brand logo

කටුනායක ගුවන් තොටුපළ දෙවන ගුවන් මගී පර්යන්තය ඉදි කිරිම ඇරඹේ

01 August 2020

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ දෙවන ගුවන් මගී පර්යන්තය ඉදිකිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ(31) දින උදෑසන ගුවන් තොටුපළ සිල්ක් රූට් පැමිණීමේ ආලින්දයේ දී පැවැත්වූනි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන යටතේ මෙම සංවර්ධන ව්‍යාපෘතිය 2020 සැප්තැම්බර් මස ආරම්භ කර වසර 03 කින් නිමා කිරීමට සැළසුම් කර තිබේ . මෙම ව්‍යාපෘතියෙහි උපදේශකවරු ලෙස ජපාන ගුවන් තොටුපළ උපදේශක සමාගම සහ නිපෝන් කොයි උපදේශක සමාගම කටයුතු කරති . මේ සදහා මුල්‍ය අනුග්‍රහය ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය වන ජයිකා බැංකුව විසින් ජපන් යෙන් බිලියන 62 ක් ආයෝජනය කිරීමට නියමිතය . මෙහි ඉදිකිරීම් කොන්ත්‍රාත්කරු ජපානයේ තායිෂෙයි කෝපරේෂන් ආයතනයයි . මෙම ව්‍යාපෘතිය යටතේ වර්ෂයකට අමතර ගුවන් මගීන් මිලියන 09 ක් හැසිරවීමට හැකියාව ගුවන් තොටුපළට හිමි වේ . මේ නිසා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට වාර්ෂිකව ගුවන් මගීන් මිලියන 15 ක් හැසිරවීමට අවස්ථාව හිමි වේ . මෙසේ අලුතෙන් ඉදිවන දෙවන පර්යන්තය වර්ග මීටර් 180,000 ක් විශාල වේ . මෙම දෙවන පර්යන්තය ගුවන් මගී පාලම් (Piers ) 02 ක් , ඉහළට එසවූ ප්‍රවේශ මාර්ග , රථ වාහන ගමන් මාර්ග , තට්ටු කීපයකින් සමන්විත රථ නැවතුම් පළවල් , ආපනශාලා ආදියෙන් ද සමන්විත වේ . මේ අවස්ථාවේ දී ජපානයේ තායිෂෙයි කෝපරේෂන් ආයතනයේ නියෝජිතයන් අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ එරට සිට මෙම වැඩසටහනට සම්බන්ධ විය . මෙහිදී කටුනායක ගුවන් තොටුපළ ප්‍රධාන ඉංජිනේරුවරුන් , ගෘහ නිර්මාණ ශිල්පීන් මෙම දෙවන පර්යන්තයේ ඉදිකිරීම් පිළිබඳව සැළසුම් නිර්මාණ පිළිබඳව මෙන්ම නව මගී පර්යන්තය තුළ ඇති තාක්ෂණික පහසුකම් පිළිබඳව ද ඉදිරිපත් කිරීමක් ද සිදු කළහ .
 

More News..