brand logo

කප්පල්තුරේ වැසියන්ගේ විරෝධයට දිසාපතිගෙන් පිළිතුරක්

29 August 2018

ත්‍රිකුණාමලය කප්පල්තුරේ ප්‍රදේශයේ පිහිටි ඉඩම් කිහිපයක් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට අයත් බව පවසා වරාය අධිකාරිය මගින් දැන්වීම් පුවරු ප‍්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් උරණවු ති‍්‍රකුණාමලය කප්පල්තුරේ ගම්වාසීහු අද (29)පෙරවරුවේ ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුහ. ඔවුහු අද(29)පෙරවරුවේ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ ප‍්‍රධාන දොරටුව අසලට රැස්ව සම්බන්ධීකරණ කමිටුවට යමින් සිටි රජයේ නිලධාරින්ට හා මහජන නියෝජිතයන්ට පෙනෙන සේ විරෝධතා පුවරු අතැතිව සිටියහ. 1976 වසරේ සිට මෙම ප‍්‍රදේශයේ තමන් ජීවත්වන බවත් යුද්ධය නිමාවීමෙන් පසුව විවිධ පුද්ගලයන් කලපුව ආශ‍්‍රීත ඉඩම්වලට අයිතිය කියා පැමිණෙමින් සිටින බවත් විරෝධතාකරුවෝ කීහ. " ඊයේ ඇවිත් වරාය අධිකාරියට අයිතියි කියලා බෝඩ් දාලා ගියා. කාලෙන් කාලෙට කවුරු කවුරු හරි එනවා. ඇවිත් මේ ඉඩම් එයාලගේ කියනවා. කට්ටියක් මුහුදු රස්සාව කරන්න යන්න තියෙන ඉඩම් අල්ලලා කලපුව අයිනෙම වැට ගහලා." විරෝධතාකරුවෙක් පැවැසීය. විරෝධතාව අතරතුර  ඔවුන් හමුවීමට ඉම්රාන් මහරුෆ්, අබ්දුල්ලා මහරුෆ් හා එම්. එස්. තවුෆික් යන මන්ත‍්‍රීවරුන් වරින් වර පැමිණ මේ ගැටලුව පිළිබඳව සම්බන්ධීකරණ කමිටුවේදී සාකච්ඡා කර විසදුමක් ලබා දීමට පියවර ගන්නා බව පවසූහ. පසුව දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී මෙම ගැටලූව පිළිබඳව අබ්දුල්ලා මහරුෆ් මන්ත‍්‍රීවරයා දිසාපතිවරයාගෙන් විමසුවේය. එයට පිළිතුරු වශයෙන්  දිසාපති එන්. ඒ. ඒ. පුෂ්පකුමාර මහතා කියා සිටියේ මෙම ඉඩම් ගැසට් පත්‍රයක් මගින් 1984 වසරේදී වරාය අධිකාරියට පවරාගෙන ඇති බවයි.
 

More News..