brand logo

කතරගම දෙවියෝ ගරාජ් බාසුන්නැහැ කෙනෙක්ද?

20 July 2020

අලුතින් වාහනයක් ගත්තහම බොහෝ දෙනෙක් මුලින්ම යන්නේ කතරගම. එහෙමත් නැත්නම් වෙන මොනයම් හෝ දේවාලයකට. බාරහාර වෙලා පඬුරක් එහෙම ගැට ගහලා වාහනයට දෙවියන්ගේ ආරක්ෂාව ඉල්ලනවා. දෙවිවරුන්ට පුළුවන්ද එහෙම වාහන ආරක්ෂා කරන්න? අලුතින්ම වාහනයක් ගත්තත්, පරණ වාහනයක් අලුතෙන් ගත්තත් මුලින්ම යන්න ඕන තැනක් තියෙනවා. කතරගම වුණත් කමක් නැහැ. මඩකලපුව, යාපනේ වුණත් කමක් නැහැ. මුලින්ම යන්න ඕන අන්න එතනට. කොතනටද හාමුදුරුවනේ? හොඳ මිකැනික් (කාර්මික ශිල්පියෙක්) කෙනෙක් ළඟට. එයාට වාහනේ පෙන්නලා වාහනේ අඩුපාඩු බලාගන්න එක තමයි නුවණට හුරුම වැඩේ. මොකද අලුත් වුණත් පරණ වුණත් වාහනවල ලෙඩ දෙන්න පුළුවන්. ඒ ගැන හොඳටම දන්නෙ වාහන ගැන අවබෝධයක් තියෙන බාසුන්නැහේලා. මේ බාසුන්නැහේගේ වැඩ දෙවියන්ට කොරන්න බැහැනේ. ඔය කියන විදියට රථවාහනවලට ආරක්ෂාව දෙන්න පුළුවන්නම් කතරගම දෙවියො කියන කෙනා වාහන හදන බාසුන්නැහැ කෙනෙක් වෙන්න ඕන. ඊළඟ කාරණය වාහනේ ආරක්ෂා කර දෙන්න කියලා මේ දෙවියන්ට රු. 1000 - 5000 පගාව දෙන්න ඕන පූජා වට්ටිවල තියලා. දෙවියන්ගේ වරමෙන් සාත්තර කියන අයත් ඉන්නවා. දැඩිමුණ්ඩ, පත්තිනි දේවවරම්වලින් සාත්තර කියලා සමහරු ලෙඩත් සුව කරනවලු? ඔය පත්තිනි - දැඩිමුණ්ඩ වගේ දෙවිවරු කියන අය කිසි කෙනෙක් දොස්තර විභාගේ පාස් කළා කියන්න මොනම සාක්ෂියක්වත් නැහැ. ඔවුන් හදාරපු දැනුමක් ගැන කොහෙවත් සඳහනක් නැහැ. ඒ අය දැකපු කෙනෙකුත් නැහැ. එහෙම අයට ලෙඩ සුව කරන්න පුළුවන්ද. ඇහැට පේන දොස්තරවරු ඉඳිද්දි දැකල නැති දෙවිවරු පස්සෙ යන්නේ මොකටද? අනිත් එක ලංකාවේ ගැබිනි මව්වරු ඔක්කොම පත්තිනිට බාරකළා නම් ඉවරනේ. මාතෘ සායන, කාන්තා රෝහල් ඔක්කොම වහලා එයාට බාර දෙනවා ළමයි ටික හම්බු කරන්න කියලා එතකොට හරියයිද? අනිත් එක ඔය දෙවියො ආරූඪ වුණැයි කියන මිනිහෙකුට හෝ ගෑනියකුට කන හරහා දෙකක් දුන්න නම් පණ කඩාගෙන දුවයි. දේව බලේ එතකොට බලාගන්න පුළුවන්. දේව බලයෙන් වගේම විශ්ව ශක්තියෙන් ලෙඩ රෝග සුව කරන බව කියන අය අපේ රට වටේම ඉන්නවා? රට වටේම හිටියට කෝ.. අද එක්කෙනෙක්වත් පේන්න නැහැනේ. එහෙම ලෙඩ සුව කරන අය ඉන්නවා නම් කොරෝනා හොඳ කරන්න එපැයි. ඒ ගොල්ලන්ට වැඩ පෙන්නන්න පුළුවන් හොඳම වෙලාව තමයි මේ. මේ වෙලාවේ හැංගිලා ඉන්නවා කියන්නේ මෙච්චර කල් කළේ බොරුව කියන එකනේ. දැන් ඔය ලෙඩ සුව කරන්න කියලා පසුගිය දවසක දේවගැතිවරයෙක් ආවනේ යාපනයට. අන්තිමට මොකද වුණේ එයා ලෙඩ බෝ කරලා ගියා. යාපනයේ මිනිස්සුන්ට කො​රෝනා බෝ කළා. ඒ විතරක් නෙවේ. අපේ රටේ සෞඛ්‍ය පවත්වාගෙන යන්න රජය මොනතරම් මුදලක් නම් වියදම් කරනවද? මෙන්න මේ විශ්ව ශක්තිකාරයන්ව රට පුරා තිබෙන රෝහල්වලට දාගෙන දාගෙන ගියා නම් ඉවරයිනේ. ලෙඩ්ඩුත් සුව වෙලා සල්ලි ටිකත් ඉතුරු වෙනවනේ. මේ බොරුවලටත් රැවටෙන මිනිස්සු ඉන්නවනේ තවම. බුදුදහමේ දෙවියන් ගැන සඳහන් වන අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. ‘‘දේව’’ කියන වචනයත් විවිධ අර්ථයන්හි යෙදී තිබෙනවා. සම්මුති දේව, උත්පත්ති දේව, විසුද්දි දේව ආදී වශයෙන් බුදු දහමට අනුව ගත්තොත් ​මේ දෙවියන් (දේව) කියන්නේ කාටද? බුද්ධ කාලීන භාරත සමාජය දේව ඇදහිලිවලින්, පුද පූජාවන්ගෙන් ගහන සමාජයක්. ඒ නිසා බුදුන්වහන්සේ වුණත් එකල සංස්කෘතියට සම්පූර්ණයෙන් පයින් ගහලා වැඩ කළේ නැහැ. එහෙම වුණා නම් උන්වහන්සේගේ දහම ප්‍රචාරය කරන්න බැරි වෙනවා. මේ ‘‘දේව’’ කියන සංකල්පය මුල් බැසගත් සමාජයට ධර්ම දේශනා කිරීමේදී යම් යම් උපක්‍රම භාවිත කළා. බුදු දහම ප්‍රඥාවන්තයන්ටයි. එහෙත් දාර්ශනික මට්ටමෙන් පමණක් එය පවත්වාගෙන යන්න බැහැ. සාමාන්‍ය ජනතාව අතර පවතින්න ඕන. එහෙම පවතින්න නම් සාමාන්‍ය මිනිස්සු සමග බැඳිලා ඉන්න හැකිවෙන සංස්කෘතික මුක්කු අවශ්‍යයි. බුදු දහමේ දෙවියන් පාවිච්චි කළේ එවැනි මුක්කු හැටියටයි. බුදුන් වහන්සේ දේශනා කළා යමෙක් දෙවියො දැකලා හැකි නම් ලිච්ඡවී රජදරුවන් දකින්න කියලා. ඉන්දියාවේදී ඒකාන්තයෙන්ම දෙවියන් ලෙස හැඳන්වූයේ ඉන්දියානු ජනවර්ගයකටයි. බුදුන් වහන්සේගේ කාලේ රජගහ නුවර, විශාලා මහනුවර වගේම ශ්‍රී ලංකාවේ වළගම්බා රාජ යුගයේදී බැමිණිතියා සාය වැනි දුර්භික්ෂ නියන්සාය ඇති වුණා. එවකට වැඩ සිටි මහා රහතන් වහන්සේලා පවා මේ දුර්භික්ෂ හමුවේ පිරිනිවන් පෑමට තීරණය කර තිබුණා. එකල එම මහරහතන් වහන්සේලාගේ පිහිටට හෝ දෙවියෙක් බ්‍රහ්මයෙක් ඉදිරිපත් වූ බවක් දැන ගන්න තිබෙනවාද? බුදුන් වහන්සේට හෝ මහරතන් වහන්සේලාට හෝ වෙන මොනම ජගතෙකුටවත් ජාති, ජරා, මරණ, ව්‍යාධි පරාජය කරන්න පුළුවන් කමක් නැහැ. බුදුන් වහන්සේට වුණත් තමන්ගේ ආධ්‍යත්මික ශක්තිය යොදලා ලෙඩේ යටපත් කරගෙන ඉන්න පුළුවන් වුණේ මාස 3යි. තුන් මසක් අවසානයේ ලෝහිතපක්කන්දිකා රෝගය වැලඳුණා. ඉතින් බුදුන් වහන්සේටත් ඇති වූ තත්ත්වය එය නම් සාමාන්‍ය මිනිසුන්ට කවර කතාද? කනාගාටුවට කාරණය තමයි මිනිස්සුන්ට මේවා තේරුම් නොයාම. ‘‘ඉතාම කනගාටුදායක සිද්ධියක් පසුගියදාක පත්තරෙන් මට දැක ගන්න ලැබුණා. එක ළමයෙක් උසස් පෙළ ඉහළින් සමත් වෙලා එයා වෛද්‍ය විද්‍යාලයට තේරිලා. එයා පත්තරේට කියලා තිබුණා. මම මේ ජයග්‍රහණය ලැබුවේ කතරගම දෙවියන් නිසා කියලා. ‘‘අනේ දෙවියනේ මෙහෙමත් මෝඩයෝ. ඒ වෛද්‍ය ශිෂ්‍යාවගේ සාමාන්‍ය ඥානය ​කොපමණද කියලා ඒකෙන්ම පේනවා.’’ රෑ එළිවෙනකම් පණ යනකම් පාඩම් කරලා දහදුක් විඳලා ගුරුවරු උගන්වලා දෙමව්පියෝ කන්න බොන්න දීලා විභාගෙ පාස් වුණාට පස්සේ දෙවියන්ට ස්තුති කරනවා.’’ බයිපාස් ඔපරේෂන් කරපු අය තමන් බේරුණේ දෙවියන්ගේ පිහිටෙන් කියමින් දෙවියන්ට පින් දෙනවා. අනේ අර ලෙඩේ සුවපත් කරපු දොස්තර මහත්තයා පැත්තක. දෙවියො බ්‍රහ්මයො නෙවෙයි ලෙඩ්ඩු බේරගන්​නේ දොස්තරවරු. විශ්ව ශක්තිය තිබෙනවා කියන අයත් අනුන්ගේ ජීවිත රකින්න හෝ අඩුතරමේ තමන් අවුරුදු 100ක් 200ක් වත් ජීවත් වෙන්න ජීවිකාව හදාගන්න එපැයි. එහෙම ජීවිතය හදාගන්න බැරි අය අනුන් ජීවත් කරවන්නේ කොහොමද? විද්‍යාව කොපමණ දියුණු වුණත් මිනිසුන් නොපෙනෙන බලවේග අතහැරියෙත් නැහැ? ඔව්. මියනර්මාරය, තායිලන්තය, චීනය වගේ හැම රටකම දෙවියන් පිළිබඳ භූතයන් පිළිබඳ විශ්වාසය චිරාත් කාලයක් පුරා පැවතුණා. නමුත් මිනිසුන් ඒ මිථ්‍යා යුගය අභිබවා තාක්ෂණයේ විද්‍යාවේ දියුණු යුගයට ආවා. එහෙම දියුණු වෙච්ච මිනිස්සු දැන් නැවතත් ගස්, ගල්, ග්‍රහ, තරුවල එල්ළිලා ගල් යුගයට යන්න හදනවා. බුදුන් වහන්සේ දේශනා කළේ ‘‘කිං තාරකා කරිස්සන්ති’’ කියලයි? ඔව්. ග්‍රහ තාරකා ආදියට මිනිස්සු කෙරෙහි කළ හැකි බලපෑමක් නැහැ කියලා තමයි උන්වහන්සේ දේශනා කළේ. බුදුහාමුදුරුවො කිව්වෙ ‘‘දුර්ලභන්ඡ මනුස්සන්තං’’ කියලයි. දුර්ලභන්ඡ දේවත්තං කියලා කොහෙවත් කියලා නැහැනේ. මනුෂ්‍ය්‍යකු වීම තමයි දුර්ලභ. බලන්න මේ කොරෝනා කාලේ අපේ රටේ මිනිස්සු මොනතරම් නව නිර්මාණ හඳුන්වලා දුන්නද කියලා. එක දෙවියෙක් එක අලුත් නිර්මාණයක් කළැයි කියලා දැනගන්න තියෙනවද ඔක්කොම නිර්මාණ කළේ අපේ මනුස්ස දූ දරුවො. මිනිස්සු මානසික වශයෙන් පීඩාවට පත් වුණහම ලෙඩ රෝග හැදුණහම විවිධ සරණ සොයාගෙන යනවා. ඒ නිසා මේ මිනිස්සු මිථ්‍යාවෙන් මුදා ගන්න එක අපේ රටේ සංඝරත්නයේ අද වගකීමයි. තුෂාර උඩවත්ත
 

More News..