brand logo

කටුනායක තරු හෝටල්වල හොර සාද

10 November 2020

යුක්රේන සහ ශ්‍රීලන්කන් ගුවන් සේවා කාර්ය මණ්ඩල නිරෝධායනයට ලක්කරන කටුනායක ගුවන් තොටුපොළ ආශ්‍රිත තරු පන්තියේ හෝටල්වල නීතිවිරෝධී ආකාරයෙන් සාද පවත්වා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ‘අරුණ’ට පැවැසීය. ඒ පිළිබඳ තම සංගමය සතුව සාක්ෂි පවතින බවද ඔහු කියයි. මෙම හෝටල්වලදී නිරෝධායනයට ලක්කරන ලද යුක්රේන ගුවන් කාර්යමණ්ඩල සාමාජිකයන් මගින් මෙරට කොවිඩ් රැල්ල නිර්මාණය වී ඇති බවට මේ වන විට සැක පළවී ඇත. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා පවසන්නේ මෙම සාද පැවැත්වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන ආරම්භ කරන ලෙස විමර්ශන නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි. දේශීය සහ විදේශීය ගුවන් කාර්ය මණ්ඩල නිරෝධායනය වෙනුවෙන් මෙම හෝටල්වලට මාර්ගෝපදේශ නිකුත් කර තිබුණද තම සංගමයේ සාමාජිකයන්ටද රහසින් මෙම සාද පවත්වා ඇති බව සභාපතිවරයා කියා සිටී. මේ පිළිබඳව චෝදනා එල්ල වන කටුනායක ප්‍රදේශයේ පිහිටි ‘රාමඩා’ හෝටලයේ කළමනාකාර අධ්‍යක්ෂ අශෝක ජයමාන්න පවසන්නේ මෙවැන්නකි. ‘‘හෝටලයක කොහොමද රහසිගත උත්සව සංවිධානය කරන්නෙ? ඔය චෝදනාව කරන්නෙ රජයේ වගකිව යුතු නිලධාරියෙක් නම්, ඔහු කළ යුත්තේ ජනමාධ්‍ය ඉදිරියේ සංදර්ශන පැවැත්වීම නෙමෙයි. තමන්ගේ බලය යටතේ ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමයි. අපට නිරෝධායන ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් ලැබිල තියෙන මාර්ගෝපදේශවලට අනුවයි කටයුතු කරල තියෙන්නේ’’ නයන තරංග ගමගේ
 

More News..