brand logo

කරකැවෙමින් දරුවන් බිහි කරපු හැටි

25 February 2021

මෙයට වසර කිහිපයකට පෙර එනම්, 1965 දී ඇමරිකාවේ නිව් යෝර්ක් නගරයේ පදිංචි ව සිටි ජෝර්ජ් සහ චාලට් බ්ලොන්ස්කි යන යුවළට සුවිශේෂී අමුතු සොයා ගැනීමක් සඳහා පේටන්ට් බලපත්‍රයක් ලබා දෙනලදී. එනම්, කේන්ද්‍රාපසාරී බලය උපයෝගී කර ගනිමින් දරුවකුගේ උපත සඳහා පහසුකම් සැලසීමේ උපකරණයක් වෙනුවෙනි. හාස්‍යජනක සිද්ධිය වූයේ සැබැවින්ම මේ දෙදෙනාට දරුවන් නොසිටීම යි. මන්දයත් චාලට් බ්ලොන්ස්කි විසින් කිසියම් දිනෙක දරුවකු ප්‍රසූත කර තිබුණේ නම්, ඇය කිසි විටෙකත් මෙවැනි උපකරණයක් ප්‍රසිද්ධ කිරීමට අනුබල නොදෙන බැවිනි. අදාළ උපකරණය කිසියම් ආකාරයක තැටියකි. එය වේගයෙන් කරකැවිය හැකි අන්දමින් සාදා ඇත. පළමුව, දැනටමත් දරු ප්‍රසූතියට සූදානම්ව සිටින ගර්භණී කාන්තාව මෙම තැටිය මත සතපවනු ලැබේ. ඇගේ දෙකකුල්, උදරය සහ හිස සිර කර තැබීම සඳහා පටි කිහිපයක් තිබේ. කාන්තාව හොඳින් තැටියේ මේසයට සවි කළ පසු මේසය අධික වේගයෙන් භ්‍රමණය වේ. මෙහි දී භ්‍රමණ වේගය පාලනය කිරීම සඳහා ස්විචයක් ද ඇත. ප්‍රමාණවත් වේගයක් ළඟා වූ විට, භ්‍රමණය වන මේසය නිසා ඇති වන කේන්ද්‍රාපසාරී බලයෙන් දරුවා උපත් මාර්ගය දිගේ ඉවතට ලිස්සා එයි. මවගේ දෙකකුල් අතර තබා ඇති පිළිගැනීමේ දැලක් විසින් විසි වී එන දරුවා නිරුපද්‍රිත ව අල්ලා ගනු ලැබේ. අදාළ උපාංගය භයානක එකක් ලෙස පෙනුණ ද, එහි අරමුණ කරුණාවන්ත එකක් විය. මෙම නව නිපැයුමේ මූලික පරමාර්ථය වූයේ මෘදු හා ඒකාකාරීව බෙදා හැරෙන, නිසි ලෙස යොමු කරන ලද හා නිවැරදි ලෙස පාලනය වන බලවේගයක් නිර්මාණය කිරීම මගින් විළිරුදාවෙන් පීඩා විඳින කාන්තාවගේ සිරුරේ ඇති වන තෙරපීම සමාන්තර කොට, ඇයට සිය ක්‍රියාවලිය පහසු කිරීම සඳහා අතිරේක වශයෙන් උපකාරයක් සැපයීමයි. ස්වාභාවික ව්‍යුහ විද්‍යාත්මක තත්වයන් නිසා, කලලරූපී යෝනි බිත්ති පසෙකට තල්ලු කිරීමටත් ගර්භාෂ හා යෝනි පෘෂ්ඨවල ඝර්ෂණය මගහරවා ගැනීමට සහ දරුවා බිහි වීමට විරුද්ධව ක්‍රියාත්මක වන වායුගෝලීය පීඩනයට ප්‍රතිරෝධය දැක්වීම සඳහාත් අදාළ කළලයට සැලකිය යුතු ප්‍රචාලන බලයක් අවශ්‍ය බව සාමාන්‍යයෙන් දන්නා කරුණකි. පූර්ණ ලෙස වර්ධනය වූ මාංශ පේශි පද්ධතියක් සහිත, ගර්භණී සමයේ දී ප්‍රමාණවත් පරිදි සිරුර වෙහෙසවූ කාන්තාවක හට ස්වභාව ධර්මයට අනුව සාමාන්‍ය හා ඉක්මන් දරු ප්‍රසූතියක් සඳහා අවශ්‍ය සියලු බලය නිතැතින්ම සැපයෙනු ලැබේ. නොයෙකුත් වර්ගවල එන්නත් මගින්, සින්ටොසිනන් වැනි බෙහෙත් වර්ග මගින් හා අතින් සිදු කරන තෙරපීම මගින් කෙරෙනුයේ ඇයට උපකාර කිරීමක් පමණි. මෙම උපකරණය ද එවැන්නකි. අදාළ ගර්භණී කාන්තාව උපකරණය මත දිගා කරවන්නේ කෙසේ ද? යන්න සහ ඇය භාර ව සිටින නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා විසින් මෙම දරු ප්‍රසූතිය සිදු වීම සඳහා උපකරණය කෙතරම් වේගයෙන් කරකැවීමට සැලැස්විය යුතු ද? යනාදී සියලු කරුණු ද බ්ලොන්ස්කි යුවළ විසින් තීරණය කර තිබේ. උපකරණය සමග වෛද්‍යවරයා හට ලැබෙන අත්පොතෙහි ඒ සියල්ල සඳහන් ය. මන්දයත් එක් එක් ගර්භණී මව තුළ ඇති සංකූලතා අනුව මෙම උපකරණය භාවිත කළ යුතු අන්දම ද වෙනස් වන බැවිනි. කෙසේ වෙතත්, දැනටමත් අධික ලෙස විළිරුදාවෙන් පෙළෙන හෝ දරුවා බිහිවීම ගැටලු සහගත ව සිටින කාන්තාවන් හට මෙම උපකරණය භාවිත කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ එහි කිසිදු සඳහනක් නොමැත. 2014 වසරේ දී ඩබ්ලින්හි විද්‍යා ගැලරිය විසින් ඔවුන්ගේ ‘ෆේල් බෙටර්’ නම් වූ වෛද්‍ය ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන භාණ්ඩයක් ලෙස බ්ලොන්ස්කිගේ උපකරණයේ පූර්ණ පරිමාණයේ ආකෘතියක් ගොඩනඟා තිබිණි. මෙම යන්ත්‍රය කිලෝග්‍රෑම් 7ක් පමණ බර වූ අතර, මුල් සැලැස්මට අනුකූලව සීනුවකින් පවා සමන්විත විය. ඩබ්ලින්හි විද්‍යා ගැලරියේ, පර් යේෂක ටෙස්සා විසින් සඳහන් කර ඇති පරිදි එම සීනුව ළදරුවා දැල තුළට ගොඩ වූ වහාම නාද වේ. එසේ ම කිසිවෙකු ඒ පිළිබඳ අවධානය යොමු නොකළේ නම් සීනුව නාද වූ පසු උපකරණයේ කරකැවීම ද ඉබේම නතර වනු ඇත. යන්ත්‍රය ක්‍රියාත්මක කර බැලූ විට එය කෙතරම් අසාර්ථක ද යන්න මෙන් ම උපකරණයේ ඇති ගැටලුත් ගර්භණී මවට එයින් දැනෙන අපහසුතාවත් පිළිබඳ ප්‍රායෝගිකව ම දැන ගත හැකි විය. වේදනා විඳින මවගේ පාර්ශ්වයෙන් සානුකම්පිත ව සිතා බැලූ විට මෙය තරමක් අමානුෂික ක්‍රියාවලියක් බව ද පෙනී ගියේ ය. එහෙයින් එවැන්නක් සූතිකාගාර තුළට ගෙන යාමේ අදහස සම්පූර්ණයෙන් ම ඉවත් කර ගැනිණි. ප්‍රායෝගික තත්ත්වයේ දී උපකරණය ප්‍රතික්ෂේප වුව ද මීට පෙර, එනම් 1999 දී බ්ලොන්ස්කිස්වරුන්ගේ දරු උපත් උපකරණයට ‘ඉග් නොබෙල් ත්‍යාගය’ පවා පිරිනමන ලද බව දැන ගැන්මට ලැබීම විහිළු සහගත ය. •ශ්‍රීනි ලංකා ජයකොඩි
 

More News..