brand logo

කටහඬ පරීක්ෂණයක් සඳහා කන්ජිපානි ලබන 19 වැනිදා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට

17 September 2019

මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවකු නිදහස් කරන ලෙස කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකුට විදේශයක සිට දුරකතන මගින් මරණීය තර්ජන සිදු කළේ යැයි සැකකෙරෙන දැනට සිර දඬුවම් විදින පතාල කල්ලි නායකයෙකු බව කියන කන්ජිපානි ඉම්රාන් නමැත්තා මේ මස 19 වනදා කටහඬ පරීක්ෂණයක් සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (17) නියෝග කළාය. මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී පොලිසිය අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් සැකකාර කංජිපානි ඉම්රාන් කටහඬ පරීක්ෂණයකට භාජනය කිරීම සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර බලධාරීන් විසින් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිටියහ. එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය සැකකරු ලබන 19 වනදා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන මෙන් බන්ධනාගාර නිලධාරීන් වෙත නියෝග කළාය. ඉන් අනතුරුව සැකකාර කංජිපානි ඉම්රාන් ලබන 20 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියම කෙරුණු අතර එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත් වරිය විසින් පොලිසියට නියෝග කරන ලදී. කෙසෙල්වත්ත පොලිසිය විසින් මීට පෙර අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් පසුගිය කාලයේ කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ සගයකු බව කියන කේමදාසන් තුෂාන්තන් හෙවත් සුසන්ත නැමති අය හෙරොයින් මත්කුඩු ග්‍රෑම් විස්සකට අධික සංඛ්‍යාවක් සමග කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබූ බව සඳහන් කර තිබේ. එම වකවානුවේ විදේශගතව සිටි කංජිපානි ඉම්රාන් දුරකථන මාර්ගයෙන් එම වැටලීමට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තර්ජනය කරමින් තම සගයා මුදාහරින ලෙස බලපෑම් කර ඇති බවත් එම නිලධාරීන්ට පරුෂ වචනවලින් බැන වැදී මරණීය තර්ජන ක ඇති බවත් පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කර තිබේ. ගංජා කිලෝග්‍රෑම් 5.3 ක් සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරද පිළිගත් කංජිපාන් ඉම්රාන්ට කොළඹ මහාධිකරණය විසින් ඉකුත්දා බරපතළ වැඩ සහිත වසර හයක සිර දඬුවම් නියම කර තිබුණි. එම සිර දඬුවමට එරෙහිව කංජිපාන් ඉම්රාන් විසින් මේ වන විට අභියාචනාධිකරණය වෙත අභියාචනයක් ද ගොනු කර තිබේ. අධිකරණ වාර්තාකරු
 

More News..