brand logo

කථානායකගෙන් විශේෂ නිවේදනයක්

05 November 2018

නව පාර්ශවයට හිමි බහුතරය පෙන්වීමට හැකිවන තුරු පෙර පැවැති තත්ත්වය පිළිගැනීමට තමාට සිදුවන බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කථානායකවරයා මේ බව සඳහන් කර ඇත. මාතෘ භූමිය පෙර නොවූ විරූ ආකාරයේ අර්බුධකාරී තත්ත්වයකට මුහුණ දී ඇති අවස්ථාවක තමා මෙතෙක් නිහඬව සිටි නමුත් පාර්ලිමේන්තුවේ විපක්ෂනායකතුමා ඇතුළු බහුතර මන්ත්‍රී තුමන්ලාගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහාත් මෙතෙක් රැකගත් ප්‍රජාතන්ත්‍රවාදය විනාශවනු වැළැක්වීම සඳහාත් ඉදිරිපත්ව හෘදයශාක්ෂියට එකඟව ක්‍රියාකිරීම මේ මොහොත් තමා සතු ජාතික යුතුකමක් කොට සලකන බව ද කථානායකවරයා අවධාරණය කරයි. එක්සත්ජාතික පක්ෂය, ද්‍රවිඩ ජාතික සන්ධානය, ජනතාවිමුක්ති පෙරමුණ සහ මුස්ලිම් කොන්ග්‍රසයට අයත් මන්ත්‍රීවරුන් 116 දෙනෙකුගේ අත්සන් සහිතව ජනාධිපතිතුමා ගත් තීරණය ව්‍යවස්ථා විරෝධී සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී බවත් සඳහන් කරමින් තමන් එය අනුමත නොකරන හෙයින් පාර්ලිමේන්තුව වහා කැඳවා එහි අනුමැතිය ලබා ගන්නා ලෙස සඳහන් කරමින් තමා වෙත ඉදිරිපත්කොට ඇති ඉල්ලීම අතිශයින් සාධාරණ බව තම හැඟීම වන බව එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කරයි. ජනාධිපතිවරයා වාචිකව ලබා දුන් පොරොන්දුව අනුව කටයුතු කරන්නේ නම් නොවැම්බර් 07 වන දින වන විට පාර්ලිමේන්තුව කැඳවා රට ස්ථාවර කිරීම කථානායකවරයා වශයෙන් තමාගේ යුතුකම වන බව ද එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙයි. ඒ සඳහා තමා හට සහය වීම ජනාධිපතිවරයාගේ ද යුතුකමක් බව ද කථානායකවරයා අවධාරණය කරයි. රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම බරපතළ ලෙස උල්ලංඝනය කරමින් මාධ්‍ය ආයතන ඇතුළු සෙසු රාජ්‍ය ආයතන පරිපාලනය බලහත්කාරයෙන් පැහැරගෙන මධ්‍යස්ථ සේවකයන් පිටුදකිමින් මහජන නියෝජිතයින්ට වරදාන ලබා දෙන බවට ලැබෙමින් පවතින තොරතුරු දෙස නිහඬව බලා සිටීම අසීරු වෙන බව ද කථානායකවරයා සඳහන් කරයි. පාර්ලිමේන්තුව නීත්‍යානුකූලව රැස්කිරීමට ඉඩ නොතබා මන්ත්‍රීවරුන් සතු අයිතීන් පැහැරගෙන ඇති බවට බහුතරය විසින් පෙන්වා දෙනු ලැබ ඇති අවස්ථාවක යුක්තියේ හා සාධාරණත්වයේ නාමයෙන් තමාගේ ස්ථාවරය ලෝකයට පල කළ යුතු බව ද ඔහු අවධාරණය කරයි. පාර්ලිමේන්තුවේ ඇතිකළ වෙනස්වීම් සියල්ල ව්‍යවස්ථා විරෝධීව සහ සාම්ප්‍රදාය විරෝධීව සිදුකර ඇති බව බහුතරයේ අදහස වන බැවින් මෙම වෙනස්වීම්වලට පෙර පැවති තත්ත්වය පිළිගන්නා ලෙස පාර්ලිමේන්තුවේ බහුතරය ඉල්ලා ඇති ‍හෙයින් ඔවුනට හා නව පාර්ශවයට හිමි බහුතරය පෙන්වීමට හැකිවන තුරු පෙර පැවැති තත්ත්වය පිළිගැනීමට තමා හට සිදුවන බව අවධාරණය කරන බව ද එම නිවේදනයේ දැක්වෙයි. අවසාන වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සිදු නොවිය යුතු මෙම සිද්ධිය අවි හරඹවලින් තොරව සිදු වූ අප්‍රසන්න සංසිද්ධියක් බවයි. සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි.
 

More News..