brand logo

කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ශේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

07 March 2019

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීමක් හෝ රඳවා ගැනීමක් සිදු නොකරන ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය රහස් පොලීසිය වෙත තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා කරන්නාගොඩ මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව බුවනෙක අලුවිහාරේ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විසින් නියෝග නිකුත්කරනු ලැබුවේ. මෙහිදී විනිසුරු මඩුල්ල කරන්නාගොඩ මහතාට නියෝග කර සිටියේ සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කිරීමෙන් වළකින ලෙසයි. එමෙන්ම ලබන 11 වනදා පෙරවරු 9ට ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු බවටද අධිකරණය විසින් කරන්නාගොඩ මහතාට නියම කරනු ලැබුවා. මෙම නඩුවට අදාළව දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් කරන්නාගොඩ මහතා අධිකරණය හමුවේ පොරොන්දු වී තිබුණේ තමන් අධිකරණය හමුවේ පෙනී සිටීමට සූදානම් බවටත් අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීමක් සිදු නොකරන බවටයි. පෙත්සමට අදාළ කරුණු සහ කරන්නාගොඩ මහතා විසින් අධිකරණයට ලබාදී ඇති එම ප්‍රතිඥාව සැලකිල්ලට ගෙන මෙම තහනම් නියෝගය නිකුත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සඳහන් කළා. කෙසේ වෙතත් පෙත්සම්කරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මෙම නියෝගය තුළින් කිසිදු බාධාවක් නීතිපතිවරයාට හෝ රහස් පොලිසියට නොමැති බවද විනිසුරු මඩුල්ල අවධාරණය කළා. ඒ අනුව පෙත්සම් විභාගය අවසන් කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළා. කරන්නාගොඩ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් කියා සිටියේ කිසිදු පදනමක් නොමැතිව තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය සූදානම් වන බවයි. 2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම වකවානුවේම නාවික හමුදාව ඇතුළු අංශ ගණනාවක් පරීක්ෂණ සිදුකළ බව සඳහන් කළ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා එම කිසිදු පරීක්ෂණයකින් තම සේවාදායකයා වන කරන්නාගොඩ මහතාට කිසිදු චෝදනාවක් එල්ල නොවූ බව ප්‍රකාශ කළා. එසේ තිබියදී සිද්ධිය සිදුවී වසර 10කින් පමණ පසුව හදිසියේ තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානම් වන්නේ රාජ්‍ය නොවන සංවිධානවල බලපෑම් මෙන්ම ජිනීවා මානව හිමිකම් සමුළුව අරමුණු කරගෙන බවද ජනාධිපති නීතිඥවරයා චෝදනා කළා. තම සේවාදායකයාට එරෙහිව අධිචෝදනා ඉදිරිපත් කරන බවට නීතිපතිවරයා දැනටමත් සඳහන් කර ඇති බවට වාර්තාවී ඇති බැවින් පිළිබඳව තමන්ගේ විරෝධයක් නොමැති බව සඳහන් කළ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා එහෙත් තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීම් සඳහා මෙම අවස්ථාවේ කිසිදු අවශ්‍යතාවක් මතු නොවන බවයි පෙන්වා දුන්නා. තම සේවාදායකයා කිසිදු අවස්ථාවක අධිකරණය මග හැර පලා නොයන පුද්ගලයකු බවද ජනාධිපති නීතිඥ සිල්වා මහතා අධිකරණය හමුවේ පෙන්වා දුන්නා. එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා අවසර ලබාදෙන ලෙසත් පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තුරු තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අතිරේක සොලිස්ටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ පරීක්ෂණ කටයුතු බොහොදුරට අවසන් වී ඇති බවත් පෙත්සම්කරුගේ ප්‍රකාශයක් සටහන් කරගැනීමට ද අවශ්‍යව ඇති බවයි. පෙත්සම්කරුට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවට ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී දන්වා සිටියා. මෙහිදී අතුරුදන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජේ සී වැලිඅමුණ මහතා ප්‍රකාශ කළේ පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කළොත් ඉන් මෙම පරීක්ෂණ වලට බාධා සිදුවිය හැකි බවයි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය අනතුරුව මෙම නියෝග නිකුත් කරනු ලැබුවා.
 

More News..