brand logo

කටුනායක ගුවන් හමුදා කඳවුරේ 60ක් ස්වයං නිරෝධායනයට

28 April 2020

කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදා කෝප්‍රල්වරයකුට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි හෙළිවීමත් සමග එම කඳවුරේ නිලධාරියකු ඇතුළු හැටදෙනෙකු ස්වයං නිරෝධානයට ලක්කර කඳවුරේ ගමන් බිමන් සීමා කර ඇත. ගුවන් හමුදා සංගීත කණ්ඩායමට අයත් කෝප්‍රල්වරයාට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි හෙළි වී ඇත්තේ පී.සී.ආර්. පරීක්ෂණයකිනි. නාවික හමුදා සංගීත කණ්ඩායමේ දෙදෙනකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි අනාවරණය වීමත් සමග මොහුද පරීක්ෂාවට ලක්කර ඇත.
නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායම් මෙන්ම ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායමද පසුගිය දිනවල කොළඹ මහල් නිවාස සංකීර්ණ අසල සංගීත සංදර්ශන පැවැත්වීමට ගොස් තිබේ. ඉන්පසුව රූපවාහිනි ආයතනයක් මහල් නිවාසවල සංගීත සංදර්ශන පැවැත්වූ ත්‍රිවිධ හමුදා සංගීත කණ්ඩායම් කැඳවා වැඩසටහනක් පවත්වා ඇත. එහිදී නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායම සමග වැඩසටහනට එක්වූ ගුවන් හමුදා කෝප්‍රල්වරයා හා කෝප්‍රල්වරියක පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කර ඇත. ගුවන් හමුදා කෝප්‍රල්වරයා කොවිඩ් ආසාදිතයකු යැයි හෙළිවීමත් සමග සංගීත කණ්ඩායමේ නිලධාරියකු ඇතුළු හැටදෙනෙකු ස්වයං නිරෝධායනය යොමු කළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් දුෂාන් විජේසිංහ ‘අරුණ’ට පැවැසීය. පිටත රාජකාරි සඳහා යන අය කඳවුරේ වෙනමම කොටසක රඳවා ආරක්ෂිත ක්‍රමවේද යොදා තිබූ බවත්, මේ නිසා කඳවුරේ ගමන් බිමන් සීමා කළ බවත් හෙතෙම සඳහන් කළේය.
තිස්ස රවින්ද්‍ර පෙරේරා
 

More News..