brand logo

කලාපීය සහයෝගය ශක්තිමත් නොවුණොත් අප කොන් වෙයි - රනිල් ඉන්දියාවේදී කියයි

25 February 2020

කලාපීය සහයෝගීතාව වඩාත් ශක්තිමත් නොකළහොත් ලොව සෙසු රටවල් විසින් අප කලාපය අතහැර දමනු ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත. හිටපු අගමැතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත විසින් පවත්වනු ලබන ‘චින්තන සම්මන්‍ත්‍රණයේ’ දෙවැනි දින ප්‍රධාන දේශනයට එක්වෙමිනි. ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමය (සාර්ක් සංවිධානය) ලබා ඇති ප්‍රගතිය ආසියාවේ අනෙක් කලාපවල රාජ්‍ය සංවිධාන හා සසඳන විට සෑහීමකට පත්විය නොහැකි මට්ටමක පවතින බවයි. ‘‘ලොව සමස්ත අපනයන නිෂ්පාදනයෙන් ශුද්ධ වටිනාකමින් සියයට එකකටත් වඩා අඩු ප්‍රමාණයක් දකුණු ආසියාව සතුව ඇති අතර ගිනිකොන දිග ආසියාවේ එම ප්‍රමාණය සියයට අටකි. සියයට එකක් යනු දකුණු ආසියානු කලාපයේ ආර්ථික වර්ධනය පවත්වා ගැනීමට ප්‍රමාණවත් සංඛ්‍යාවක් නොවේ. සෑම වසරකම මෙම කලාපයේ රැකියා වෙළෙඳපොළට තරුණ තරුණියන් මිලියන 150ක් පිවිසෙති. එබැවින් මෙම අභියෝගයට මුහුණදීමට කලාපයේ රජයන්ට ශක්තිමත් සැලැස්මක් තිබිය යුතුයි’’ එමෙන්ම ඉන්දියාව සහ තායිලන්තය මූලිකත්වයගෙන බහු අංශ තාක්ෂණික ආර්ථික සහයෝගීතාව හෙවත් 1997දී පිහිටුවාගත් ‘බිම්ස්ටෙක්’ (BIMSTEC) සංවිධානයටද පැහැදිලි දැක්මන් හෝ ක්‍රියාකාරී ඉලක්ක නොමැති බව හිටපු අගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත. දකුණු ආසියානු කලාපයේ එසේ වුවත් ගිණිකොන දිග ආසියානු කලාපය සිය ‘ආසියාන්’ හෙවත් ආසියානු ජාතීන්ගේ සංගමය හරහා සෙමෙන් එසේ වුවත් ස්ථාවර ගමනක් පවත්වාගෙන යන බවත් හෙතෙම සඳහන් කර තිබේ. ඉන්දියාව සහ පාකිස්තානය අතර ඉහළ යන ආතතියද සාර්ක් කලාපයට අවාසිදායක ලෙස බලපා ඇතැයිද ඔහු පවසා තිබේ. නයන තරංග ගමගේ
 

More News..