එක්සත් ජනපදයෙහි මිල්වෝකී නගරයෙහි සමාගම් විධායකයෙක් අලුත් තනතුරු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම ගැන මෙසේ කීවේය. “අනික් ඔක්කොම සුදුසුකම්වලට වඩා මම හොයන්නෙ වගකීම් ගන්න පුළුවන්, සාමූහිකව වැඩ කරන්න පුළුවන් අය. රස්සාවට අදාළ තාක්ෂණික දේවල් ටික මම උගන්නන්නම්.” අප රට විශ්වවිද්‍යාලවල විෂය මාලා ප්‍රතිසංස්කරණවල මූලික අවධානය ‘රැකියාවලට අවශ්‍ය තාක්ෂණික කුසලතා’ වෙත යොමු වී තිබේ. රැකියා ස්ථානයේදී උගත හැකි එවන් කුසලතා වෙනුවට බරසාර සංකල්ප සහ අදහස් උද්ග්‍රහණයට ඉඩ හසර ඇති කිරීම විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ හරය විය යුතු නොවේද? මහාචාර්ය ලියනගේ අමරකීර්ති
 

More News..