brand logo

කබඩි ක්‍රීඩිකා මනෝරිට වසර හතරක තහනමක්

04 February 2020

2018 වසරේ පොළොන්නරුවේ පැවැති 44 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේදී තහනම් උත්තේජක ගත් බවට තහවුරු වී සිටි රන් පදක්කම් ලාභී කබඩි ක්‍රීඩිකා සජිනි මනෝරි ජයසිංහට වසර හතරක පූර්ණ තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය විසින් තීන්දු කොට තිබේ. ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය විසින් පවත්වනු ලැබූ විනය කමිටු පරීක්ෂණයේ නිර්දේශ මත මනෝරිට අදාළ තහනම පනවා තිබෙන අතර එය 2018.10.12 වන දින සිට 2022.10.11 දින තෙක් බලපැවැත්වෙන පරිදි පනවා ඇත. ඒ අනුව අදාළ කාලයේදී සියලුම ආකාරයේ ක්‍රීඩා කටයුතු සහ පුහුණුවීම් සිදු කිරීමෙන් වැළකී සිටීමට මනෝරිට සිදුවනු ඇත. අදාළ තීරණය සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වය තෘප්තිමත් නොවන්නේ නම් ඒ සම්බන්ධ-යෙන් දැනුවත් වී සති දෙකක් ඇතුළත ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ අභියාචනා මණ්ඩලය වෙත අභියාචනාවක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව ඇයට පවතී. ඉන්දියාවේ නව දිල්ලිහි ජාතික උත්තේජක පරීක්ෂණ රසායනාගාරය විසින් අදාළ මුත්‍රා සාම්පල පරීක්ෂාවෙන් අනතුරුව 2019.01.18 වැනිදා ලබාදුන් වාර්තාවට අනුව එම සාම්පලයන්හි ෆියුරොසෙමයිඩි සහ ඩියුරෙටික්ස් යන තහනම් සංඝටක අඩංගු බවට වාර්තා කර තිබුණි. ඉන් අනතුරුව ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ විනය මණ්ඩලය විසින් මෙම සිදුවීමට අදාළ තීරණයක් ලබාදෙන තුරු තාවකාලික තරග තහනමක් ඇය වෙත පනවා තිබුණත් එතෙක් මනෝරි විසින් අදාළ ‘බී’ සාම්පල පරීක්ෂාවක් සඳහා යොමු වී නොතිබුණාය. කෙසේ නමුත් මෙරට බහුතරයක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් උත්තේජක භාවිතා කළේදැයි තහවුරුකර ගැනීම සඳහා මුත්‍රා සාම්පල පරීක්ෂා කළ නවදිල්ලි රසායනාගාරයේ කටයුතු ඉකුත් වසරේ මාස 6ක කාලයක් අත්හිටුවා තිබීමද විශේෂ කරුණක් විය. ගයාශාන් විතානආරච්චි
 

More News..