brand logo

කලාවට උපන් හපන් බඩජාරියා සවුදම් ජෙමාගේ කලාව

21 January 2019

පුද්ගලයන් තුළ පවත්නා අධික කෑදර බව සංකේතනය කරනු පිණිස සිංහල ජනවහරේ එන එක් පුද්ගල නාමයක් තිබේ. ඒ ‘සවුදම් ජෙමා’ යන්නය. දැනට දශක කිහිපයක සිට සිංහල ජනවහරට එක්ව ඇති මෙම වදන නූතන තරුණ පරපුර අතරේ ද ප්‍රචලිත බව රහසක් නොවේ. ‘‘මිනිහා කන්න ගියාම ඉතින් සවුදම් ජෙමාම තමයි’’ නූතනයේ හිරිමල් කොලු ගැටයන් පවා එසේ පවසනු මම අසා ඇත්තෙමි. මගේ වැටහීම අනුව ‘සවුදම් ජෙමා’ නම් වන මෙම අපූරු චරිතය ජාතික මට්ටමින් සමාජ කරළියට ගෙන එන ලද්දේ හතළිහ, පනහ සහ හැට යන දශකවල කොළඹ යුගයේ දීප්තිමත්ව කවියකුව සිටි තිහාරියේ පීටර් පෙරේරා කිවිසුරාණන් විසිනි. ඔහු විසින් එක්දහස් නවසිය හතළිහේ දශකයේදී පමණ කවි සඟරාවකට සපයන ලදැයි පැවසෙන උපහාස රසයෙන් අනූන මෙම කවි පන්තිය පසු කලෙක පාසල් පෙළ පොතකට ද එක්ව තිබූ අයුරු මතකය. ඉන් මෙම සවුදම් ජෙමා නමැත්තාගේ අධික කෑදර බව සේම හැඩරුවද විචිත්‍රවත් අයුරින් උපහාසයට නංවා තිබේ. එහෙත් ඔහුගේ නම හා සබැඳුණු සවුදම් යන්න එම පැදිපෙළ මගින් විස්තර කොට ඇත්තේ සවුදම් රසය නිතරම මුවගින් වෑහේ යනුවෙන් පමණි. ‘සවුදම’ යනු අපගේ ජන සංස්කෘතියට අයත් ගායන වාදන සහ නර්තන අංගයකි. ඇතම් විටෙක විනෝදාංශයක් ලෙසත් තවත් විටෙක ශාන්තිකර්ම උදෙසාත් යොදා ගනු ලබන මෙම සවුදම ආධ්‍යාත්මික සහ විනෝදාත්මක ලක්ෂණවලින් පිරිපුන් නැටුම් ගැයුම් සහ වැයුම් සහිත ජන කලා අංගයක් බව පෙනෙයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජන සංගීත පර්යේෂකයකු වන ඩබ්ලිව්.බී. මකුලොළුව සූරීන් පෙන්වා දී ඇති අන්දමට ඉන්දියාවේ සුප්‍රකට භරත නැටුම්වල එන ‘‘ශබ්දම්’’ සහ කතක් නැටුම්වල එන ‘‘කවිතා’’ යන අංග සමග අප රටේ භාවිත වූ සවුදම්වල යම් සමානත්වයක් තිබේ. ඒ අනුව සවුදම් ජෙමා යනු හුදෙක් අධික ලෙස ආහාර අනුභව කළ හැකි කෑදරයකුට වඩා මීට දශක කිහිපයකට පෙර අප ජන සමාජය පින වූ සුවිශේෂී ජන කලා ශිල්පියකු ලෙස හඳුනා ගත නොහැකි දැයි විමසා බැලීමට මට සිත්විය. මා කුඩා කාලයේ මගේ මවද නොයෙක් වර මා සවුදම් ජෙමාට සමාන කොට තිබේ. (ඊට හේතුව කුමක්දැයි අමුතුවෙන් කිව යුතු නැත) එවිට දැනට ජීවතුන් අතර නොමැති මගේ පියාණන් කිහිප වරක්ම පවසා ඇත්තේ තමන් තරුණ වියේ දී කිහිප වරක්ම සවුදම් ජෙමා ගේ සවුදම් නරඹා ඇති බවය. ඒ මීට දශක කිහිපයකට ඉහත ගණේමුල්ල ප්‍රදේශයේ විසූ ධනවත් කුරුඳු ව්‍යාපාරිකයකු, සමාජ සේවකයකු සහ දානපතියකු වූ එවක මැන්ඩිස් මහත්තයා නමින් ප්‍ර‍දේශයේ ප්‍රකටව සිටි එස්.එම්. ද සිල්වා මහතාගේ නිවසේදීය. පවුලේ සාමාජිකයන්ට අමතරව තවත් පහළොවක විස්සක සේවක කාරකාදීන් රැඳී සිටි එම නිවසට මාස කිහිපයකට වරක් පැමිණි සවුදම් ජෙමා නැටුමින් හා ගැයුමින් ඒ සියලු දෙනා රසවත් කොට තිබේ. ‘‘එහෙම නටලා සින්දු කියල ගියාට සවුදම් ජෙමා හරිම ආඩම්බර මිනිහා, ඒ කාලේ අපේ දිහා නිකමටවත් හැරිලා බැලුවේ නැහැ. මගේ පියා එසේ කී අයුරු ද මට හොඳින් මතකය. ඉන් පැහැදිලි වනුයේ ඔහු නිවට නියාලු මිනිසකු නොවන බවය. ඒ අනුව සවුදම් ජෙමා පැදි පෙළෙහි එන අත මිට ඇතැයි දත් සැම කෙනකුටම වඳී යන්න ප්‍රශ්නකාරීය. එස්.එම්. ද සිල්වා හෙවත් මැන්ඩිස් මහත්තයාගේ දියණියක වන ගණේමුල්ල නැදුන්වත්තේ පදිංචි සුප්‍රකට සමාජ සේවිකාවක වූ එස්. වයලට් සෝමාද සිල්වා මහත්මියගේ සිත තුළද සවුදම් ජෙමා නම් වන මෙම අපූරු පුද්ගලයා පිළිබඳව අදටත් පැහැදිලි මතකයක් තිබේ. ඇය එම මතකය අනාවරණය කරන ලද්දේ මෙලෙසිනි. එක්දහස් නවසිය හතළිහේ විතර තමයි ඔය සවුදම් ජෙමා අපේ ගෙදරට ආවේ. එතකොට මට වයස දොළහක් දහතුනක් වගේ තමයි. ඔය මනුස්සයා අපේ ගෙදරට එනකොට සවුදම් බලන්න අහලපහල අයත් එකතු වෙනවා’’ සිල්වා මහත්මිය කියන්නීය. ‘‘සවුදම් ජෙමා කියන්නේ හොඳ උස මහත මනුස්සයෙක්. ඒ වගේම සරමට උඩින් තවත් මොකක් හරි ඇඳගෙන හිටියා වගේ තමයි මතක’’ ඇය පවසන එම වදනත් සමග සවුදම් ජෙමා කවි පෙළෙහි එන දෙමාලයට මඩකලපුවේ සරම අඳී යන වදන යම් පමණකට හෝ ගැළපෙනු ඇත. ‘‘ඒ වගේම ඒ මනුස්සයා ‘‘ජාරනන්නේ - වළගොඩනන්නේ’’ කිය කියා අමුතුම සින්දුවක් කියන අතරේ අමුතුම තාලෙකට නැටුවා. අපේ තාත්තා හැමතිස්සෙම හිනාවෙන ඒ වගේම කෙනකුට ලේසියෙන් අවනත වෙන කෙනෙක් නෙවෙයි. ඒත් ඔය සවුදම් ජෙමා නටන කොට තාත්තා හාන්සි පුටුවේ ඉඳගෙන අත්පොඩි ගසමින් සන්තෝෂ වුණු හැටි මට හොඳටම මතකයි. සවුදම් ජෙමාගේ සින්දු නැටුම් එච්චරටම විනෝදාත්මකයි. අපේ තාත්තා ඒ නැටුම්වලින් ඒ විදිහට විනෝදාත්මක වුණා නම් අනික් අය ගැන කියන්න දෙයක් නැහැනේ’‘ සිල්වා මහත්මිය කියන්නීය. සවුදම් ජෙමා ගැන පැහැදිලි මතකයක් ඇති අයගෙන් ජෙමාගේ අසීමාන්තික කෑදරකම පිළිබඳවද මම විමසා සිටියෙමි. ‘‘ඒ මනුස්සයාට එහෙම ගොඩක් කෑම කන්න පුළුවන් බවක් මම ඒ කාලේ දැනගෙන හිටියේ නැහැ. අනික ඉතින් ඒ වගේ දවසක අපේ ගෙදර කෑම වැඩිපුර උයන හින්දා ඒකේ අපිට එච්චර ගාණකුත් නැහැ. හැබැයි ඔය මනුස්සයා යන කොට අපේ තාත්තා අතට ලොකු ගාණකුත් දුන්නු බව නම් මතකයි. ඒ කාලේ ඉතින් රුපියල් දහයක් කියන්නෙත් බරපතළ ගාණක්නේ’’ සිල්වා මහත්මිය කීවාය. ඒ කෙසේ හෝ අධික ලෙස ආහාර ගැනීමේ හැකියාවක් සේම ඕනෑම අයකු පිනවීමේ විස්මිත කලා හැකියාවක් සහිත මෙම අපූරු පුද්ගලයා පිළිබඳව තවදුරටත් විස්තර විමසනු පිණිස මම ඔහුගේ උපන්ගම් පෙදෙස වන දෙකටනට ගියෙමි. එහිදී සවුදම් ජෙමා කෘතියෙන් එන ස්වාමීන් වහන්සේලා හත් නමකට ගෙන යමින් තිබූ දන් කඳක් තනිවම කෑමේ සිදුවීම මුල් කොට ප්‍රදේශයේ විහාරස්ථාන විමසුමට ලක් කරද්දී එම සිදුවීමට අදාළ විහාරස්ථානය ද සොයාගත හැකිවිය. එය දෙකටන නාමළුව පුරාණ විහාරය යනුවෙන් හැඳින්වෙන දෙකටන, නාමළුව, කටුලන්දේ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරයයි. සවුදම් ජෙමා මේ පන්සලේ හාමුදුරුවරුන් හත් දෙනකුට ගෙනාපු දන් කදක් අතරමගදී තනියම කෑවා කියන ප්‍රවෘත්තිය මේ පැත්තේ හුඟ දෙනෙක් දන්නවා. නමුත් ඔය මනුස්සයගේ පවුල් පසුබිමක් එහෙම නම් අපි හරියට කියන්න දන්නේ නැහැ. එහි විහාරාධිකාරී පූජ්‍ය වෙන්නවත්තේ රතනජෝති හිමිපාණෝ කීහ. කෙසේ හෝ සවුදම් ජෙමා සතුව තිබූ බව පැවසෙන අධික කෑදරකම නිසා තමන් හට සිදුවිය හැකි අවමානය මුල් කොට ඔහුගේ පරපුරේ පසුකාලීනයන් එම ඥාති සබඳතා වසන් කරගෙන සිටී‍මේ අරුමයක් නැතැයි මට සිතේ. විශ්‍රාමික යුද හමුදා නිලධාරියකු වන දෙකටන, මල්වාන පාරේ පදිංචි ලීලාරත්න පඬුවාවල මහතා ප්‍රදේශයේ සමාජ ක්‍රියාකාරිකයෙකි. ඔය සවුදම් ජෙමා දන් කද පන්සලට අරගෙන යන ගමන් අතරමග දී කෑවය කියපු කජුවැටිය තියෙන්නේ මේ ළඟ. ඒ කාලේ ඒ පැත්තට කවුරුවත් යන්නේ නැතිලු. ඒ හින්දා සවුදම් ජෙමා බයක් සැකක් නැතුව ඒ වැඩේ කරන්න ඇති. කොහොම නමුත් ඒ කාලේ සවුදම් ජෙමා රටේ ප්‍රසිද්ධ වුණේ දෙකටන යෝධයා කියලයි. ඒ ප්‍රසිද්ධිය කොච්චරද කියනවා නම් ඊට පස්සේ රටේ තවත් පළාත්වලිනුත් සවුදම් ජෙමාලා මතු වෙලා තියෙනවා. සවුදම් ජෙමා අහවල් අහවල් තැනට ගියා. අහවල් දේ කළා කියලා මේ ගමට තොරතුරු එනකොට තමයි ගම්මු දැනගෙන තියෙන්නේ පහුවෙනකොට අපේ රටේ තැන් තැන්වල ‘ඩුප්ලිකේට්’ සවුදම් ජෙමාලත් ඉඳලා තියෙනවා කියලා. නමුත් ඔරිජිනල් සවුදම් ජෙමා ඉඳලා තියෙන්නේ මෙහේ තමයි’’ හෙතෙම කීය. මේ අතර සවුදම් ජෙමා, නමින් චිත්‍රපටයක් සිංහල සිනමා වංශ කතාවටද එක්වී තිබේ. ලංකා මාතා චිත්‍රපට සමාගම වෙනුවෙන් කටුගම්පොළ ජී.ඩබ්ලිව්. පෙරේරා කේ. කරුණාසේන, සිරිල් පීරිස් සහ ඩී.එම්. ගුණසේකර විසින් නිෂ්පාදනය කොට 1979 වසරේ ඔක්තෝබර් 09දා මුල්වරට තිරගත වූ එම චිත්‍රපටයේ සවුදම් ජෙමා ලෙස රඟපා ඇත්තේ ප්‍රවීණ නළු ලයනල් දැරණියගලය. ඊට අමතරව ගීතා කුමාරසිංහ (විනෝදනී) පියදාස ගුණසේකර (කහතුඩුවේ රාලහාමි) සෝනියා දිසා (නොක්කි) මොරිස් දහනායක (ධර්මේ) ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු (යුරේනිස්) ආදීන්ද සෙසු චරිත රඟපා තිබේ. එබැවින් එහි තිර නාටකය සඳහා සවුදම් ජෙමා පිළිබඳ තොරතුරු සොයා ගත්තේ කෙලෙසදැයි මම එහි තිර නාටක රචක ජයන්ත පී. සමරසිංහ මහතාගෙන් විමසුවෙමි. ඇත්තෙන්ම චිත්‍රපට තිරකතා පිටපතක් සකස් කරගන්නා තරම් සවුදම් ජෙමා ගැන තොරතුරු හොයාගන්න බැරි වුණා. ඒ හින්දා තමයි ඒ තිර රචනයට විනෝදනී, කහතුඩුවේ රාලහාමි, නොක්කී ධර්මේ වගේ කල්පිත චරිත එකතු කළේ, හැබැයි යුරේනිස් කියන්නේ නම් ඔය කාලේ බියගම පැත්තේ හිටපු ඇත්ත නගරංකාරයෙක්. නමුත් යුරේතිසුයි සවුදම් ජෙමයි දැන හඳුනාගෙන හිටියද කියන්න මම දන්නේ නැහැ.’’ ඔහු කීය. ඒ කෙසේ හෝ මුලදී දෙකටන යෝධයා වශයෙන් නම් කොට තිබූ මෙම චිත්‍රපටයේ නම සවුදම් ජෙමා වශයෙන් වෙනස් කොට ඇත්තේ එය තිරගත වීමට ආසන්නතම සමයේය. ‘‘කොහොමත් ඔය සවුදම් ජෙමාට දෙකටන යෝධයා කියලත් මිනිස්සු කිව්වා තමයි. ඒ වගේම දෙකටන පද්මාවතී විද්‍යාලයේ ඉස්සර උගන්වපු උපනන්ද සමරසිංහ කියලා ගුරු මහත්තයෙක් ‘‘දෙකටන යෝධයා හෙවත් සවුදම් ජෙමා’’ කියලා පොතකුත් ලියලා තියෙනවා. සවුදම් ජෙමා පිළිබඳ මෙම විස්තර විමසුමේදී මාහට සහාය දැක්වූ ලීලාරත්න පඬුවාවල මහතා කීය. ඒ අනුව සවුදම් ජෙමා පිළිබඳ තවත් සාහිත්‍ය මූලාශ්‍රයක් තිබේ. එහෙත් උපනන්ද සමරසිංහයන්ගේ දියණිවරුන් පවසනුයේ තම පියා විවිධ ශාස්ත්‍රීය කටයුතුවල යෙදුණු බව දන්නා නමුදු ඔහු එවැනි කෘතියක් ලියූබව තමන් නොදන්නා බවය. සමහර විට ඒක තාත්තා විවාහ වෙන්න කලින් තරුණ වයසෙදීම ලියපු පොතක් වෙන්න ඇති. කොහොම හරි අපි නම් එහෙම පොතක් ගැන දන්නේ නැහැ. උපනන්ද සමරසිංහ මහතාගේ දෙටු දියණිය යක්කල නන්දනී සමරසිංහ මහත්මිය කීවාය. මේ අතර උපනන්ද සමරසිංහ මහතා විසින් ලියන ලද මෙම කෘතිය හැත්තෑව දශකයේ දී දොම්පේ මහජන පුස්තකාලයේ තිබෙණු තමන් දුටු බව දෙකටන මල්වාන පාරේ කාන්ති විජේසිංහ මහත්මිය කියයි. නමුදු ඒ සම්බන්ධයෙන් එහි කතුවරයාගේ දියණිය වන නන්දනී විජේසිංහ මහත්මිය පවසනුයේ 1970 දී පමණ එම පුස්තකාලය විවෘත කරන ලද්දේද තම පියාණන් බවත් එවක සිඟිති දැරියකව සිටි තමන් ද ඒ අවස්ථාවට එක්වූ බවත්ය. ඒ කෙසේ හෝ ‘සවුදම්’ යන ජන ගායන, වාදන සහ නර්තන කලාංගය තම ව්‍යවහාරික නමෙහිම සටහන්ව ගෙන සිටියදීත් ඊට කෙසේවත් සම්බන්ධයක් නොමැති කෑදරකමක් මුල් කොට මහත් ප්‍රසිද්ධියට පත්ව ඇති සවුදම් ජෙමා නමැති අපූරු මිනිසාගේ ජීවිතයට මීට ඩවා ගැඹුරින් එබී බැලීමෙන් මිනිසත් බවට නව අරුතක් එක්වනු විනා ඊට කිසිදු හානියක් නොවන බව මගේ වැටහීමය. තිලක් සේනාසිංහ
 

More News..