brand logo

කරුගේ හඬ පටයක් රනිල් ළඟ

26 August 2020

භික්ෂු පෙරමුණත් බෙදිලා එජාප නායකත්වය භාර ගන්න කරු ජයසූරිය සූදානම් කියලා කියනවා. ඒ වගේම කරුට නායකත්ව භාර දෙන්න ඕන කියලා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ජාතික භික්ෂු පෙරමුණේ ස්වාමීන් වහන්සේලා කීප නමක් කියනවා. ඒ වගේම කරුට නායකත්වය භාර දෙනවාට විරුද්ධ භික්ෂු පිරිසකුත් ඒ භික්ෂු පෙරමුණේම ඉන්නවා. එජාප නායකත්ව අර්බුධය නිසා මේ වෙනකොට ජාතික භික්ෂු පෙරමුණත් දෙකට බෙදිලා කියලා තමයි ආරංචි මාර්ග කියන්නේ. ජාතික භික්ෂු පෙරමුණේ සභාපති හිමියන් වන බෝපිටියේ ධම්මේෂ්වර හා ලේකම් ධුරය දරන තීනියාවල පාලිත කියන හිමිවරුන් කරු ජයසූරියට එජාප නායකත්වය භාර දෙන් ඕන කියලා කියනකොට ඒ භික්ෂු පෙරමුණේ ජාතික සංවිධායක ධුරය දරන මතුරට ධම්මාලංකාර හිමි ඊට විරෝධය පාලා. ඒ හිමියන් මතක් කරනවා කරු ජයසූරිය එජාපයේ කොටසක් කඩාගෙන මහින්දගේ දෑත් ශක්තිමත් කරන්න ගිය කතාව. පක්ෂයට ඒ වගේ බරපතළ හානියක් කරලා, පාරාජිකා වෙලා ආයිත් ආව කරු වගේ චරිතෙකට එජාපය භාරදෙන් බෑ කියලාලු ඒ හිමියන් කියන්නේ. වැලිඅංගේ කරු පාවිච්චි කරයි පහුගිය මහා මැතිවරණයෙදී කරු ජයසූරිය එජාපයටවත් කිසිදු එජාප අපේක්ෂයකුටවත් ඡන්දේ දෙන්න කියලා කිසිම තැනක ප්‍රසිද්ධියේ කියලා නෑ. නමුත් සමගි ජනබලවේගයෙන් ඡන්දේ ඉල්ලපු එරංග වැලිඅංගේ ප්‍රවර්ධනය කරන කරුගේ වොයිස් රෙකෝඩ් එකක් රනිල් ගාව තියෙනවාලු. වැලිඅංගේ වගේ හොඳ මහත්තයෙක්ට මුළු රටටම වුණත් හොඳ මන්ත්‍රීවරයෙක් වෙන්න පුළුවන් වගේ කතාවක් එකේ තියෙනවා කියලා තමයි කියන්නේ. කරුගේ මේ හඬ පටය එරංග එයාගේ හැම රැස්වීමකදීම පාවිච්චි කරලාත් තියෙනවා. එතකොට අඩුම වශයෙන් යූ ඇන් පී ට ඡන්දයක් දෙන්න කියලා කිව්වේ නැති කරුට දැන් පක්ෂය භාර දෙන්නේ ඇයි කියන කථිකාවතක් පක්ෂය තුළ ඇති වෙලා තියෙනවා. කරුට හැදූ රවිගේ සැලැස්ම කරු නායකත්වයට ගේන සටනේ උඩින්ම ඉන්නේ රවි කරුණානායක කියලා තමයි පක්ෂ ආරංචිමාර්ග කියන්නේ. බෞද්ධයෙක් නොවන රවිට කවදාවත් එජාප නායකත්වය ගන්න බැරි නිසාත් නායකත්ව සටනට ඇවිත් ඉන්න අකිල, වජිර, සාගල, රුවන්, පාලිත, අර්ජුන කියන කිසි කෙනකුට පක්ෂ නායකත්වය යනවාට අකැමැති නිසාත් එජාප නායකත්වය කරුට අරන් දෙන්න රවි බැහැලාම වැඩ කියලා තමයි ආරංචි. ඒකට රවි එයාගේ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයත් යොදාගෙනලු. සරත් ෆොන්සේකා ජනාධිපති සටනට අවෙත් මෛත්‍රී ජනාධිපතිවරණ සටනින් ජයගත්තෙත්, සජිත් ජනාධිපතිවරණ සටනට ආවෙත් රවිගේ මේ හංසයා පක්ෂෙන්. එතකොට රවි තමන්ගේ මේ දේශපාලන පක්ෂය හරහා එළියේ ඉඳගෙන කරුට නායකත්වය දෙන්න ඕන කියලා බලපෑම් කරන්න ලෑස්ති වෙනවාලු. එජාපේ නායකත්ව අර්බුදය විසඳන්න පුළුවන් කරුට විතරයි කියලා මතයක් මේ කණ්ඩායම ලවා හැදීමලු රවිගේ සැලසුම. රවි මේ කරන්න යන්නේ මන්ත්‍රී දේශපාලනයෙන් අයින් වුණාට පස්සේ මංගල හැදුවා වගේ ප්‍රෙෂර් ගෘෘප් එකක් හදන්න. රවි මේ විදිහට මොන උප්පරවැට්ටි කළත් අසූ වියත් ඉක්මවා ඇති කරුට එජාපය බර දෙනවා වෙනුවට තරුණ නායකයකු තෝර ගන්නා තුරු තව මාස 6ක් හෝ රනිල් නායකත්වයේ තියාගන්නලු එජාප බහුතර කැමැත්ත. රන්ජන් මහලේකම් වුණා නම් රනිල් ගොඩ මේ වෙනකොට එජාපෙ ඇති වී තියෙන දරුණු කඩා වැටීමට හැම දෙනාම ඇඟිල්ල දික් කරන්නේ රනිල්ට. ඒ නිසාම තමයි රනිල්ට නායකත්වයෙන් ඉවත් වෙන්න කියලාත් බලපෑම් එන්නේ. නමුත් දේශපාලන පක්ෂයක ප්‍රගමනයට හෝ කඩා වැටීමට පක්ෂයක් විදිහට සියලු දෙනා වගකියන්න ඕන කියන එක එජාපෙට අමතක වෙලා. රන්ජන් විජේරත්න කියන්නේත් එජාපේ හිටපු මහ ලේකම්වරයෙක්. රන්ජන් හැම මාසෙකම දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචනයක් කළා. ඒ වගේම හැම සංවිධායකයෙක්ටම ඉල්ක්කයක් දුන්නා මෙච්චර සාමාජිකයන් ප්‍රමාණයක් පක්ෂයට බඳවා ගත යුතුයි කියලා. දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචනයේදී හැම දිස්ත්‍රික් සංවිධායකයෙක්ම අදාළ මාසයේදී කොච්චර සාමාජිකයන් ප්‍රමාණයක් අලුතින් බඳවා ගත්තාද? කොච්චර සාමාජිකයන් ප්‍රමාණයක් පක්ෂයෙන් ගියාද ආදි වශයෙන් ප්‍රගති සමාලෝචනයක් ඉදිරිපත් කළ යුතුයි. එහෙමයි පක්ෂය ප්‍රවර්ධනය කරන්න හිටපු මහලේකම්වරු වැඩ කරලා තියෙන්නේ. එතකොට රනිල් යූ ඇන්පීයේ ජාතික සංවිධායක කම නවීන්ට දුන්නා. උපනායක කම රවිට දුන්නා. හරින්ට සන්නිවේදන අශය භාර දුන්නා. අකිලට මහලේකම්කම දුන්නා. රුවන්ට නියෝජ්‍ය මහලේකම්කම දුන්නා. ඒ විතරක් නෙවෙයි නියෝජ්‍ය නායකකම සජිත්ට දුන්නා. මේ අය පහුගිය අවුරුදු හතරාමාරට යූ ඇන් පී යේ ප්‍රගමණයට මෙනාවද කළේ? නියෝජ්‍ය නායක සජිත් තිස්සමහාරාම බලමණ්ඩලය 2004 ඉඳලා රැස් කරලා නැතිලු. එහෙම තියෙද්දී ඔක්කොම කුණු බේරුවල් බොක්කට වගේ හැම වරදක්ම දැන් ඇවිත් තියෙන්නේ රනිල්ගේ පිටට. රනිල් කරපු ලොකුම වැරැද්ද තමයි කල් මැරීම. තමන් පත්කරපු නිලධාරීන් වැඩ නොකරන බව දැන දැනත් රනිල් තීන්දු ගන්නේ නැතුව හිටිය. රනිල් අද ගෙවන්නේ ඒ අකුසල කර්මයේ විපාක. සජිත් පක්ෂයේ නියෝජ්‍ය නායකයා විදිහට කළ දේ ගැන එජාප ප්‍රබලයෙක් හරි අපූරු කතාවක් කිව්වා මෙන්න මෙහෙම.’’ ‘‘ඔයාට මතකද අර මෛත්‍රීගෙයි මහින්දගෙයි දින 52 කුමන්ත්‍රණය. ඒ වෙලාවේ සජිත් හිටියේ මෛත්‍රිගේ සාක්කුවේ. ඒ කාලේ සජිත්ගේ නංගි දුලාංජලී හිටියේ අරලියගහ මන්දිරේ. අරලිය ගහ මන්දිරේ සිද්ද වෙන හැම දෙයක්ම, හැම සැලසුමක්ම දුලාංජලී හරහා සජිත් අරගෙන මෛත්‍රීට දීලා තියෙනවා. මොකද ප්‍රේමදාසගේ නංගී ගැන කවුරුවත් සැක හිතන්නේ නෑනේ. මතකද ඒ දවස්වල වඩුවෙල් සුරේෂ් හා වසන්ත සේනානායක දීපු ආතල් එක. එහෙට යනවා මෙහෙට යනවා. මේ දෙන්නවා හැඩල් කරලා තියෙන්නේ සජිත්. ඔයාට මතකද අන්තිම දවසේ අරලියගහ මන්දිරයේ රැස්වීමක් තිබුණා. එතැන ඔක්කෝම දින 52 කුමන්ත්‍රණය ගැන කතා කරද්දී සජිත් විතරක් පක්ෂ නායකත්වය ගැන කතා කළා. ඒක එතැනට අදාළම නැති මාතෘකාවක්. එතැනදී සජිත් නැගිටලා කියනවා. කවුරු මොනවා කිව්වත් මේ වෙලාවේ මට නායකත්වය දුන්නත් මම ගන්නේ නෑ. මම නායකත්වය ගන්නේ ජනතාවගේ පිටින් ගිහිල්ලා කියලා. ඒ වගේම ජනාධිපතිවරණයෙන් පැරදුනාට පස්සේ සජිත් කිව්වනේ එයා දැන් ආතතියෙන් ඉන්නේ ජනාධිපතිවරණයට එයා මිලියන 200ක්ද කොහේද ණය වෙලා ඉන්නේ කියලා. එතකොට කරුයි, රනිලුයි, සජිත්ගෙන් අහලා තියෙනවා ඇයි ඔබතුමා අපිට මේක කිව්වේ නැත්තේ කියලා. එහෙම කිව්වා නම් මේක හොලා දෙන්නත් තිබුණා. ඒ වගේම ජනාධිපතිවරණයට කලින් රනිල් හා කරු සජිත්ගෙන් අහලා තියෙනවා අපෙන් මොනවද වෙන්න ඕන කියලා. එතකොට සජිත් කරුට කියලා තියෙනවා ඔබතුමාගෙන් මට මුකුත් වෙන්න ඕන නෑ කියලා. හැබැයි රනිල්ට කියලා තියෙනවා ඔබතුමා මට උතුරු නැගෙනහිර දෙමළ ජනතාවයි, මුස්ලිම් ජනතාවයි හැඩල් කරලා දෙන්න කියලා. ටී.එන්.ඒ. එක කැමැති වෙලාම නෑ සජිත්ට සහය දෙන්න. නමුත් අන්තිම මොහොතේ මංගලයි, රනිලුයි තමයි ඒ එකඟතාව හදාගෙන තියෙන්නේ. ඒකනේ සජිත්ට උතුරු නැගෙනහිර ඔක්කොම ඡන්ද ලැබුණේ. ‘‘ඒ දේවල් එහෙම වුණත් ඡන්දෙන් පස්සේ සජිත් නම් කිව්වේ එයාගේ කකුලෙන් ඇද්දා කියලා. එජාප සම්මේලනයේ දී රනිල් කරන්න යනදේ මේ ඔක්කොම අස්සේ එජාපේ සම්මේලනයට ලෑස්ති වෙනවා. සැප්තැම්බර් මසේ තියන මේ සම්මේලනයේදී රනිල් එජාප මහලේකම් විදිහට මංගලව නම් කරන්න සූදානමින් ඉන්නවා කියලාත් එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග කියනවා. එතකොට නායකයා කවුද? එජාපේ බහුතර කැමැත්ත කියලා රනිල්ම ඉදියිද? නැත්නම් රවියි භික්ෂු පෙරමුණේ ස්වාමින්වහන්සේලායි කියන විදිහට කරු එයිද? භික්ෂු පෙරමුණේ ජාතික සංවිධායක හිමියන් කියන විදිහට කරු එක පාරක් පක්ෂේ පාවලා දීලා ගියාට එයා දෙවැනි පාර ඒක කළේ නෑ. ඒ කතාව එළියට ආවේ ගිය සතියේ කඩුගන්නාවේ තිබ්බ මයන්ත දිසානායකගේ රැස්වීමකදී. සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පත් කරපු මන්ත්‍රී මයන්ත කඩුගන්නාවේදී කියනවා සමගි ජනබලවේගය හදනකොට කරු ජයසූරියට ඒකේ නායකත්වය භාරගන්න කිව්වාලු. ඒ වගේම නියෝජ්‍ය නායකත්වය නවීන්ට භාර ගන්න කිව්වාලු ඒ දෙන්නා ඒක ප්‍රතික්ෂේප කළාලු. දැන් මයන්ත මෙහෙම කිව්වාට මතුවෙන ප්‍රශ්නේ තමයි එතකොට සජිත් කවුරු විදිහටද සමගි ජනබලවේගේ ඉන්න හැදුවේ කියලා. කොහොම නමුත් මයන්ත කියන විදිහට නම් කරු දැන් ඉන්නේ පෙර වැරදි හදාගෙන. වයස බාධාවක් කර නොගන්නවා නං එජාපේ නායකත්වයට පත් වෙන්න කරුට හැම සුදුසුකමක්ම තියෙනවා කියලා හිතන්නත් පුළුවන් තමයි. නියෝජ්‍ය අගමැතිකම අලුත් කතාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මේලයනය සැප්තැම්බර් 2 පැවැත්වෙන්න නියමිතයි. මෙවර සම්මේලනය ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් චාමෙට ගන්න සැලසුම් කරලා තියෙනවා කියලා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් කියනවා. ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ආණ්ඩුවේ උප අගමැති කම දෙනවා කියන කතාව ගැන පොහොට්ටුවේ ප්‍රබලයින් දෙන්නෙක්ම පසුගිය දවස්වල අදහස් දැක්වුවා. ජී එල්. පීරිස් ඇමැතිවරයා කිව්වේ එහෙම එකඟතාවක් කිසි තැනක ඇති වුණේ නෑ කියලා. ඒ වගේම එහෙම තනතුරකට ව්‍යවස්ථාවේ ඉඩක් නැති බවත් ඔහු කියනවා. ඇමැති ගාමිණි ලොකුගේගෙනුත් ගිය ඉරිදා මාධ්‍යවේදියෙක් මෛත්‍රිගේ උප අගමැති තනතුර ගැන ඇහුවා. එතකොට ගාමිණී ලොකුගේ කිව්වෙ මෙහෙම කතාවක් "ඒක ඒ පක්ෂෙන් අහලා බලන්න ඕනෙ. අපේ පක්ෂෙන් නම් තවම එහෙම එකක් නෑ. මේවා ඉතිං ඡන්ද කාලෙත් කිව්වානෙ අරයාට අර ඇමැතිකම දෙනවා, අධිකරණ ඇමැතිකම දෙනවා, අරයට අර ඇමැතිකම හම්බුවෙනවා කියලා. ඡන්ද ගත්තනෙ, දැන් හම්බු නොවුණාමනෙ ප්‍රශ්නෙ මතුවෙලා තියෙන්නෙ. ඡන්ද කාලෙ එක එක්කෙනා ඡන්දෙ ගන්න විවිධ කතන්දර කියනවා" මෛත්‍රීට ලැබෙන්න තියෙනවා කියන තනතුර ගැන පොහොට්ටුව පැත්තෙන් මේ විදිහට එක එක කතා ආවත් ගිය සතියේ තිබුණු ශ්‍රීලනිප මධ්‍යමකාරක සභා රැස්වීමේදී නම් මේ නියෝජ්‍ය අගමැතිකම ගැන කිසි දෙයක් කතා වෙලා නෑ කියලා තමයි ආරංචියි. ජාතික ජනබලවේගේ ලෝකකෝ කෝ? ජාතික ජනබලවේගේ මහා මැතිවරණයෙන් පස්සේ කිසිදු සාකච්ඡාවක් කරලා නෑලු. පසුගිය පාර්ලිමේන්තුවේ තමන් නියෝජනය කළ ආසන සංඛ්‍යාවවත් දිනා ගැනීමට නොහැකි වූ මෙම මැතිවරණයේදී ජාතික ජනබලවේගේ පැහැදිලි පරාජයක් ලැබුවා. නමුත් මේ තාක් ඒ ගැන කිසිදු සමාලෝචනයක් නොකිරීම ගැන කොට්ඨාස මට්ටමින් බහුතර පිරිසක් ඉන්නේ කලකිරිලාලු. මැතිවරණයෙන් පස්සේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිසිවෙක් සොයා ගන්නවත් නෑ කියලා තමයි මේ කලකිරී සිටින පිරිස් කියන්නේ.
 

More News..