brand logo

කටුපොල් වගාවට විරකන්දේ අක්කර 40ක් සුද්ද කරයි

23 July 2019

මේ වන විට කටුපොල් වගාව රජය මඟින් තහනම් කොට ඇති නමුත් කටුපොල් වගාකිරීමේ අරමුණෙන් වල්ලාවිට වීරකන්ද ප්‍රදේශයේ අක්කර 40 ක භූමි ප්‍රමාණයක් මෙරට ප්‍රසිද්ධ වැවිලි සමාගමක් විසින් හෙළි කරමින් සිටින බව වැසි වනාන්තර සුරැකින්නෝ පරිසර සංවිධානයේ කැඳවුම්කරු ජයන්ත විජේසිංහ මහතා පැවසීය. ඒ අනුව මෙම වැවිලි සමාගම විසින් එහි 843F කොටසට අයත්ව ඇති සහ උතුරින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රක්ෂිතයකට මායිමිව ඇති මෙම ජලපෝෂක වනාන්තරය ඩෝසර් සහ යාන්ත්‍රික කියත් මඟින් කපා හෙළමින් තිබේ. එමෙන්ම මෙම ක්‍රියාවේදී අවසර ගත යුතු කිසිම ආයතනයකින් අදාළ සමාගම අවසර ගෙන නොමැත. මෙම වනාන්තර හායනය හේතුවෙන් වටිනා ශාඛ මෙන්ම සතුන්ද තර්ජනයට මුහුණ දෙන බව පවසන විජේසිංහ මහතා, වීරකන්ද නාය යාමෙන් හානියට පත්වූ පවුල් සැළකිය යුතු සංඛ්‍යාවකත් පදිංචි කර ඇත්තේද මෙම ජල පෝෂකය පාමුල භූමියේ බව සඳහන් කළේය. ඒ අනුව මෙම ජලපෝෂකය කපා දැමීම මඟින් එම ප්‍රදේශය නාය යාමේ අවධානමකට පත්වන බවද කීය. එමෙන්ම පසුගිය වසර දෙකක කාලය තුළ මෙම වැවිලි සමාගම විසින් අක්කර 5 කට ආසන්න වන විනාශයක් සිදුකර ඇති බවත් එහිදී වීරකන්ද ප්‍රාථමික විද්‍යාලයට ජලය සපයන ජල මූලාශ්‍රය වටා වූ වනාන්තරයද විනාශ කොට කටුපොල් වගාකිරීම මඟින් එම පාසල් දරුවන්ගේ ජල අයිතිය උදුරාගන්නා තැනට කටයුතු කර ඇති බවත් හෙතෙම වැඩි දුරටත් පැවසීය. අප මේ පිළිබඳව එම වැවිලි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයාගෙන් කළ විමසීමකදී ඔහු මෙසේ පැවසීය. " ඒ කියන විදියට අප ජලපෝෂක ප්‍රදේශයක් එළිපෙහෙළි කරන්නේ නෑ. අපි නීති විරෝධි කිසිවක් කරන්නේ නෑ". කෙසේ නමුත් අදාළ ප්‍රදේශයේ ඉඩමක් හෙළිකරමින් තිබේදැයි අප නැඟූ පැනයට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ තේ වගා භූමියක් සුද්දකර රබර් , කටුපොල් වැනි වෙනත් වගාවකට එම භූමිය යොදා ගැනීමේ සැළසුමක් පවතින බවය. කටුපොල් වගා කිරීම සම්බන්ධයෙන් පසුගියදා අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙසේ පැවසීය. "2018 සැප්තැම්බර් 11 වැනි දින ජනාධිපති නියමයෙන් පත්කළ ජාතික ආර්ථික කොමිසම ලංකාවේ නැවත කටුපොල් වගා නොකළ යුතු බවට නිර්දේශ කර තිබෙනවා. ජාතික ආර්ථික කොමිසමේ එම තීරණය හා පරිසර අමාත්‍යංශයේ නිරදේශ නැවත කැබිනට් මණ්ඩලයට යොමු කිරීමෙන් පසු ලංකාවේ අලුතින් නැවත වගා නොකළ යුත බවට කැබිනට් තීරණයක් ගෙන තිබෙනවා" . කෙසේ නමුත් වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේද අවසර ඇතුව අමාත්‍යංශයේම අනුග්‍රහය යටතේ කටුපොල් පැළ ලබා ගනිමින් තම සමාගම වගා කටුයුත් සිදුකරන බව මේ පිළිබඳව වැඩිදුර අදහස් දැක්වූ ප්‍රධාන විධායක නිලධාරීවරයා කියා සිටියේය. මෙහි සත්‍යතාව විමසීම සඳහා අප වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ නිලධාරියෙක් සම්බන්ධ කොටගෙන පිළිතුරක් ලබා ගැනීමට උත්සහ ගත්තද එය ව්‍යර්ථ විය. ශිරන්තනි මානවඩු
 

More News..