brand logo

කරන්නාගොඩ විත්තිය

23 February 2019

වසන්ත කරන්නාගොඩ ජාතික ආරක්ෂාව කෙරෙහි තීරණාත්මක ලෙස මැදිහත් වන්නට පටන් ගත්තේ නැගෙනහිර නාවික ආඥාපති ලෙස වැඩභාර ගත් 2003 ජනවාරි මාසයේ සිටය. නාවික හමුදාවේ තීරණාත්මක වූද, අතිශය වැදගත් වූද, විධානය වූයේ නැගෙනහිර විධානයයි. නැගෙනහිර නාවික ආඥාපති ලෙස පත්ව නැගෙනහිර විධානයේ මූලස්ථානය වූ ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරට යන විට ජාතික ආරක්ෂාවට තීරණාත්මකව බලපාන බොහෝ දේ සිදු වෙමින් තිබිණ. ආණ්ඩුව එල්ටීටීඊ සංවිධානයත් සමග අත්සන් කළ සටන් විරාම ගිවිසුම ඒ වන විට ක්‍රියාත්මකය. එල්ටීටීඊය ත්‍රිකුණාමල වරාය අවට ඉඩම් බෙදා දී සටනෙන් මියගිය සාමාජිකයන්ගේ පවුල්වල අයට මහාවීර් නමින් ගම්මාන ගොඩනගමින්, ගෙවල් තනා පදිංචි කරමින් උන්හ. ත්‍රිකුණාමල වරායට දකුණු පසින් කඳවුරු ගොඩනගමින් උන්හ. මුහුදු කොටි කඳවුරු පහක් ඇතුළුව කඳවුරු දහතුනක් ගොඩනැගෙමින් තිබිණි. නාවික හමුදා කඳවුරට අයත් භූමිය මැදින් කැලයට නිරන්තරයෙන් සිමෙන්ති, වැලි, ගඩොල් ගෙන ගියේ දැවැන්ත බංකර් ඉදිකිරීමටය. වෙන කවරදාවත් නැති තරමට හරක් රංචු නාවික හමුදා කඳවුරු බිමේ තණ කමින් උන්හ. උන් බලන ගොපල්ලන් අට්ටාල විසි හතක් ඉදිකරගෙන තිබුණි. අනතුරේ ස්වභාවය වටහාගත් වසන්ත තම්පලාගමුව ප්‍රාදේශීය ලේකම්වරයාට පැමිණිලි කර පළමුව ගවයන් සහ අට්ටාල එම බිමෙන් ඉවත් කිරීමට පියවර ගත්තේ ය. ඒ තීන්දුවත් සමගම ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්දන් වසන්තට කතා කළේ ය. ‘‘නාවික රක්ෂිතයේ හරක් තණ කන එක තහනම් කරන්න ඔබට බැහැ. ගොපල්ලන්ගේ කූඩාරම් ඉවත් කරන්නත් ඔබට බැහැ. වහාම ඒවට ඉඩ දෙන්න ඕනෑ.’’ එහෙත් වසන්ත සම්බන්ධන්ගේ වචනයට නැමුණේ නැත. සම්බන්දන් එදා ටෙලිෆෝනය තැබුවේ මේ තත්ත්වය ගැන ජනාධිපතිනියටත්, පැමිණිලි කරන බව කියමිනි. ටීඑන්ඒ පක්ෂයත්, ඩයස්පෝරාවත් සමග වසන්ත කරන්නාගොඩ ඇතිකරගත් පළමු ගැටුමය. එහෙත් එල්ටීටීඊය වරාය අවට එල්ටීටීඊ පවුල් පදිංචි කිරීමද, ඒ අවට කඳවුරු ඉදිකිරීමද වරාය අවට යුද කලාපයක් කර ගැනීමද නතර කරන්නට සටන් විරාම ගිවිසුම නිසා වසන්තට නොහැකි විය. සටන් විරාම ගිවිසුම නිසා ඇති වී තිබෙන බලපෑම වසන්ත සෑම විටකම ඉහළට පැමිණිලි කළේ ය. එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක යෙදෙමින් වසන්ත කරන්නාගොඩගේ නාවික හමුදා මූලස්ථානයට ගොඩ වූයේය. වසන්ත තම ඉහළ නිලධාරින් ඉදිරියේ ත්‍රිකුණාමලයේ පවත්නා අනාරක්ෂිත තත්ත්වයද සටන් විරාම ගිවිසුමෙන් ඇති වී තිබෙන බලපෑමද විස්තර කළේ ය. එල්ටීටීඊය මේ වන විට නාවික හමුදා කඳවුරු දහතුනක් අලුතින් ඉදිකර තිබෙන බව ඔහු කීවේය. දහදාහක් අලුතින් පුහුණු කරගෙන යන ආකාරයද විස්තර කළේ ය. සියල්ල අසා හුන් රනිල් කතාව වෙනතකට යොමු කරමින් මෙසේ ඇසුවේය. ‘‘වසන්ත ඔයා ගාව කරොකි (ටී.වී. දර්ශන සමග ගීත ගායනා කරන උපකරණයක්) සෙට් එකක් තියෙනවාද?’’ මේ ප්‍රශ්නයෙන් විපිළිසර වූ වසන්ත, ‘‘නෑ සර් මගේ ගාව එහෙම එකක් නෑ’’ යැයි උත්තර දුන්නේය. ‘‘බලන්න කරුණා අම්මාන් ගාව දැන් කරොකි සෙට් එකක් තියෙනවා. කරුණා බැංකොක්වල සාම සාකච්ඡාවලට ගිහින් එනකොට තමයි ඒක ගෙනත් තියෙන්නේ.’’ ත්‍රිකුණාමලයේ ආරක්ෂාව ගැන රනිල් හා සාකච්ඡාව වසන්ත එදා නිමා කළේය. ඒ වන විට පස් වතාවක් අග්‍රාමාත්‍ය රනිල්වත්, ආරක්ෂක ඇමැති මාරපනවත් වසන්ත දැනුවත් කර තිබුණි. නමුත් රනිල් සිතුවේ කරුණා සේම ප්‍රභාකරන්ද සටන් විරාම ගිවිසුම සමග විපර්යාසයට ලක් වෙතැයි කියාය. එහෙත් ප්‍රභාකරන් කවදාවත් එසේ වෙනස් වන්නෙක් නොවන බව වසන්ත දැන සිටියේය. එවකට ජනාධිපතිනියව සිටියේ චන්ද්‍රිකා බණ්ඩාරනායකය. නැගෙනහිර ප්‍රදේශයේ ආරක්ෂාව ගැන සාකච්ඡා කිරීමට සඳහා සේනාධිනායිකාව වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක හමුවට යන එන අතරේ වසන්තට ලක්ෂ්මන් කදිරගාමර් විදේශ ඇමැතිවරයා හඳුනාගැනීමට ලැබිණ. වසන්ත තම හිතවත් නේතෘ නානායක්කාර මගින් කදිරගාමර් විදේශ අමාත්‍යවරයා හමුවීමට අවස්ථාවක් උදාකර ගත්තේය. මේ ආකාරයට ගියොත් ළඟදීම ත්‍රිකුණාමල වරායට නැවකට ඇතුළු වෙන්න එල්ටීටීඊයෙන් අවසර ගන්න වෙනවා. එතන මිලි මීටර් 122, 130, 152 කාලතුවක්කු හයි කළොත් අපට තියෙන කඳවුරු සේරම ඉවරයි.’’ වසන්ත කරන්නාගොඩගේ විග්‍රහය හමුවේ පුදුමයට පත් වූ කදිරගාමර් සිතියම් තිහක සියලු තතු ලකුණු කර ගත්තේය. ලක්ෂ්මන් කදිරගාමර් එය ඉන්දියාවට ගෙන ගියේය. දිල්ලිහි ෆොරියන් ප්‍රෙස් ක්ලබ්හි විශේෂ දේශනයක් කළ කදිරගාමර් රජීව් ගාන්ධි ඝාතනය කළ එල්ටීටීඊය ත්‍රිකුණාමලයේ බලවත් වුවහොත් ඉන් කලාපයට ඇති කරන බලපෑම විස්තර කළේ ය. එමගින් ඉන්දියාවද, ඉන්දියානු නායකයන්ද කදිරිගාමර් දැනුවත් කළේ ය. වසන්තගේ කැපවීමත්, උනන්දුවත් නිසා එසේ සිදු නොවන්නට කලාපයේ ඉතිහාසයද පැවැත්මටද තර්ජනයක් ඇති වෙන්නට එදා ඉඩ තිබුණි. වසන්ත 2003 දී නාවික හමුදාපති වුයේ ය. මහින්ද රාජපක්ෂ 2005 දී ජනාධිපති වී අවසාන යුද්ධයට සූදානම් වන විට වසන්ත නාවික හමුදාපතිය. අවසාන ඊළාම් යුද්ධය සිදු කෙරෙන්නේ සාගරයේ ආධිපත්‍යය වෙනුවෙන් බවට විශ්ලේෂකයෝ අනාවැකි කීහ. එල්ටීටීඊය මරාගෙන මැරෙන මුහුදු කොටි ඇතුළත් ශක්තිමත් නාවික යුද යාන්ත්‍රණයක් ගොඩනගා ගෙන තිබුණි. ඒ අනුව සටන් විරාම ගිවිසුම පවතිද්දීම එල්ටීටීඊය යුද්ධය ආරම්භ කළේ මුහුදෙනි. 2005 දෙසැම්බර් 23 දා නාවික හමුදාවේ ඩිංගි බෝට්ටුවකට පහරදුන් කොටි 2006 ජනවාරි හත්වැනිදා ඩෝරා යාත්‍රාවකට පහර දී විනාශ කළේ ය. එල්ටීටීඊයේ මුහුදු කොටි ලොව සිටි ප්‍රබලම ත්‍රස්ත නාවික බළකාය විය. මුහුදෙන් යුද්ධය අරඹුන කල වසන්ත දිවා රෑ නාවික කඳවුරුවලද, සාගරයේද සිටියේය. වරෙක ත්‍රිකුණාමල ජැටිය පිපිරවීමට රැයේ මුහුද යටින් ආ මුහුදු කොටි පළමුව හඳුනා ගත්තේ වසන්ත කරන්නාගොඩ නාවික හමුදාපතිවරයාය. සියල්ලන්ටම විධාන දෙමින් ඔහුද මුහුදට බෝම්බ ගසන්නටත්, මුහුදු කොටින්ට වෙඩි තබන්නට විය. එතෙක් නාවික හමුදාවට තිබූ ලොකුම තර්ජනය වූයේ එල්ටීටීඊයේ කුඩා බෝට්ටුය. කුඩා බෝට්ටු සිය ගණනකින් එමින් නාවික හමුදාවේ විශාල යාත්‍රා කිහිපයකට පහර දීම හෙවත් වුල්ෆ් ජැක් හෙවත් වෘකයන් රැලක් වට කිරීමේ ක්‍රමයට මුහුණ දීම නාවික හමුදාවට ඉතා අසීරු විය. වසන්ත කරන්නාගොඩ නාවික හමුදා සංග්‍රාම පිළිවෙතේ විප්ලවීය වෙනසක් කළේ ය. සාම්පූර් ප්‍රදේශයේ දී කොටි අතහැර දමාගොස් තිබූ කුඩා යාත්‍රාවක් දුටු වසන්ත එය වැලිසර නාවික හමුදා වැඩපොළ වෙත ගෙනගොස් ඒ අනුව කුඩා යාත්‍රා නිපදවා ගත්තේය. ඒවා නාවික හමුදාවේම නිෂ්පාදන විය. වසන්තගේ එම නිර්මාණාත්මක සොයා ගැනීම් මුහුදේ යුද ජයග්‍රහණයට විශාල වාසියක් විය. එසේම එල්ටීටීඊ ආයුධ නැව් දොළහක් ඉන්දියන් සාගරයේ ගිල්වා දැමුවේ වසන්තගේ නායකත්වයෙනි. 2007 ජනවාරියේ අන්තිම ආයුධ නැව ගිල්වීමත් සමග කොටි ගොඩබිම පත්තු කරන පතරොමකට පතරොමක් පිටතින් ගෙන්වා ගැනීමට නොහැකි තත්ත්වයට පත් කෙරිණි. එය ඊළාම් යුධ ජයග්‍රහණයට වුවමනා සුවිශේෂ කාරණයක්ම විය. වසන්ත තම මෙහෙවර කළේ නිසල දියේ නොවේ. කැලඹුණු දියකය. නැගෙනහිර ආඥාපති වූ දා සිට ඔහු සටන් විරාම ගිවිසුමේ නියෝජිතයන් හා ගැටෙමින් රාජකාරි කළේ ය. එදා මුහුදේ සතුරු යාත්‍රාවක් සොයන්නට ගියත් සටන් විරාම නියෝජිතයකු නැවේ දාගෙන යා යුතුය. නෝර්වේ නියෝජිතයන් වසන්ත රිස්සුවේ නැත. ඒ නිසාම වසන්ත කළේ නෝර්වේ සටන්විරාම ගිවිසුමේ නියෝජිතයන් නිතර පැද්දෙන, වෙහෙසකර යාත්‍රාවල දාගෙන සයුරට ගොස් ඔවුන්ට නිරීක්ෂණය එපා කරවීමය. අවසාන ඊළාම් යුද්ධයේදී වසන්තට කටයුතු කරන්නට සිදු වූයේ හමුදාපති සරත් ෆොන්සේකා හා ගැටෙමිනි. ඒ ගැටුම සරත් හා වසන්ත ඉගෙන ගන්නා කාලයේ ඇති කරගත් වෛරයක් බව බොහෝ දෙනාගේ විශ්වාසයය. එහෙත් එබඳු ඇඳුනුම්කමක් පාසල් අවදියේ දෙදෙනා අතර තිබුණේ නැත. වසන්ත සරත් ෆොන්සේකාට පෙරාතුව නාවික හමුදාපති පදවියට පත් වුවෙකි. හමුදාපති තනතුරට සරත් හොඳ බව ජනාධිපති මහින්දට යෝජනා කළ අය අතර වසන්තද සිටියේ ය. එහෙත් සරත් හමුදාපති වූ පසු කටයුතු කළේ සියල්ලට පෙරාතුව හමුදාව විය යුතුය යන අදහසේ සිටය. මහින්ද රාජපක්ෂ පාලන කාලයේ 2006 ඇරඹි සාම සාකච්ඡා සඳහා යන නියෝජිත පිරිසේ ආරක්ෂක අංශ නියෝජනය කළ යුත්තේ ජ්‍යෙෂ්ඨ හමුදාපතිවරයා බව මහින්දගේ මතය විය. එහෙත් සරත් ෆොන්සේකා සිතුවේ ආරක්ෂක අංශ වෙනුවෙන් හමුදාපතිවරයා වන තමා එහි යා යුතු බවය. එහෙත් ආණ්ඩුව සාකච්ඡා සඳහා ගෙන ගියේ නාවික හමුදාපතිවන වසන්තය. එතැන් සිට දෙදෙනා පසමිතුරෝ වූහ. කොටින්ම රාජ්‍ය උත්සවල ඉඳගෙන ඉන්නා විට දෙදෙනා එකිනෙකාට වැලමිටිවලින් ඇණ ගන්නා තරමට තත්ත්වය බොළඳ විය. වසන්ත අද මුහුණ පා තිබෙන අත්අඩංගුවට පත් වීමේ අනතුරට අදාළ සිදුවීම් ආරම්භ වූයේ ඔහු නාවික හමුදාපතිව සිටි අවධියේ සිටය. වසන්ත කරන්නාගොඩගේ පුද්ගලික ආරක්ෂක නිලධාරින් සිව් දෙනෙක් වූ අතර එයින් එක් අයෙක් සම්පත් මුණසිංහ නම් විය. 2009 මැයි 05 වැනිදා නාවික හමුදාව මගින් පස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාපතිවරයාට දැන ගැනීමට ලැබිණ. මේ පස්දෙනා පිළිබඳ වසන්ත කරන්නාගොඩ සොයා බැලුවද, හැම අංශ ප්‍රධානියකුම කීයේ එබඳු අත්අඩංගුවට ගැනීමක් නාවික හමුදාවෙන් කර නැති බවය. එහෙත් මැයි මාසේ දහවැනිදා වන විට ඒ පස්දෙනා අත්අඩංගුවට ගන්නේ නාවික හමුදාපතිගේ ආරක්ෂකයකු වන සම්පත් මුණසිංහ බවට චෝදනා කෙරිණි. ඒ වන විට යුද්ධයේ අවසාන දවස්ය. ප්‍රභාකරන් මුහුදෙන් පැන යන බවට සරත් ෆොන්සේකා අනතුරු ඇඟවූයෙන් තරගකාරීව යුද්ධ කළ වසන්තගේ පූර්ණ අවධානය තිබුණේ ඒ කෙරෙහිය. යුද්ධය නිමා වීමත් සමගම මේ අතුරුදන් වීම පිළිබඳ සෙවීම සඳහා නාවික හමුදා විනය බාර නිලධාරින්ට පැවරීමත් සමග මැයි 27 සම්පත් මුණසිහංගේ රාජකාරි කාමරය සීල් තැබිණ. ඒත් සමගම සම්පත් මුණසිංහ නාවික හමුදා සේවයෙන් පලා ගියේය. පොලිසිය නේවි සම්පත්ගේ කාමරයේ සීල් ඉවත් කර එය පරීක්ෂා කිරීමේදී එහි තිබූ අතුරුදන් පුද්ගලයන් රාශියකගේ හැඳුනුම්පත්ද මුදල්ද, ගුවන් ගමන් බලපත්‍රද සොයා ගැනිණ. නාවික හමුදාපතිවරයා නේවි සම්පත් පිළිබඳ පරීක්ෂණ වහාම පොලිසියට භාර දී පැමිණිලි කළේ ය. එහෙත් නේවි සම්පත් හෙවත් සම්පත් මුණසිංහ ඒ දිනයේම වසන්තගේ පසමිතුරු සරත් ෆොන්සේකා වෙත පලා ගියේය. නාවික හමුදාවෙන් පලා ගිය දිනයේම සම්පත් රාජා කොල්ලුරේ හිටපු අමාත්‍යවරයාගේ දියණිය සරණ පාවාගෙන තිබිණ. එමගින් ඉහළ සමාජයට යම් සම්බන්ධතාවක් ඇති කර ගැනීමට සම්පත් සමත්ව සිටියේය. වසන්ත කරන්නාගොඩගේ පැමිණිල්ලට අනුව අවසානයේ නේවි සම්පත්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන්නේ සරත් ෆොන්සේකාගේ ආරක්ෂක නිලධාරින් විසිනි. ඒ වූ සම්පත් අධිකරණයෙන් ඇප ලැබ ඉන්දියාවට පලා යන්නේය. ඉන්දියාවෙන් පිටව අවුත් වැලිසර නාවික හමුදා කඳවුර ඉදිරිපිටින් අත්අඩංගුවට පත් විය. මීට මාස කීපයකට පෙර ත්‍රිවිධ හමුදා ප්‍රධානියා රක්ෂිත බන්ධනාගාරගත කෙරෙන්නේ නේවි සම්පත්ට ආරක්ෂාව ලබා දීමේ චෝදනාව නිසාය. නේවි සම්පත් සිද්ධිය දිවෙන්නේ මෙබඳු ගුප්තමය වූත්, අභිරහස් වූ වෘත්තාන්තයක් හරහාය. නේවි සම්පත්ට එරෙහිව පොලිසියට පැමිණිලි කළ නාවික හමුදාපතිවරයා දැන් චූදිතයකු වී සිටී. එසේ චූදිතයකු වන්නේ මේ පුද්ගලයන් අතුරුදන් වීමේ සිද්ධිය දැන සිටියාය යන කාරණයටය. මේ යුද සමයේ සිදු වූ ඛේදවාචකයක්ය යනු කෙනකුට ආ හැකි නිගමනයයි. නමුත් යුද්ධය යනු හමුදා දෙකක් දෙපැත්තකට වී ගහමරා ගැනීම නොවේ. යුද්ධය යනු දේශපාලන ක්‍රියාදාමයකි. යුද්ධය යනු දේශපාලනයේ ලේ ගලන කොටස පමණය.
 

More News..