brand logo

කටුනායක ගුවන්තොටුපලේ ඇපල් ෆෝන් හොරකම් කිරීමේ අලුත්ම ක්‍රමය

10 May 2021

විදෙස් රටවල සිට කුරියර් සේවාව මගින් මෙරටට එවන මිල අධික ජංගම දුරකතන පාර්සල් කටුනායක ගුවන්තොටුපොළේ දී සොරකම් කළ බව කියන ලොව ප්‍රමුඛතම කුරියර් සේවාවක සුපවයිසර්වරුන් තිදෙනකු ඇතුළු හයදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. මීගමුව කොට්ඨාස අපරාධ ඒකකය මගින් මෙම වැටලීම 08 වැනිදා කර තිබේ. සැකකරුවන් සමග රුපියල් ලක්ෂ තිහකට අධික වටිනාකමකින් යුත් ඇපල් වර්ගයේ ජංගම දුරකතන දාහතක් සොයාගෙන ඇත. මෙම සැකකරුවන් රුපියල් ලක්ෂ දෙකක් වටිනා දුරකතන පවා රුපියල් අනූපන්දහසකට විකුණා ඇතැයි හෙළි වී තිබේ. විදෙස් රටක සිට මෙරටට එවූ ඇපල් වර්ගයේ දුරකතනයක් කටුනායක ගුවන්තොටුපොළේ දී පාර්සලය කඩා අරගෙන ඇති බවට මීගමුව කොට්ඨාස අපරාධ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් දිසානායකට පැමිණිල්ලක් ලැබී ඇත. එම පැමිණිල්ලට අනුව අදාළ කුරියර් සමාගමේ ට්‍රැකින් පරීක්ෂණයකදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ. ගුවන්තොටුපොළේ සී.සී.ටී.වී. දර්ශන නොමැති තැනකදී පාර්සල් කඩා ජංගම දුරකතන ගෙන පාර්සල් යළි සකස් කර අදාළ ලිපිනයන්ට බෙදා දෙන බවද හෙළි වී තිබේ. මේ අනුව කළ විමර්ශනවලදී අදාළ කුරියර් සේවාවේ සුපවයිසර්වරුන් තිදෙනකු හා එම සේවාව සඳහා මෑන්පවර් සේවා සපයන සමාගමක සේවකයන් තිදෙනකුත් අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරුවන් මහනුවර, දිවුලපිටිය, මිනුවන්ගොඩ ප්‍රදේශවලට දුරකතන විකුණා තිබියදී සොයාගෙන තිබේ. අත්අඩංගුවට පත් සැකකරුවන් මිනුවන්ගොඩ, ජාඇල ඇතුළු ප්‍රදේශවල පදිංචිකරුවන්ය. අත්අඩංගුවට ගත් සැකකරුවන් මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පසු අද (10 වැනිදා) දක්වා රිමාන්ඩ් භාරයට පත් කර ඇත. තිස්ස රවින්ද්‍ර පෙරේරා
 

More News..