brand logo

කඩා වැටුණු ගුවන් යානයේ අළුත්ම තොරතුරු

11 January 2021

කුඩා දරුවන් ද ඇතුළු පුද්ගලයන් හැට දෙදෙනකු රැගත් ඉන්දුනීසියානු ගුවන් යානයක් එරට ආසන්නයෙහි සාගර කලාපයේ දී අතුරුදන් වීම සති අන්තයේ විශාල අවධානයක් දිනාගත් සිදුවීමක් විය. මේ වනවිට අනාවරණය වී ඇති තොරතුරුවලින් පෙනී යන්නේ මෙම ගුවන් යානය මුහුදට කඩා වැටී ඇති බවයි. සාගරයට කඩාවැටුණු ඉන්දුනීසියානු ගුවන් යානයේ එන්ජිම සෝදිසි මෙහෙයුම්වලදී සොයාගෙන තිබේ. එය මේවන විට ජකර්තා වරාය වෙත ගෙනැවිත් ඇති අතර විමර්ශන සිදුකරමින් පවතින බව එරට වාර්තා සඳහන් කළේය. යානයේ සුන්බුන් සහ මිනිස් සිරුරුවල කොටස් යයි සැක කෙරෙන දේ සොයාගෙන ඇති බව ද මාධ්‍ය වාර්තා කර තිබේ. යානයෙහි ගමන් කළ අය අතරින් 56 දෙනෙකු මගීන් වන අතර ඉතිරි හයදෙනා කාර්ය මණ්ඩලයේ අයයි. දරුවන් දස දෙනෙකු ද යානයේ සිටි බවත්, ඇතැමුන් බිලිඳුන් වූ බවත් වාර්තා වේ. මහත් කම්පනයට පත් වූ ඥාතීන් ගුවන් තොටුපළ ට රැස්ව හඬා වැලපෙමින් සිටින අන්දම ද මාධ්‍ය වාර්තා කර තිබිණි. ‘මගේ පවුලේ හතර දෙනෙක් යානයේ සිටියා. බිරිඳ සහ දරුවන් තුන් දෙනෙක්....අපේ පුංචි ම දරුවාගේ ඡායාරූපයකුත් මගේ බිරිඳ මට එවා තිබුණා. මම මේක දරාගන්නෙ කොහොමද?’ ජකර්තා ගුවන් තොටුපළට පැමිණ සිටි යමන් සායි හඬා වැලපෙමින් කියා තිබිණි. ශ්‍රීවිජය නමින් හැඳින්වෙන, බොයිං 737 වර්ගයට අයත් මෙම ගුවන් යානය සෙනසුරාදා (9දා) පස්වරු 2.36 ට ජකර්තා නුවර සුකර්නෝ-හතා ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත් වූයේ බෝනියෝ දූපතේ පොන්ටියනැක් හි පිහිටි ගුවන් තොටුපළක් වෙත යාමටය. එය විනාඩි 90 ක පමණ ගුවන් ගමනක් බව සඳහන් වේ. නමුත් ගුවන්ගත වීමෙන් විනාඩි හතරකට පසු යානය සමග වූ සබඳතා ඇනහිට තිබිණි. ඒ වෙද්දී යානය තිබී ඇත්තේ ජකර්තා හි සිට කි.මී. 20 ක් පමණ දුරිනි. මේ වනවිට පළ වී ඇති තොරතුරුවලින් පැවසෙන්නේ විනාඩියක පමණ කෙටි කාලයක් තුළ යානය අඩි දස දහසක් පමණ පහළට කඩා වැටුණු බවයි. නමුත් අනතුරක් හෝ දෝෂයක් පිළිබඳ කිසිදු සංඥාවක් නියමුවන්ගෙන් ලැබුණු බවක් සඳහන් වන්නේ නැත. ඒ ආසන්න මුහුදේ ධීවර යාත්‍රාවක සිටි සොලිහින් නමැති ධීවරයෙකු තමා දුටු දසුන ගැන විස්තරයක් මාධ්‍ය සමග පවසා තිබේ. ‘යානය විදුලියක් කොටනව වගේ ක්‍ෂණයකින් මුහුදට කඩාගෙන වැටුණා. එය වතුර යට දී පුපුරා යන සද්දයකුත් ඇසුණා. යානය වැටුණේ අපි හිටපු තැනට බොහොම කිට්ටුවෙන්. එයින් විසි වූ කැබලි තව පොඩ්ඩෙන් අපේ යාත්‍රාවෙත් හැපෙනවා’ යැයි ඔහු විස්තර කර තිබිණි. ඉරිදා වනවිට වාර්තා වූයේ යානයේ කළු පෙට්ටිවලින් නිකුත් කරන්නේ යැයි සැලකෙන සංඥා හඳුනාගැනීමට ලැබී ඇති බවයි. ‘ස්ථාන දෙකකින් මෙවැනි සංඥා අසන්නට ලැබී තිබෙනවා. ඊයේ(10) දිනයේදී යානයේ කළු පෙට්ටිය සොයාගෙන තිබූ නමුත් එය තවමත් ගොඩබිම වෙත ගෙනැවිත් නැත. මේ අතර යානය ඉක්මනින් සොයා ගැනීමට හැකි වනු ඇති බවට එරට ගුවන් හමුදාවේ නිලධාරියකු විශ්වාසය පළ කර තිබිණි. මෙම අනතුර සිදුව ඇති කලාපයෙහි මුහුද මීටර 25 ක් (අඩි 80 ක්) පමණ ගැඹුරු බව සඳහන් වේ. යානය අතුරුදන් වූ වහාම ගලවා ගැනීමේ කණ්ඩායම් ක්‍රියාත්මක ව තිබූ අතර යුද නැව් හතරක් ඇතුළු යාත්‍රා දහයකට වැඩි සංඛ්‍යාවක් ඒ සඳහා යොදවා ඇති බැව් ඉන්දුනීසියානු බලධාරීන් පවසා ඇත. මෙම යානය කඩා වැටුණු බව පැවසෙන ස්ථානය ආසන්නයේ 2018 වසරේ ද ඉතා දරුණු ගුවන් අනතුරක් සිදු විය. එවර අනතුරට පත් වූයේ එකල විශාල ආන්දෝලනයක් ඇති කළ බොයිං 737 මැක්ස් (Max) වර්ගයට අයත් යානයකි. එම අනතුරෙන් පුද්ගලයන් 189 දෙනෙක් මරණයට පත් වූහ. එකල මෙම වර්ගයට අයත් යානා කිහිපයක්ම අනතුරට ලක් වූ අතර පසුව එම වර්ගයේ යානා ගුවන් ගත කිරීම අත්හිටුවීමට ද බොයිං සමාගම පියවර ගත්තේ ය. නමුත් පසුගිය දෙසැම්බර් මාසයේ සිට එම යානා සඳහා නැවතත් අනුමැතිය ලබා දී තිබේ. කෙසේ වෙතත් මෙවර අනතුරට පත්ව ඇති යානය බොයිං 737 මැක්ස් වර්ගයේ එකක් නොවේ. නමුත් එය තරමක් පැරණි ගුවන් යානයක් බවට තොරතුරු පළ වී ඇත. එය මුලින්ම ධාවනයට යොදා ඇත්තේ වසර 26 කට පෙර එනම් 1994 වසරේ යි. නමුත් එය හොඳ තත්ත්වයෙන් තිබූ බව ශ්‍රීවිජය ගුවන් සමාගමේ නිලධාරියකු ප්‍රකාශ කර තිබේ. අනතුර සිදු වූ දින පැවැති අධික වර්ෂාව නිසා එය ගුවන්ගත කිරීම විනාඩි 30 කින් පමණ ප්‍රමාද කර තිබිණි. ඉන්දුනීසියාවේ ගුවන් යානාවල ආරක්‍ෂිත බව සම්බන්ධයෙන් මෙයට පෙර ද චෝදනා එල්ල වී තිබේ. එම තත්ත්වය තුළ ඇමරිකාව සහ යුරෝපා සංගමයේ රටවල් එක් අවස්ථාවක ඉන්දුනීසියානු ගුවන් යානා සිය ගුවන් කලාපවලට ඇතුළුවීම ද තහනම් කළේය. සහන් වික්‍රමගේ
 

More News..