brand logo

කලාවත් දේශපාලනයක් තමයි - දිනෙන් ද සිල්වා

31 August 2020

නිරූපණ ක්ෂේත්‍රයෙන් සිනමාවට පිවිස සිනමාවේ විවිධ චරිත හරහා අපිට සමීප වූ දිනෙත් ද සිල්වා නැවත ෂෙලීනා සිනමාපටයෙන් ප්‍රේක්ෂකයන් අතරට එනවා. ඒ නිසා හිතුව දිනෙත් එක්ක කතා කරන්න. මොකද වෙන්නෙ මේ දවස්වල? ගොඩක් සතුටින් ඉන්නෙ. මොකද පුංචි තිරයේ මම ආසාවෙන් කරපු නිර්මාණයක් තමයි සයිමන් නවගත්තේගම මහතාගේ සංසාරණ්‍යය අසබඩ කෘතිය තුළින් සංජය නිර්මාල් කරපු සංසාරණ්‍යය අසබඩ කියන කොටස් හැටක නාට්‍යය. ඉතින් ඒක මේ සතියෙන් විකාශය අවසන් වුණා. හොඳ ප්‍රතිචාරය ලැබුණා. ඒ ගැන ලොකු සතුටක් තියෙනවා. ඒ එක්කම මම දායක වුණු ෂෙලීනා චිත්‍රපටය තිරගත වෙනවා. ඉදිරියේ දී තිරගත වෙන්න තියෙන නිර්මාණ මොනවාද? නොවැම්බර් දෙසැම්බර් වල හිතුමතේ ජීවිතේ චිත්‍රපටය තිරගත වෙන්න තියෙනවා. ඊට අමතරව ඉත්තා, කන්දක් සේමා, වගේ නිර්මාණවල වැඩ අවසන්. මේ වෙද්දී චිත්‍රපට කීයක් විතර කරලා තියෙනවා ද? චිත්‍රපට නවයක වගේ වැඩ අවසන් වෙලා තියෙනවා. ටෙලි නිර්මාණ ගැනත් අපි කතා කළොත්... පුංචි තිරයේ නම් නිර්මාණ භාර ගත්තේ ගොඩක් තෝරා බේරා ගෙන. මොකද මම කරන්නෙ මට දෙයක් කළ හැකි සහ ප්‍රේක්ෂක ජනතාවට දෙයක් දෙන්න පුළුවන් නිර්මාණවලට. මම මුලින්ම කළේ ජැක්සන් ඇන්තනී මහතාගේ ශ්‍රී රජ නාට්‍යයේ ඊට අවුරුදු තුනකට පස්සෙ තමා සංජය නිර්මාල් ගෙ සංසාරණ්‍යය අසබඩ නිර්මාණයට දායක වුණේ. කැමැති මෙතෙක් නොලැබුණු චරිතයක් එහෙම තියෙනවා ද? මට මෙතෙක් ලැබුණේ එකිනෙකට වෙනස් චරිත. මට ඕනේ චරිතාංග නළුවෙක් වෙන්න. ඒ නිසා චරිත තෝරා ගැනීම තුළ සහ ඒ ඒ චරිත නිරූපණයට පෙර මම බොහෝ සෙවීමක් කරනවා. මම හිතපු චරිත මට ලැබිලා තියෙනවා. අන්ධ චරිතයක් කරන්න කැමැත්තක් තියෙනවා. සම්මාන ගැනත් අපි කතා කළොත් ? සම්මාන නම් බලාගෙන හෝ බලාපොරොත්තුවෙන් මම රඟපාන්නෙ නැහැ. වටින්නෙ ජනතා සම්මානය. මොන සම්මාන ලැබුණත් වැඩක් නැහැ ප්‍රේක්ෂකයාට දැනුනේ නැත්නම්. . අදටත් ජෝ අබේවික්‍රම, ගාමිණී ෆොන්සේකා වගේ අය කරපු චරිත ගැන අදටත් කතා කරන්නෙ ඒ නිසා. ඒ චරිත තුළින් ප්‍රේක්ෂකයාට ඇති කළ කම්පනය තමා අදටත් ඔවුන්ගේ චරිත මතකයේ රැඳෙන්නෙ. රංගනය ට එන්නේ නිරූපණ ක්ෂේත්‍රය තුළින්, දැන් නිරූපණ කටයුතු කරන්නෙ නැද්ද? අනිවාර්යයෙන් කරනවා. එදා තරම් නොවුණත් අදටත් ලැබෙන ආරාධනා අනුව ඒ ක්ෂේත්‍රය තුළ ඉන්නවා. මොකද ඒ තුළින් තමා මට රංගනය ට එන්න අවස්ථාව ලැබුණේ. ඒ නිසා තාමත් නිරූපණ ක්ෂේත්‍රයට මම ආදරෙයි. රංගන ශිල්පියෙක් නොවුණා නම් කවුරු වෙයිද? මම වැඩිදුර අධ්‍යාපනය ලැබුවේ එංගලන්තයේ. ව්‍යාපාර අධ්‍යයනය ගැන තමා මගේ උපාධිය තියෙන්නේ. ඒ නිසා නළුවෙක් නොවුණා නම් පෞද්ගලික අංශයේ රැකියාවක් කරයි. වෘත්තීය රංගන ශිල්පියෙක් විදියට පවතින්න පුළුවන් ද? වෘත්තීය බවට පත් කර ගත්තොත් හැම නිර්මාණයකම රඟපාන්න වෙනවා. හොඳ නරක බලන්නෙ නැතිව මුදල් පරමාර්ථය ගැන හිතලා නිර්මාණ භාර ගන්න වෙනවා. එතකොට ඔබේ වෘත්තීය රංගනය නෙවෙයි ද? මම මගෙ ම කියලා ව්‍යාපාර කටයුත්තක් හිතලා තියෙන්නේ. ඒ දේ කරන අතරේ ප්‍රේක්ෂකයාට දැනෙන දෙයක් කරන්න පුළුවන් නිර්මාණවලට දායක වෙනවා. ඒ නිසා රංගනය වෘත්තීය කරගෙන නැහැ. දිනෙත් වටා ඉන්න ප්‍රේක්ෂකයන් ගැන මොකක් ද තියෙන අදහස ? මට හැමදාම ආදරය කරපු මගේ නිර්මාණ දිහා බලන් හිටිය පිරිසක් හිටියා. ඒ අය දිනෙන් දින වැඩි වෙනවා කියලා මට දැනිලා තියෙනවා. මට ආදරය කරන ගෞරව කරන අයට මමත් හැමදාම ආදරෙයි. මම උත්සාහ කරන්නෙ මගේ නිර්මාණ හරහා ඔවුන් සියලු දෙනාට සහ රටට යම් කිසි ආඩම්බරයක් එකතු කරන්න. ඒ නිසා හැමදාම මගෙත් එක්ක මගෙ නිර්මාණ එක්ක ඉන්න. මොකද ඒ ප්‍රේක්ෂක ශක්තිය ආශිර්වාදය තමා මාව මේතාක් දුරක් අරන් ආවේ සහ ඉදිරියටත් අරන් යන්නෙ. ගොඩක් කලාකරුවන් දේශපාලනයට එන නිසා...ඔබෙත් එවැනි අදහසක් තියෙනවා ද? නැහැ. මනාප දේශපාලනය එක්ක මගෙ සම්බන්ධයක් හෝ ඒ කෙරෙහි ආදරයක් නැහැ. නමුත් මම මගේ නිර්මාණ තුළින් ප්‍රේක්ෂක මනසට සුවයක් ගෙන දෙනවා. මේ කලාවත් එක විදියකින් දේශපාලනය තමයි. ඒ නිසා මට මේ කලා දේශපාලනය සොඳුරුයි. අනූෂා රණසිංහ ඡායාරූපය - සමන් අබේසිරිවර්ධන
 

More News..