brand logo

කඩනවා - හදනවා කොළඹ පාරවල් හදා ඉවර වෙන්නේ කවද්ද?

25 March 2019

කෝච්චි පාරේ රේල් පීලි දෙකක් කොතරම් දුර ගියත් එකට එක්වන්නේ නැත. එමෙන් අපේ කොළඹ පාරවල්ද කිසිදා සාදා නිමවන්නේ නැත. සමහර පාරවල් හොඳින් කාපට් දමා දෙන්නට ලොක් ගල්ද අල්ලා නිමවනවාත් සමගම එන්නේ විදුලිබල, දුරකථන හෝ ජලයට අධිපති ආයතනයකි. ඔවුන් ඉන්පසු පාර දෙපස පස මැද මෙලෝ වගක් නැතුව හාරන්නට පටන් ගනී. ඉන්පසු පාර තිබුණාටත් වඩා අන්ත තත්ත්වයට පත් වේ. පාරවල් හාරමින් වහමින් නැවත සකසමින් කාලය ගත කිරීම මාර්ග සංවර්ධනය සම්බන්ධයෙන් අපගේ ජාතික ප්‍රතිපත්තිය සේය. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු පාරේ එහි දියත උයන හංදිය සිට රාජගිරිය වට රවුම දක්වා ‘U’ ටර්න් එකක් දමා ගැනීමට තිබූ සියලු තැන් කොන්ක්‍රීට් දමා වසා ඇත. පැරකුම්බා පිරිවෙන ඉදිරිපිට මගීන්ට මාරුවීමට කහ ඉරක් ඇතත් එය මැදින් වැටකි. ගඑතැන පිහිටුවා ඇති බත්තරමුල්ලේ සුභූති හිමියන්ගේ පිළිමය ඒ දෙස බලා සිටියේ ගුරුකමක් කර හෝ පොදුජනතාවට පාර මාරුවෙන්නට අවස්ථාවක් දීම මැනවැයි යන හැඟීමකින් මෙනි. බොරැල්ලේ සිට මරදානට පාර මැද මෙන්ම දෙපසම එකම යුද පිටියකි. මීට මාස කීපයකට පෙර බොරැල්ල හා මරදාන අතර පාර දෙපස ලොක් ගල් අල්ලා පාර මැද අඩි 4ක පමණ තීරුවක්ද දර්ශනීය ලෙස නිමවා තිබුණි. ඒ මත අඩි 6x3 වැනි විශාල මල්පෝච්චි තබා තිබුණි. උදේ හවා ඒවාට වතුර දැමීමට බවුසර් සමග ඒ වෙනුවෙන්ම සේවයට ගත් පිරිසක්ද විය. එහෙත් අද? බොරැල්ල සිට මරදාන දක්වා තිබූ ඒ දැවැන්ත මල් පෝච්චිවලින් ඉතිරිව ඇත්තේ මරදාන පොලිසියෙන් එහා මල්පෝච්චි පමණි. අනෙක් සියලුම මල්පෝච්චි ඉවත් කොට අඩි 4ට පාර මැද සකසා තිබූ තීරුව අඩියක් වනතුරු අඩු කොට ඇත. ඒත් ඒ ගත් ඉඩ ප්‍රමාණයෙන් වැඩක් ගත නොහැක්කේ ලයිට් කණු තවමත් තිබුණු තැන නිසාය. බස් මංතීරුව හඳුන්වා දීමේදී පාරේ ගැසූ ඊතල තවමත් එහෙමමය. සමහර තැන්වල පදික වේදිකාවේ මිනිසකු නොපොව්වන තරමේ වළවල් හාරා ඇත. තවත් තැනක පදික වේදිකාවේ ටෙලිෆෝන් රැසක් කැඩී ඇත්තේ පාර සකස් කරන JCB යන්ත්‍රවලිනි. බොරැල්ලෙන් ගෑස්පහ හන්දියට ගිය අපට දැකගත හැකි වූයේ පාර මැද තිබූ රථ නැවතුම ඉවත් කොට ලොක්ගල් අල්ලා එහි මැද මල් ගස් හිටුවා ඇති අයුරකි. හෙට්ටිවීදියෙන්, සෙන්ට්‍රල්වීදියෙන්, ආදුරුප්පුවීදියෙන්, වේල්ලවීදියෙන්, බෝධිරාජ මාවතෙන් මෙන්ම මේන් ස්ට්‍රීට් එකෙන් එන කාටත් එදා සුළු වේලාවකට වාහනයක් නවත්වා ගැනීමට මෙම බිම සුරපුරයක් විය. ඊටත් වඩා කොළඹ යතුරු කපන බොහෝ පිරිස් තම ජීවිකාව ගෙන ගියේ මෙම භූමියේය. කෙලින්වීදියෙන් සමුගෙන වරාය අසල ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය පසුකරන විට ඇන්ටන් චෙකොෆ් පයිප්පයකුත් කටේ ගසාගෙන රික්ෂෝවක නැගි අප දෙස බලා සිටියේ ඔලොක්කුවට මෙන්ය. යෝක් වීදියෙන් ටෙලිකොම් දෙසට හැරෙන විට පදික වේදිකාවේ වම් තීරුවම ඉදිකිරීම් සමාගමක් විසින් අරක්ගෙන තිබුණි. එහෙත් දැන් ටෙලිකොම් ඉදිරිපිට පාර මැද වේදිකාව කඩා U ටර්න් එකක් ගැනීමට අවස්ථාව සලසා දීම නම් වාහන තදබදයට ප්‍රායෝගික පිළිතුරක් බව නොකියාම බැරිය. එසේ නොමැති වූයේ නම්, ඕල්කට් මාවතේ සිට එන බස්වලට හරවා ගැනීමට හිල්ටන්, යෝර්ක් වීදිය, YMBA දක්වා දිගු වටයක් යෑමට සිදුවේ. ලේක්හවුස් වටරවුමේ පාර මැද ලොක්ගල් අල්ලා තිබූ කාන්තාර භූමියේ නැවතත් එම ගල් ඉවත් කොට මල් වවා ඇත. කොහේද ඉසව්වකින් ගෙනා දැවැන්ත කළු ගල්ද ඒ මත තබා ගමක සුන්දරත්වයක් ගැනීමටද උත්සාහ ගෙන ඇත. කෙසේ වෙතත් රීගල් සිට ගුවන් හමුදා මූලස්ථානය දක්වා ඇති මංතීරු නම් තවම ගහ කොළ වවා සොබාව සුන්දරත්වයෙන් තවමත් ඇති බව නොකියා බැරිය. කලකට ඉහත කොම්පඤ්ඤවීදිය මංසංදියේ තිබුණේ සුන්දර දසුනකි. එහි වූ අඩි 6-7 උස සූරියකාන්ත මල් කාගේත් සිත්ගත්තේය. එහෙත් අද ඒ කිසිවක් නැත. මැකලම් පාර දැන් වඩාත් ප්‍රසිද්ධ නෙළුම් කුලුන නිසාය. එම පාරේ ලේක්හවුස් දෙස සිට යන විට පාර මැද වූ වැවූ මල් පැළ ටැංකි අදත් දැක ගත හැකිය. එහෙත් එදා සතොස ප්‍රින්ටර්ස් භූමියට සමීප වන්නටත් පෙර ඒ මල්පෝච්චි සියල්ල ඉවත් කොට ඇත. හොඳින් තිබූ පදික වේදිකාවේ හා මැද කොන්ක්‍රීට් ගල් ගලවා නැවත ලොක්ගල් සවිකිරීමට පටන් ගෙන ඇත. තැපැල් මූලස්ථානය අසල පාර දෙපස මේ පාරවල්වල කොන්ක්‍රීට් කඳු ගසා තිබේ. නෙළුම් කුලුන අසල තවමත් ලොක්ගල් අල්ලමින් තිබෙන අතර ගා මිණී හෝල් වනතුරු මුළු පාරම යුද පිටියක සිරි ගෙන ඇත. මේ කොළඹ පාරවල් කීපයක ඇවිද අප සොයාගත් තොරතුරුය. මේ ගැන බොරැල්ලේ ව්‍යාපාරිකයකුගේ පැහැදිලි කිරීම මෙසේ විය. ‘‘මේ ගිය අවුරුද්දේ හොඳට හදල තිබ්බ පාර. මංකොල්ලකෑව වගේ උදේ ඇවිල්ලා බලන කොට ඔක්කොම විනාශ කරල. අතට ගතමන්ට් එකක් එන්න කඩ කඩ හදනවා. ඔය ගලවන ලොක්ගල් හයිප්‍රෙෂර් සෝදල අලුත් ඒවා වගේ ආයිත් ගෙනල්ල හයිකරනවා. මේවා ජාතික අපරාධ.’’ මරදාන පාරේම ආලෝක සංඥා ළඟ ට්‍රැෆික් රාලහාමිලා ගැවසෙනු දැක එතැනටද පිවිසෙන්නට අප අමතක කළේ නැත. ‘‘මේ කලර් ලයිට් එක යට අද හාරල. දැන් ලයිට් වැඩකරන්නේ වැරදියට. මේවා හාරන කොම්පැනි සබ් කන්ට්‍රෑක් දෙනවා. ඒ කොන්ත්‍රාත්කාරයෝ ටාගට් කවර් කරනවා. දැන් මේ කලර් ලයිට් එකට වෙච්ච හානියක්. ආයි ප්‍රෝගෑම් කරනවා කියන්නේ මිලියන ගාණක් යන වැඩක්.’’ මෙම මාර්ග භාවිත කරන මගීන් මේ කපා ඇති අගලකට වැටී අනතුරක් වුවහොත් වන්දි ඉල්ලා නඩුවක් දමන්නේ කාටදැයි ප්‍රශ්නාර්ථයකි. ඊටත් වඩා ඇතැම් තැන්වල ඇති හානි පැමිණුන විදුලි රැහැන් අසලින් කුඩා ළමුන් පවා නොදැන ගමන් කළේ අනතුරක් සිහිගන්වමිනි. මේ සියලු විජ්ජුම්බර අස්සේ ගිනි කාස්ටක අව්වේ මරදාන පරේ හොඳට තිබෙන පාර උඩින් නැවත කාපට් එළා තලන දසුනක් අපට දැක ගත හැකි විය. එක් මං තීරුවක් වැසීම නිසා මුළු පළාතේම වාහන තදබදයකි. මේ කාපට් දාන වැඩ රාත්‍රී කාලයේ කරන්න බැරි මන්දැයි රියැදුරන් විමසන්නේ අපෙනි. මේ තරම් වද වෙමින් මේ මාර්ග හදන්නේ මගීන් වෙනුවෙන් වුවත් කොළඹ පාරවල පාර පනින්නට එක තැනක ඇත්තේ සුදු ඉරිය. තවත් තැනක කහ ඉරිය. අවසානයේ කීමට ඇත්තේ අපේ මාර්ග ගැන ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවූයේ නොමැති නම් මුළු රටම ‘පරිහානියේ මාර්ගයේම’ ගමන් කරනු ඇති බවය. වජිර ලියනගේ  
 

More News..