brand logo

කබීර් හලීම් නැවත දිවුරුම් දීම ගැන රනිල් දැනගත්තේ ‘නිවුස් ඇලට්’ එකෙන්

25 June 2019

පසුගිය අඟහරුවාදාවේ දී ම තවත් විශේෂ සිදුවීමක් සිදුවිය. ඒ රිෂාඩ් බද්‍යුදීන් සමඟ ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන් වන කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් යළිත් ඇමතිවරුන් වශයෙන් දිවුරුම්දීම ය. මේ අය දිවුරුම් දුන්නේ කැබිනට් රැස්වීමෙන් පසුව ය. යම්තාක් දුරට ‘රහසිගත ආකාරයට’ ය. ඒ වන විටත් ‘සිරිකොතේ’ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ද පැවැත්වෙමින් තිබුණි. එහිදී ‘අජිත් පී පෙරේරා’ වඩාත් සටන්කාමී ලෙස හැසිරෙමින් සිටියේ ය. ඒ චම්පික රණවකට සහ ශ්‍රීලනිපයෙන් එජාපයට පැන ආ කිහිප දෙනෙකුට ආසන සංවිධායකකම් දීමේ තීරණයකට එරෙහිව ය. අජිත් පී. පෙරේරාගේ අදහස අනුමත කරමින් අදහස් දැක්වූ කෘත්‍යාධිකාරියේ තවත් කිහිපදෙනෙකු කීවේ මෙසේ ය. ‘‘එහෙන් මෙහෙන් එන, එහාට මෙහාට පනින අයට පක්ෂේ තනතුරු දෙන එක නුවණට හුරු නැහැ’’ එජාප කෘත්‍යාධිකාරියේ මෙවැනි වාද විවාද පැවැත්වෙන අතරතුරේ, එජාප සභාපති කබීර් හෂීම් මෙන් ම අබ්දුල් හලීම් ද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙන බව අගමැති රනිල්වත් දැන සිටියේ නැත. කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් පසුවදා උදෑසන පාර්ලිමේන්තුවේ අගමැති නිල කාර්යයාලයේ පැවති ‘එජාපයේ කණ්ඩායම් රැස්වීමේ දී’ ද සාකච්ඡා කෙරිණි. ඒ ලක්ෂ්මන් කිරිඇල්ල එහිදී ඇසූ පැනයකට පිලිතුරු වශයෙනි. ‘‘මුස්ලිම් ඇමතිවරු ඔක්කොම එකට අයින් වුණාට එජාපෙ දෙන්නා විතරක් එක පාරටම දිවුරුම් දුන්නෙ ඇයි කියල හැමෝම අහනවා...’’ ලක්ෂ්මන් කිරිඇල්ල ඇසුවේ එසේ ය. අගමැතිවරයා කීවේ, ‘‘දිවුරුම් දීපු එකේ නිවුස් ඇලර්ට් එක එනකන් ඒ ගැන මං වත් දැනගෙන හිටියෙ නෑ... කෘත්‍යාධිකාරි රැස්වීමේදී මේ ගැන කතාකරන්න හිටියත් කබීර් ඇවිත් හිටියෙ නෑ... එයාගෙ ටෙලිෆොන් එක වැඩ කළෙත් නෑ... කෘත්‍යාධිකාරී මණ්ඩලේ රැස්වීම යන අතරේ කවුදෝ නැගිටල කිව්වා කබීරුයි හලීමුයි දිවුරුම් දීල කියල...’’ යනුවෙනි. ‘‘ජනාධිපතිතුමත් එක්ක මේ වැඩේ කතාකරගෙන තියෙන්නෙ අපේ පැත්තෙම එක්කෙනෙක් කියල ආරංචියි... අන්තිමට එයාටත් හොරෙන් තමයි දිවුරුම් දීල තියෙන්නෙ... කොහොම වුණත්, මංගල ඇමතිතුමා වගේම එජාපෙ වැඩි දෙනෙක් මේ දිවුරුම් දීමට එච්චර කැමති නෑ වගේ පේන්නෙ... ඔක්කොටම වඩා එකට තනතුරු අතෑරපු අනිත් පක්ෂ වල මුස්ලිම් අය අප්සට් ලු... කොහොමහරි, දිවුරුම් දුන්නයින් පස්සෙවත් කබීර් හලීම් ඇමතිවරු ඔබ තුමාව මුණගැහුණෙ නැද්ද...?’’ එජාපයේ නීති නිලධාරියා ඇසුවේ ය. ‘‘දිවුරුම් දුන්නයින් පස්සෙ මාව මුණගැහුණා... පක්ෂෙ සභාපති හැටියට එහෙම වැඩ කරන එක හරි නෑ කියල මම ඇගෙව්වා... මොනව වුණත් වුණ දේ වුණා... දැන් ඒක අපි ප්‍රශ්නයක් කරගන්න නරකයි...’’ අගමැතිවරයා කීවේ ය. ‘‘කෑගල්ල ටවුන් එකට මිනිස්සු බස්සල තමයි කබීර් මේ වැඩේ පටන් ගත්තෙ... හලීම් ඇමතිතුමාට කියල තියෙන්නෙ ආණ්ඩුවේ හැමෝම මේ දිවුරුම්දීම ගැන දන්නව කියල... හලීම් ඇමතිතුමාගෙන් ඇහුවම එයා කියන්නෙ පක්ෂ සභාපතිතුමා හැටියට කබීර් එහෙම කිව්වාම එතනින් එහාට මම කාටවත් කියන්න ගියේ නෑ කියලා...’’ තවත් ‘ඇමතිවරයෙකු’ කීවේය. ‘‘දැන් රිෂාඩ් ඇමතිතුමාත් පරීක්ෂණයකට කලින් ඇමතිකමේ දිවුරුම් දෙයිද දන්නෙ නෑ...’’ ආශු මාරසිංහ ඇසුවේ ය. ‘‘රිෂාඩ්ගෙ පරීක්ෂණ ඉක්මන් කරල ඒ වාර්තාව අනුවයි තීන්දු ගන්න වෙන්නෙ... ඒව ඉක්මන් කරන්න දැන් වෙනමම කණ්ඩායමකුත් දාල තියනවා... රිෂාඩ්ව කාරක සභාවට කැඳවනවද නැද්ද කියල ආශුලටම තමයි තීන්දු කරන්න වෙන්නෙ...’’යි අගමැතිවරයා කියද්දී හේෂා විතානගේ සාකච්ඡාව වෙනතකට හරවා ගත්තේ ය. ‘‘අගමැතිතුමාගෙ සිංගප්පූරු සංචාරය කොහොමද...? ගෝඨාභය බලන්නත් ගියාද...? ඔබතුමා ගෝඨා බලන්න ගියා කියල සමාජ ජාලා වල තිබුණා...’’ හේෂා විතානගේ කීවේ සිනාසෙමිනි. ‘‘නෑ මම සිංගප්පූරු ගියේ නිල සංචාරෙකට... ඒ රටේ විදේශ හා ස්වදේශ කටයුතු ඇමතිවරු දෙන්න හා ඉහළ නිලධාරින් හමුවෙලා ද්විපාර්ශ්වික කරුණු රැසක් කතා කළා... ගෝඨාබය බලන්න තිබුණා නම් හොදයි... ඒත් බයිපාස් එකක් කරල ඉන්න වෙලේ යන එක එයාටත් කරදරයි නෙ... ඒකයි නොගියෙ...’’ අගමැතිවරයා කීවේ ය. ‘‘ගෝඨාභයට මීට කලින් ස්ටෙන්ට් එකකුත් දාල ඉඳල තියෙන්නෙ... මේ පාර කපාට දෙකකට ඕපන් බයිපාස් එකක් කරල ලු...’’ඇමති නවීන් දිසානායක කීවේ ය. ‘‘අර මිහින්තලේදි ඔබතුමා ලිච්ඡවි රජදරුවන්ගේ පාලනයක් ගැන කියපු කතාවට ජනාධිපතිතුමයි තවත් කට්ටියකුයි තඩිබානවා දැක්ක ද...?’’ ආශු මාරසිංහ කීවේ මඳ සිනහවක් නඟමිනි. ‘‘ලිච්ඡවි පාලනයක් ගැන එතන කතාකළේ මිහින්තලේ නායක හාමුදුරුවෝ මිසක් මම නෙවෙයි... මම ඒකට උත්තර දුන්නා විතරයි... මම එතන කතාකරන්නවත් නෙවෙයි හිටියේ.... නායක හාමුදුරුවන්ගෙ ඉල්ලීම අහක දාන්න බැරි හින්දයි වචන දෙක තුනක් කතා කළේ...’’ අගමැතිවරයා පිළිතුරු දුන්නේය.
 

More News..