brand logo

කන්තලේ වැව් බැම්මේ ඛේදවාචකයට වසර 33 යි - විලිබිය නිසා ජිවිතයට ඇති ප්‍රේමය අතහැරී ප්‍රේමකුමාරි

22 April 2019

එක්දහස් නවසිය අසූහය වසර නැගෙනහිර පළාතේ සිංහල ගම්මානවලට ත්‍රස්තවාදීන් විසින් පහර දෙමින් භීෂණය වපුරවමින් සිටි යුගයකි. ඒ නිසා නැගෙනහිර සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන්ගේ ප්‍රමාණයද අවම විය. මේ නිසාම වැව් බැම්ම කෙළවර වූ ලංකා හෝටල් සංස්ථාව මගින් පවත්වාගෙන ආ තානායමද වැසී ගොස් තිබුණි. එහි ශ්‍රී ලංකා යුද හමුදාවේ භට කණ්ඩායමක් ස්ථානගත කරනු ලැබුවේ ප්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාවටය. මෙම තානායමට මෙපිටින් වාරිමාර්ග තනිකඩ කාමර පෙළද ඊට මීටර් 30 කට පමණ එහායින් වැවේ ප්‍රධාන සොරොව්වද පිහිටා තිබුණේය. එම සොරොව්වේ සිට මීටර් 40 ක් පමණ මෙපිටින් විදේශ ඉංජිනේරු සමාගමක් මගින් අධික කම්පනයක් සහිත තෙරපුමක් යොදා වැව් බැම්ම තුළට යකඩ ග්‍රේඩරයක් බස්වා ත්‍රිකුණාමල ප්‍රදේශයට පානීය ජලය ලබා ගැනීම සඳහා වැව් බැම්ම මත පොම්පාගාරයක්ද ඉදිකර තිබුණේය. මෙකී කන්තලේ වැව ඉදිකර ඇත්තේ දෙවැනි අග්බෝ රජතුමා විසිනි. එකල මෙම වැව ධාරිතාවයෙන් ලංකාවේ හතරවැනි ස්ථානයේ තිබූ අතර අක්කර අඩි එක්ලක්ෂ දාහතර දහසක මහ ජල කඳක් වැවේ පිරී තිබුණේය. ඒ 1986 අප්‍රේල් 20 වැනිදාය. කන්තලේ වැව ඇසුරේ ගම්මානයන්හි නිවැසියෝ සියල්ලෝම සුවබර නින්දක සිටියෝය. ඔවුන් මහ පාන්දර යාමයේ ඒ නින්දෙන් අවදි වන්නට ඇත්තේ මේ විසල් වැව් බැම්ම පුපුරා ආ ජල කඳෙන් නිවහන් යට වී යද්දීය. ජල කඳ තමන් සහ තම පවුලේ සාමාජිකයන් තම නිවහන පිහිටි මහ පොළොවෙන් පස් තට්ටුවත් සමග රැගෙන යන විට සිදුව ඇත්තේ කුමක්දැයි සිතන්නටත් කාලයක් ඔවුනට නොතිබෙන්නට ඇත. එදා එම ජලයේ ගසාගෙන ගොස් ජීවිත අහිමි වූවන් මෙන්ම ජලකඳත් සමග පොරබදා ජීවිත රැක ගන්නට වාසනාව ලද්දොත් බොහෝය. කන්තලේ සොරොව්වෙන් මුදා හරින පළමු දියවරින් පළමුව පහස ලබන පිරිසක් වූයේ කෝවිල්ගමයි. පුල්ලෙයාර් දෙව් කෝවිලක් කේන්ද්‍රකොටගෙන පවුල් 90 ක් 100 ක් පමණ එහි පදිංචිව සිටියහ. ද්‍රවිඩ මෙන්ම සිංහල ජනතාවද එම කෝවිලට වන්දනාමාන කළහ. එම ගමෙහි වසනා හතලිස්නම වියැති ආර්. ප්‍රේමකුමාරිද එම ජල කඳට හසුව පැය ගණනාවක් ගසක් මත සිට ගුවන් හමුදා රණවිරුවන්ගේ උපකාරයෙන් නැවත ජීවය ලද්දෙකි. කන්තලේ වැව් බැම්ම කැඩී අදට වසර තිස්තුනක් සපිරුණත් එදා ප්‍රේම කුමාරි මරණයෙන් බේරුණ අයුරු නම් අමතක නොවන මතකයක් වී ඈ ළඟ අදටත් ඇති බව නම් විශ්වාසය. ‘‘එදා පාන්දර ලොකු සද්දයක් ආවා. ඒ දවස්වල කලබල තිබුණ නිසා රෑට අපිත් බයෙන් තමයි හිටියේ. වැව ළඟ තිබුණ ආමි කෑම්ප් එකේ මොනවා හරි පිපුරුණා කියලා හිතුවා. ඉට ටික වෙලාවකට පස්සේ එකපාරටම ගේ ඇතුළට වතුර එන්න පටන් ගත්තා. ඒ නිසා අම්මයි, තාත්තයි, මමයි එළියට බැහැලා එන්න හදනකොට වතුර පාර වැඩි නිසා එන්න විදියක් නෑ. අපි දැනගත්තා වැව කැඩිලා තමයි කියලා. අපිව වතුර පාරත් එක්ක ඉස්සෙනකොට එතන තිබණු පොල් ගහකට නැග්ගා. ඒත් ටික වේලාවකින් අපේ අම්මා වතුර පාරට ගහගෙන ගියා. තාත්තයි, මමයි විතරක් ඒ පොල් ගහේ එල්ලිලා හිටි අතරේ වතුර පාර සැර වෙනකොට අපි හිටපු පොල් ගහත් කැඩිලා ගියා. තාත්තයි, මමයි දෙපැත්තකට ගහගෙන ගියා. එහෙම ගහගෙන යනකොට මම ලොකු කොහොඹ ගහක එල්ලිලා ඒකේ උඩටම නැග්ගා. ඒ වෙනකොට මට හොඳටම වතුර පෙවිලා, මගේ අත් දෙකත් තුවාල වෙලා තිබුණේ. එළිය වැටෙනකොට මම හිටියේ ගහක් උඩ. වටේට බලන බලන පැත්තේ මහා වතුර පාර. ඒ වතුරේ කට්ටිය ගහගෙන යනවා විලාප දිදී. මම දන්න කට්ටිය මගේ නෑයෝ එහෙම ගහගෙන යනවා දැක්කා. මමත් ජීවිතේ ආසාව අතහැරලා තමයි හිටියේ. හොඳට වටපිට බලනකොට දැක්කා ඈතින් තිබුණු තල්ගස් වල පොල්ගස්වල එහෙම කට්ටිය නැගලා ඉන්නවා. ඈතින් වැව් බැම්ම පේනවා, වැවේ සොරොව්ව තිබුණු කොටසේ බන්ට් එක නෑ. මහා වතුර කඳක් එතැනින් වැටෙනවා. දවල් වෙනකොට බඩගින්නයි, ඒත් මොනවා කරන්නද? කන දෙයක් ගැන හිතනවට වඩා ජීවිතේ බේර ගන්නයි ඕන වුණේ. එහෙම ඉන්නකොට හවස්වරුවේ හෙලිකොප්ටර් ආවා. ඇවිත් අනෙක් ගස් උඩ නැගලා හිටිය කට්ටිය ලණුවකින් වළල්ලක් වගේ එකක් දාලා ගන්නවා දැක්කා. ඒ හෙලිකොප්ටරය පාත්කරනකොට මහ හුළඟක් එනවා. එතකොට සමහර ගස් මිනිස්සුත් එක්ක ගැලවිලා එයාලා ගහගෙන ගියා. සමහර අයට වළල්ල අල්ල ගන්න බැරි වුණාම ගුවන් හමුදාවේ මහත්තුරු කඹේ තිබුණු වලල්ලෙන් එල්ලිලා ඇවිත් එයාලව බේර ගන්නවා මම දැක්කා. එහෙම කළේ එයාලගේ ජීවිතේ ගැනවත් හිතන්නේ නැතිවයි. පස්සේ මම හිටපු තැනටත් උඩින් ඇවිත් ඒ වළල්ල දාලා මට ඒකට ගොඩ වෙන්න කීවා. මම ගොඩක් උත්සාහ කළත් ඒකට ගොඩවන්න බෑ. ඇයි බැරි වෙලාවත් අතහැරුනොත් වතුරෙනේ. ඒ අතරේ එපිට ගස්වල හිටපු අය කොළ අතු කඩාගෙන වනමින් හෙලිකොප්ටරය එයාලගේ පැත්තට ගෙන්න ගන්න උත්සාහ කරනවා. එතකොට වෙලාව පහට හයට විතර ඇති. පස්සේ එයාලා කිව්ව විදියට වළල්ල යට කොටසෙන් අත් දෙක දාලා අල්ලා ගත්තා. ඉන්පස්සේ වැව් බන්ට් එක පැත්තට මාවත් එල්ලාගෙන ගියා. එතැන ඉඳලා ගොඩබිමට මීටර් දෙතුන් සීයක් තිබුණා. ඒ වෙලාවේ මගේ ඇඟේ සාය උඩට කරලා ඇඳගෙන හිටියේ. කොහොම හරි වැව් බන්ට් එකට ළං වෙනකොට මට දැනුණා මගේ සාය ගැලවිලා යන්න වගේ. ඒ නිසා එක අතක් අතහැරලා මගේ සාය අල්ලා ගත්තා. මගේ ඇඟේ බරටත් ඒ වෙනකොට මගේ අත් දෙකත් හොඳටම තුවාල වෙලා තිබුණු නිසාත් මගේ අනිත් අතත් අතෑරිලා මාව වැටුණා, මහ පාරට. මම හිතන්නේ ඒ අඩි විස්සක් තිහක් විතර උඩින්. ඉන් පස්සෙ වෙච්චි දේවල් නම් මට මතක නැ. මාව නේවි එකේ මහත්වරු තමයි වැව හරහා බෝට්ටුවකින් ගෙනත් ඉස්පිරිතාලෙට දාලා තියෙන්නේ. ඒ වෙලාවේ ගුවන් හමුදාවේ මහත්වරුයි, නේවි එකේ මහත්වරුයි නොහිටියා නම් අද මමත් නෑ. ඒ වගේම එයාලා අපේ ගමේ සිය දෙනෙක් විතර බේර ගත්තා. ඒ වෙලාවේ අපි දෙමළද, සිංහලද කියලා බැලුවේ නැ. ඒ සිද්ධියෙන් අපේ ගමේ දෙමළ අය හැත්තෑ එක් දෙනකුයි, සිංහල අය එක්කෙනෙකුයි මැරුණා. ඒ සිංහල එක්කෙනා තමයි රත්නසේකර මහත්තයා.’’ එදා ප්‍රේමකුමාරි හෙලිකොප්ටරයෙන් බිමට ඇද වැටී ඇයගේ නිකටේ හා ශරීරයේ අනෙකුත් තැන්වල ඇති වූ කැළැල් අදටත් දක්නට ඇත. මේ සිද්ධිය වූයේ අදින් වසර තිස් තුනකට පෙර ඇය නව යොවුන් තරුණියකව සිටි අවධියේ ඇයට අවුරුදු දහසයක් කාලයේය. එදා එසේ අවදානම් ඇද වැටීමකට ලක් වුවත් අද ඇය දරුවන් සිව් දෙනකුන් හා සැමියා සමග යහපත් ජීවිතයක් ගත කරන මවකි. කුඩා සිල්ලර කඩයක් පවත්වාගෙන යන ප්‍රේමකුමාරිට ඒ අත්දැකීම අදටත් හිතට බිය කැන්දන්නකි. ප්‍රේම කුමාරි සේම බිහිසුණු අත්දැකීමක් නොලද්දත්, සරස්වතී කන්තලේ දිය රකුසාට කොටු වී ගුවන් හමුදාවේ පිහිටෙන් දිවි රැකගත් ද්‍රවිඩ කාන්තාවකි. අද 55 හැවිරිදි වියේ සිටින සරස්වතීටත් ඒ සිද්ධිය කිසිදා අමතක නොවන්නකි.‘‘අපේ පවුලේ නම දෙනෙක් වතුර පාරෙන් බේරෙන්න තල්ගහකට නැග්ගා. ඒත් වතුර පාර සැරවෙනකොට අපි හිටපු තල්ගහ කඩාගෙන අපිව ආපසු වතුරට වැටිලා ගහගෙන යනකොට වෙනත් තල්ගහක් හමුවුණු නිසා ඒකට නැගගත්තා. අපේ මනුස්සයා තමයි අපිව බේරගන්න ගොඩක් මහන්සි වුණේ. ඒත් එයා දැන් නෑ. කාලෙකට ඉස්සර එයා මැරුණා.’’ එසේ පැවසූ ඇය මඳ වේලාවක් නිහඬ වී සිටියේ මියගිය තම ස්වාමියා පිළිබඳ සිහිවීමෙනි. පසුව නැවතත් ඇය කටහඬ අවදි කළාය. ‘‘කොහොම හරි අපි නම දෙනාම ගහට නැගලා බේරිලා හිටියා. හවස හෙලිකොප්ටර්වලින් ආව හමුදාවේ මහත්වරු වළලු, දැල් වගේ දේවල් දාලා අපිව ඒකේ ඇතුළට අරගෙන කන්තලේ පොලිසියේ පිට්ටනියට ගොඩබස්සවලා ඉස්පිරිතාලෙට අරගෙන ගියා. ඒ මහත්වරු කඹේ දිගේ ඇවිත් ගහේ කඳේ එල්ලිලා හිටි අයව කකුල් දෙකට හිරකරගෙන උඩට ගත්තා. තවත් වෙලාවකදී ඒ විදියට අැවිත් අම්මව කකුල් දෙකට හිරකරගෙන දරුවාව අතින් අරගෙන උඩට නැග්ගා. එයාලා කරපු සේවේ ඒ කාලේ පත්තරේකවත් ගියාද අපි දන්නේ නෑ. ඒ ගැන මේ වෙනකම් අපෙන් කවුරුවත් අහලත් නෑ. වැවේ බැම්ම කැඩිලා එදා මුළු ගමම විනාශ වුණා. අපිට වන්දි කියලා කිසි දෙයක් ලැබුණේ නෑ. පස්සේ රතුකුරුසෙන් පුංචි ගෙවල් ටිකක් හදලා දුන්නා. ඒවාගේ තමයි අපි අදටත් ජීවත් වෙන්නේ. මෙලෙස ජාතිවාදය උත්සන්න වූ කාල වකවානුවකදී විපතට පත් වූ ද්‍රවිඩ ජනතාවගේ ජල රකුසාට බිලිවීමට නියමිතව තිබූ ජීවිත සිය ගණනක් බේරාගත් එම ත්‍රිවිධ හමුදා සහ පොලිස් මෙහෙයුම පිළිබඳ එකල දී මාධ්‍ය තුළින් එතරමින් ප්‍රචාරය වූයේ නැත. කෝවිල්ගම ගම්මානයේ විසූ ද්‍රවිඩ වැසියන් මෙන්ම ඊට පසු ජල කඳෙන් යට වූ පොටන්කාඩු ගම්මානය අැතුළු අනෙක් ගම්මානවල සිටි සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් ආදී සියලු ජන කොටස්ද බේරා ගැනීමටත්, මියගිය අයගේ සිරුරු සෙවීමටත් පුනරුත්ථාපන කටයුතු සඳහාත් අප ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එම අවස්ථාවේ සිට දින ගණනක් කටයුතු කළහ. කන්තලේ වැව් බැම්ම එදා පුපුරා ගියේය. මිනිසුන්ගේ ජීවිතද නින්දේදීම අහිමි වීද තිබුණි. වැව් බැම්ම ඉන් පසු පිළිසකර ද වූයේය. ඒත් වැව් බැම්ම කැඩුණේ ඇයිදැයි නිශ්චිත හේතුවක් නම් කරළියට නොආවේය. නමුදු ඊට අාසන්නතම හේතුව වන්නට ඇත්තේ විදේශීය සමාගමක් විසින් පානීය ජලය ලබා ගැනීම හරහා වැව් බැම්ම මත ඉදිකළ පොම්පාගාරය වන්නට ඇතැයි හේතු තිබිණි. අධිරාජ්‍යවාදී පාලන සමයේදී වැවේ ධාරිතාව වැඩිකරමින් විශාල ඝනකාභ හැඩැති කළුගලින් ඉදිකර තිබූ එම සොරොව්ව අසල පොම්පාගාරය ඉදිකිරීම මගින් එය දුර්වල වන්නට ඇතැයි අදටත් ඒ පිළිබඳ දන්නා ජනතාව පවසන්නේ වැව් බැම්ම කැඩී ගියේ එම සොරොව්වෙන්ම වූ නිසාය. මේ පිළිබඳ කන්තලේ වාරිමාර්ග කාර්යාලයේ සේවයේ නියුතු කේ. එම්. ඊ. රත්නසේකර තම රාජකාරී මට්ටමින් නොව ප්‍රදේශවාසියකු ලෙස මේ ගැන කීවේය. ‘‘වැව් බැම්ම කැඩෙන්නට ටික කාලයකට කලින් තමයි ඔය සොරොව්වට කිට්ටුවෙන් ජල සම්පාදනයට වැවෙන් වතුර ගන්න පොම්පාගාරෙ හදලා ඉවර කළේ. පිටරට කොම්පැනියක් ඒක. සුද්දෝ එහෙමත් වැඩ කළා. මගේ මතකයේ හැටියට ඒකේ නම සොබියා කියලයි. ඒ කාලේ විශාල දොඹකර ගෙනල්ලා බන්ට් එකේ මුදුනේ ඉඳලා වැව් පතුලේ මට්ටම පහුවෙනකම් මීටර් 25 ක්, 30 ක් පමණ ගැඹුරට යකඩ සීට්පයිල් පොළොව යටට බැස්සුවා. ඒකේ කම්පනයට ඒ කාලේ අපේ ගෙවලුත් ඉරිතැලුවා. ඒත් අපි කල්පනා කළා වැවට මොකක් හරි අනතුරක් වෙයි කියලා. ඒක විවෘත කරලා ටික කාලයක් යනකොට සොරොව්වේ වතුර මුදාහරින පැත්තේ මඩපාරක් එක්ක වතුර පිටවෙන්න පටන් ගත්තා. ඉන් දවස් දෙකකට විතර පපස්සේ එතැනින් වැව කඩාගෙන ගියා. ඒ වතුර පාරට දෙපැත්තම හේදි හේදී පළල් වුණු විවරය මහනුවර පැත්තෙන් අර ෂීට් පයිල් ගහලා හදපු ටැංකියෙනුත් ත්‍රිකුණාමලය පැත්තට වෙන බන්ට් එක කෙළවර තියෙන රෙස්ට්හවුස් ගල කියන ගල්තලාවෙනුයි තමයි නතර වුණේ. වතුර බැහැලා ගියාට පස්සේ ඒ ටැංකියේ පොළොවට යවෙලා තිබුණු කොටස මීටර් 20 ක් පමණ පෙනෙන්නට තිබුණා. වැව් බැම්ම නැවත පුරවනකොට ඒ ෂීට්පයිල් කපලා අයින්කරලා කොන්ක්‍රීට් ටැංකිය අයින් කළේ වෙඩි දාලා පුපුරුවලා.’’ සංඛ්‍යා ලේඛන අනුව ඉහත ඛේදවාචකයේදී මිනිස් ජීවිත 126 ක්, නිවාස 1600 ක්, විනාශ වී ඇති බැව් වාර්තා වී ඇත. පොදු දේපොළ ද හානි සිදුවිය. විශේෂයෙන් ත්‍රිකුණාමලය දුම්රිය මාර්ගය සුනාමි ව්‍යසනයේදී තෙල්වත්තේ දුම්රිය මාර්ගයට හානි සිදු වී තිබූ අයුරින් සිදුව තිබුණි. වැව් බැම්මේ මීටර් 150 ක පමණ කොටසක් කැඩී ගොස් එය යථා තත්ත්වයට පත් කරන්නට වසර ගණනාවක් ගත විය. ඇළ මාර්ග සිඳී ගොස් දිස්ත්‍රික්කයේම ජනයාගේ ජීවිත අවුලෙන් අවුලට පත් වුණා. ඒ අතරේ ත්‍රස්තවාදී ක්‍රියාවන්ගෙන්ද ජනතාව බැට කෑහ. ඒත් එයින් බැට කෑ මිනිසුන්ට අදටත් සාධාරණයක් නම් ඉටු වී නැත්තේය. මහින්ද සේනාරත්න - කන්තලේ
 

More News..