brand logo

කඩිනම් විසඳුම් නොදුනහොත් ජාතික උරුමයන් විනාසයි

15 February 2021

  ඓතිහාසික දෙවනගල රජමහ විහාරස්ථානයේ පළමු මැණුම සිදු කිරීමෙන් පසු සිටුවන ලද සීමා මායිම් කණු රැසක් ගලවා එහි ඉඩමක් බලහත්කාරයෙන් ඩෝසර් කිරීමේ සිද්ධියක් පිළිබඳ දෙවනගල භාරකාර ස්වාමින් වහන්සේ පෙරේදා (13 වැනිදා) මාධ්‍ය වෙත පැවැසීය. දෙවනගල රජමහ විහාරයේ පුරාවස්තු විනාශය සහ ඉඩම් ආක්‍රමණය සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේ පවතින ගැටලුවට විසඳුමක් ලෙස රජය මගින් රුපියල් එක්ලක්ෂ අසූපන්දහස් තුන්සිය හැට හයක් වැය කොට මිනින්දෝරු අධිකාරිය හරහා දෙවනගල අක්කර 85ක ඉඩම් වපසරියක් ඉපැරැණි පිඹුරුපත් අනුව මැනුම් කටයුතු අවසන් කරන ලද්දේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදීය. එම ඉඩම් මැනීමේදි සීමා කණු සිටුවන ලද අතර ඒ සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීම් රැසක් රජයේ නිලධාරීන් හරහා මෙන්ම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී සහ පොලිසිය මගින්ද අවස්ථා කිහිපයකදීම සිදුකර තිබිණි. මැන අවසන් කරන ලද ඉඩම් කොටසේ මුඩු ඉඩම්වල කිසිදු ඉදිකිරීමක් හෝ සංවර්ධන කටයුත්තක් රජය මගින් අවසන් තීන්දුවක් දෙන තෙක් සිදුනොකරන ලෙස ජනතාව දැනුවත් කර තිබිණි. එවන් පසුබිමක මීට දින කිහිපයකට කලින් සිට මැණුම් අවසන් කර සකස් කළ සීමා මායිම් කණු රැසක් ගලවා ඇත. එමෙන්ම විහාරස්ථානයට අයිති වූ මුඩු ඉඩමක් බැකෝ යන්ත්‍රයක් යොදා ගෙන කිසියම් සංවර්ධන කටයුත්තක් සිදු කරන බවට දෙවනගල භාරකාර මැදිරිගිරියේ පුඤ්ඤසාර ස්වාමින් වහන්සේ වෙත කරුණු අනාවරණය වී ඇත. ඒ අනුව උන්වහන්සේ පසුගිය පෙරවාරි 12 වැනි දින එම ස්ථානයට පොලිසිය සහ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මහතා සමග යන විට සංවිධානාත්මකව මෙම කටයුතු සිදු කර පිරිස බැකෝ යන්ත්‍රය එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත. පුඤ්ඤසාර හිමි පොලිසිය, ග්‍රාම නිලධාරීන් සහ විහාරස්ථානයේ දායකයන් සමග ගොස් ඒ අවට ඉඩම්වල පළමු මැණුමේ සීමා මායිම් කණු පරීක්ෂාවට ලක් කලහ. එම අවස්ථාවේ සීමා කණු රැසක්ම ගලවා ඇති බව ඔවුන්ට දැක ගැනීමට හැකිවී ඇත. සංවිධානාත්මක පිරිස් මෙන්ම අන්තවාදී කොටස් විසින් නිරන්තරයෙන් දෙවනගල වැනසීමට කරන මෙම ක්‍රියා සම්බන්ධයෙන් දෙවනගල භාරකාර ස්වාමින් වහන්සේ පෙන්වා දෙන්නේ, මෙම මුඩු ඉඩම් ඩෝසර් කිරීම පිළිබඳ මාවනැල්ල පොලිසියේ නීතිය ක්‍රියාත්මකවීම ගැන සතුටුදායක විය නොහැකි බවයි. විහාරස්ථාන බිමේ බොහෝමයක් සංවර්ධන කටයුතුවලදී පොලිසිය ඊට අතපෙවීම් සිදුකළත් මෙලෙස සිදුවන මහා පරිමාණ නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු සිදු නොකිරීම ගැන රජයේ උසස් වගකිව යුතු නිලධාරීන්ගේද අවධානයට යොමු විය යුතු බව උන්වහන්සේ පෙන්වා දෙයි. ඒ අනුව 2021 පෙබරවාරි 13 වැනි දින ගලවා ඉවත් කරන ලද සීමා කණු පොලිසිය සහ ග්‍රාම නිලධාරී මෙන්ම භාරකාර මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් සහ දායක සභාව එක්ව නැවත ඒවා සකස් කරන අවස්ථාවේදී පවා සංවිධානාත්මක පිරිස් වලින් ඊට දැඩි විරෝධයක් එල්ල විය. මෙලෙස සීමා කණු ඉවත් කිරීමෙන් පසුව නැවත වතාවක් මෙම ගැටලුව විසඳීමට නොහැකි තැනට පත් කිරීමට මෙම සංවිධානාත්මක පිරිස් උත්සාහ කරමින් සිටින අතර මේ සඳහා කඩිනම් විසඳුමක් ගැනීමට නොහැකි වුවහොත් මේ ජාතික උරුමය අනාගතයේදි බරපතළ අර්බුදයකට පත් වීම වළක්වා ගත නොහැකි වනු ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියෝ මෙසේ පැවැසූහ. ‘‘මම මේ උරුමය රකින්නේ මට අරන් යන්න නෙවෙයි. අනාගතයට මේවා ආරක්ෂා කර දීමටයි. දන්ත ධාතුන් වහන්සේ එක් වරක් වැඩ සිටි පුරාවිද්‍යා වටිනාකමක් ඇති ඓතිහාසික දෙවනගල පුදබිම සම්බන්ධයෙන් මාධ්‍ය මගින් කරුණු හෙළිදරව් වීම නිසා රජයේ අවධානය මේ වෙත යොමු වුණා. ඒ අනුව අක්කර 85ක් මැන අවසන් කළා. දෙවැනි මැණුම පුදබිම අවට සිදු කිරීමට සූදානම් කර ඇති මොහොතක සංවිධානාත්මක පිරිස් බැකෝ යන්ත්‍රය යොදාගෙන පළමු මැණුමේ සීමා කණු ගැලවීමට කිහිපවරක් උත්සාහ කර තිබෙනවා. පන්සලේ පොලිස් මුර පොළක් තියෙද්දි තමයි මේ සියලු කටයුතු සිදු වෙන්නේ. පෙබරවාරි 08 වැනිදා පන්සලේ නාමපුවරුව සංවිධානාත්මක පිරිස් විනාශ කළා. නැවත වතාවක් විහාරස්ථානයට හිරිහැරයක් සහ ආරක්ෂාවට තර්ජනයක් වන ලෙස කැමරා පද්ධති සවි කරලා තියෙනවා. ඒවා ගැන නීතිය ක්‍රියාත්මකවීම ගැන සතුටුදායක මට්ටමක නැහැ. මගේ ජීවිතය නැති කරන්න අද සමහරු උත්සාහ කරනවා. විහාරයේ සංවර්ධනයක් කළොත් ඒ ගැන පොලිසිය නිරන්තරයෙන් සොයා බලනවා. නමුත් සංවිධානාත්මක පිරිස් විසින් සිදු කරන ක්‍රියා එලෙසින්ම පවතිනවා. රජයේ මුදල් වියදම් කර මැන අවසන් කර සවි කළ සීමා කණු රැසක් ගලවා තිබෙනවා. මම පැමිණිල්ලක් කළෙත් නැහැ. අවස්ථා කිහිපයකදීම මේ ස්ථානයට හමුදා ආරක්ෂාව දෙන්න කියලා ඉල්ලීමක් කළා. නමුත් ඉතුරු පුරාවිද්‍යා වටිනාකම් සියල්ලත් විනාශ වෙනකම් ඒ ගැන අවධානය යොමු නොවෙයිද කියලාත් සැකයක් තියෙනවා. මේ සිදුවීම් ගැන මම පැමිණිලි නොකළේ එය ග්‍රාම නිලධාරීන් සහ මේ සම්බන්ධයෙන් සොයා බලන නිලධාරීන්ගේ වගකීමක් වන නිසයි. පසුගිය කාලයේ පැවැති රැස්වීම් කිහිපයකදීම මාව දැනුවත් කර තිබුණේ ඒ විදිහටයි. තාම පළමු මැණුමෙන් අයිති වන ඉඩම්වලට මොකද වෙන්නේ කියලා රජය මගින් අවසන් තීන්දුවක් දීලත් නැහැ’’ සමන් විජය බණ්ඩාර -මාවනැල්ල
 

More News..