brand logo

කලවානේ බස් රථයක් පෙරළී 34ක් තුවාල ලබයි

30 May 2021

රත්නපුර කලවාන මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේ අද (30) පෙරවරුවේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 34 දෙනෙකු තුවාල ලබා තිබේ. එම බස්රථය කලවාන ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවකට අයත් සේවකයින් ප්‍රවාහනය කරමින් තිබී ඇති අතර මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් අනතුර සිදුව ඇති බව නිවිතගල පොලීසිය සඳහන් කරයි. අනතුරින් තුවාල ලැබු පුද්ගලයින් ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුළත් කර තිබෙන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර ඇත. මේ අතර නුවරඑළිය, හග්ගල ලොකු වංගුව ප්‍රදේශයේ දී ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන නිවසක් මතට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ. එම ලොරි රථ අනතුර අද (30) උදෑසන 8.15ට පමණ සිදුව ඇත. මහනුවර සිට වැලිමඩ දක්වා සහල් ප්‍රවාහනය කළ ලොරි රථයක් එලෙස අනතුරට ලක්ව තිබේ. බෑවුම් සහිත ප්‍රදේශය පසුකර යනවාත් සමඟ ම ලොරි රථය මාර්ගයේ ආරක්ෂිත පැති බැම්ම කඩාගෙන ගොස් නිවසක් මතට පෙරළීමෙන් එම නිවසට ද දැඩි අලාභ සිදුව තිබේ. රියදුරා සහ රිය සහයකයා තුවාල ලබා නුවරඑළිය මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බව නුවරඑළිය පොලීසිය සඳහන් කරයි. ලොරි රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් අනතුරට හේතුව වී ඇති බව නුවරඑළිය පොලීසිය පවසයි.
 

More News..