brand logo

කකුල් මාට්ටු නැත්නං ජාතික ආණ්ඩුවක් ආවට ප්‍රශ්නයක් නෑ - දයා ගමගේ

31 March 2019

කකුල් මාට්ටු නැත්නං ජාතික ආණ්ඩුවක් ආවට ප්‍රශ්නයක් නෑ - දයා ගමගේ ඔබට සෘජුවම අදාළ නැතත් පැය 24ම විදුලිය දෙන්න බැරි රටක් මේ ආණ්ඩුව නිර්මාණය කළා නේද? මේ රටේ නියඟය හා බලාගාරවල ගැටලු නිසා මේ මුල්වරට විදුලිය අර්බුදයක් ආවා නෙවෙයි. විපක්ෂයයි ජනතාවයි ජනමාධ්‍යයයි අද මැරිලා ඉපදිලා වගේ කතා කිරීම විහිළුවක්. 1996 පැය 12ක් විදුලිය කැපුවා මහින්ද රාජපක්ෂ ඒ ආණ්ඩුවේ ප්‍රබලයෙක්. විදුලි බල මණ්ඩලේ පසුගිය වසර 25 පුරා ගතයුතු තීන්දු අරන් නෑ. මෙවැනි අර්බුද එන්නේ හා දකුණු ආසියාවේ මිල අධිකම විදුලිය ලංකාවේ තියෙන්නේ ඒකයි. මේ නිසා කර්මාන්ත විශාල අර්බුදයකට යනවා. අපේ පසුගිය වසර 04ත් ඒ තීන්දු නොගැනීමේ වගකීම අපට භාර ගන්න වෙනවා. මොකද බලාගාරයක් ආප්ප දානවා වගේ හදන්න බෑ. වසර 05ක්වත් ගත වෙනවා. නියඟය නිසා ජල විදුලියත් අද අර්බුදයක තියෙන්නේ. ඒ නිසා ගෑස් එනම් එල්.එන්.ජී. බලාගාරයි හදන්න ඕනෑ. ඒක පරිසරයටත් හිතකාමීයි. අඩු මිලකින් ඒකකයක් හදන්නත් පුළුවන්. එවැනි ඉක්මන් බලාගාර හදන තීන්දු මේ ආණ්ඩුව නොගැනීම අඩුපාඩුවක්. ආණ්ඩුව ලොකුම ආයෝජනය බවට පාරම්බාන ඕමාන් ආයෝජනය තවත් ‘‘වොක්ස්වැගන්’’ එකක් වේවිද? ඕමාන් ඇමැති එහිදී කියා ඇත්තේ 30%ක ආයෝජනයක් ගැන සලකා බලන බව නේද? වොක්ස්වැගන් කම්හල වෙනුවට වෙනත් යුරෝපා කම්හලක් ඇති කරලා වාහන එකලස් කරන්න කටයුතු සූදානම් වෙමින් තියෙනවා. ඕමාන් හම්බන්තොට ආයෝජනයට සම්බන්ධයක් ඇත්තෙ නෑ කියලයි විපක්ෂය කිව්වේ. දැන් කියනවා ඒ ඇමැති ‘‘හයර්’’ එකට ගෙනාවද දන්නෙ නෑ කියලා. රාජපක්ෂ ආණ්ඩුවේ ඇමැතිවරු ඒ කාලෙ ‘‘හයර්’’ එකට ඔය වගේ තුට්ටු දෙකේ වැඩ කරපු බවයි රෝහිත අබේගුණවර්ධන කියනවා ඇත්තේ. හැබැයි ඔය ඕමාන් ඇමැති ඒ රටේ සල්ලි කෝටි 45ක් වංචා කරලා උසාවි එන්න කීවාම ‘‘නයා ගහපු’‘ කෙනෙක් නම් නොවන බව ඒකාන්තයි. මට හැමදාම ‘‘පොඩි හැන්දකින්’’ බෙදනවා කියල කනිපින්දම් කියපු ඔබට මෙවර ලොකු හැන්දකින් බෙදල තියෙන්නෙ. කිරිඇල්ල, ෆොන්සේකා, රංගෙ බණ්ඩාර වැනි අය නන්නන්තාරව ඇති පසු බිමක නේද? මට ලොකු වගකීමක් බාරදීලා තියෙනවා. එදා ප්‍රේමදාස මැතිතුමා වසර 02ක් තුළ ජනතාව සවිමත් කරන ‘‘ජනසවිය’’ පටන් ගත්තා. ඒත් 1994 ඉඳලා සමෘද්ධිය ගත්ත පවුල් ලක්ෂ 15න් කවුරුවත් ගොඩගිහින් නෑ. සමෘද්ධි අමාත්‍යාංශය හිසරද තැනක්. අපි මේ වසරේ තව පවුල් ලක්ෂ 06කට සමෘද්ධිය දෙනවා. දුප්පත්ම ජනතාව සවිබල ගන්වන්නට ව්‍යාපෘති 50,000ක් සැලසුම් කරලා ඉන් 20,000ක් මේ වසරේ පටන් ගන්නවා. ශ්‍රීලනිප ප්‍රමුඛ ආණ්ඩු කළේ සමෘද්ධි පහත් දේශපාලන ව්‍යාපාරයක් ලෙස පවත්වා ගනිමින් දුප්පතුන් තවත් දුප්පතුන් කරලා ඡන්දය ලබාගැනීමේ ඉතා කැත ක්‍රියාවලියක් දියත් කිරීමයි. ඒත් අපි එහෙම ජරාජීර්ණ වැඩ කරන්නෙ නෑ. දුප්පතා ඒ වළෙන් අවංකවම ගොඩදාන්නයි අපි ක්‍රියා කරන්නේ. ඔබේ ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශය හරහා කෘෂි භෝග අපනයනයෙන් රට ඩොලර්වලින් පුරවන්න කතා කළාට තාම එහෙම එකක් නොපෙනෙන්නෙ ඇයි? එහෙම මහා දේවල් පැයෙන් දෙකෙන් දවසෙන් දෙකෙන් කරන්න පුළුවන් නම් මේක දිව්‍ය ලෝකයක් වෙන්න එපායැ. ලෝකයේ ගම්මිරිස් මිල අඩු වුණත් ගම්මිරිස් වගාකරුවා මම රැකගන්න ඕනෑ. එහිදී මා යටතේ ඇති කුළුබඩු මණ්ඩලයේ සහාය අත්‍යවශ්‍යයි. ඒත් මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ඒක ශක්තිමත් කරනවට විරුද්ධ වුණා. රජයේ ආයතන තව තවත් සුදු අලි බවට පත්වෙන්න දෙන්න බෑ. කුළුබඩු මණ්ඩලය පණගන්වන්නට රුපියල් දසලක්ෂ 1000ක් නොදුන්නොත් මාස 03න් ගෙදර යනවා කියලා ඔබ තර්ජන දැම්මත් මෙවර අයවැය හෝ රජයේ බලධාරීන් හෝ ඔබට සුබවාදී ප්‍රතිචාර නොදීම තුළ ගෙදර යන්නේ කවදද කියන්න? ඒ මිලියන 1000 ලබාගන්න මට පුළුවන් වේවි කියල මම අදටත් විශ්වාස කරනවා. මොකද ගම්මිරිස් ගොවියා රැකගන්න ඒක අත්‍යවශ්‍යයි. නැත්නම් ගම්මිරිස් වගකීම මම මුදල් අමාත්‍යාංශයට භාරදීලා කිව්ව විදියටම මම ගෙදර යනවා. අපි දේශපාලනයට ආවේ රටට යමක් කරන්න මිසක් දේශපාලනය රැකියාවක් හෝ යමක් උපයා ගන්න තැනක් හැටියට හිතල නෙවෙයි. සියලු දෙනාම ඒක හිතට ගත්තොත් හොඳයි. මේ ගම්මිරිස් මාෆියාවේ ඔබත් හිටියා නේද? විපක්ෂයයි ජනමාධ්‍යයි අනිත් කවුරුත් දන්නවා ප්‍රති අපනයනය කරන්න ගම්මිරිස් ගෙනාවෙ කවුද? ඒවා කළේ කවුද කියලා. මගේ අමාත්‍යාංශයට ගම්මිරිස් ගේන්න බෑ. ගේන්න අවසරයක් දෙනවද නැද්ද තීන්දු කිරීම විතරයි මට තියෙන්නෙ. මම කිසිම අවසරයක් දුන්නෙ නෑ. ජනාධිපති අගමැති කැබිනට් එක දැනුවත් කරලා ගම්මිරිස් ප්‍රතිඅපනයනය මාෆියාවට තිත තිබ්බෙ මමයි. ගම්මිරිස් මාෆියාවයි ගස් කැපීමයි දෙකම එකම අමාත්‍යාංශයකින් කෙරෙන බව තහවුරු වී තිබියදී මීට පෙර ඇමෙරිකානු යෝජනාවකින්ද මෙවර බ්‍රිතාන්‍ය යෝජනාවකටද සම අනුග්‍රහකත්වය ලබාදී මේ ආණ්ඩුව ජිනීවාහිදී රට පාවාදුන් බවට විපක්ෂය කරන චෝදනාව මොකක්ද? රාජපක්ෂලගෙ බොරු ගොංපාට් ලෝකය ගණන් ගන්නේ නෑ. අන්තිමට ජී.එස්.පී. ප්ලස් හා යුරෝපා මාළු තහනම පවා ඇවිත් වසරකට ඩොලර් බිලියන ගණන් ලංකාවට නැති වුණා. ඒවා යළි ලබාගත්තෙ අපියි. සංචාකරයො හා ආයෝජකයො පවා මේ රටට නොඑවන අනතුරක් තිබුණා. අපි ඒවත් බේරගත්තා. මෙවර බ්‍රිතාන්‍ය යෝජනාවෙන් අපේ රටට කිසිම හානියක් නෑ. කරදරයක් නැතිව අපට වැඩ කරගෙන යන්න තව වසර 02ක් ජිනීවාවලින් ලංකාවට ලැබීම ජයග්‍රහණයක්. විපක්ෂයේ බොරු හා මඩවලට ප්‍රසිද්ධිය දීලා ජනමාධ්‍ය රට වනසන්න එපා කියන ඉල්ලීමයි ජනමාධ්‍යයෙන් අපි කරන්නෙ. වෙනදා ආණ්ඩුවේ මැති ඇමැතිවරු එක්ක පවා සුහද නොවන එජාප නායකත්වය දැන් ඉතා ජනතාවාදී හා සුහද චරිතයක්වීම එජාපෙ ජනපති අපේක්ෂකයා කවුදැයි රටට කියන සංඥාවක් නේද? එජාප අපේක්ෂකයා ගැන ඔබට සාත්තර කියන්න පුළුවන් වුණාට මට එහෙම හැකියාවක් නැහැ. ඒක පක්ෂයේ කණ්ඩායම කෘත්‍යාධිකාරිය හා එජාපෙ නායකයන් තීන්දු කරාවි. දැන් තමයි අගමැතිතුමාට කකුල් මාට්ටු නැතිව වැඩ කරන්න ලැබිල තියෙන්නේ. අපේ සැලසුම් වෙනදාට වඩා වේගයෙන් ඉදිරියට යනවා. ඊට අගමැතිතුමා නායකත්වය දෙනවා. ඒකයි එතුමා වෙනදාට වඩා කැපිල පේන්නේ. පොහොට්ටුවේ ජනපති අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් ඔක්තෝබර් 26 මහා කුමන්ත්‍රණය සිදු කොට දැන් එය ඉටු නොවන පසුබිමක ශ්‍රීලනිපය යළිත් ජාතික ආණ්ඩුවක් සඳහා එජාපය දෙසට තල්ලු වීම ගැන ඔබේ විග්‍රහය කෙබඳුද? මං ඕකට උත්තර දෙන්න එච්චර ආස නැහැ. ජාතික ආණ්ඩුවක් ආවට මට ප්‍රශ්නයක් නෑ. ඒත් පරණ කකුල් මාට්ටු සෙල්ලම් දාන ජාතික ආණ්ඩුවකට මම නෙවෙයි. මේ රටේ කිසි කෙනෙක් එකඟ නෑ. ආණ්ඩුවට ගන්න ඕන අපි එක්ක හදවතින්ම එකට වැඩ කරන්න කැමැති අය විතරයි. මොකද රෑ වැටුණු වළේ අපි යළිත් දවල් වැටෙන්න සූදානම් නෑ. පරණ ජාතික ආණ්ඩු සෙල්ලමට නම් අායිත් අපිත් එක්ක බෑ. පොහොට්ටුවෙන් ගෝඨා ආවොත් දකුණේ දිස්ත්‍රික්ක ඔහුට හෝදල යන බව ඔබ පිළිගන්නවාද? ඔහු ආවොත් එජාප ජය ඉතා පහසුයි. ඔබ එහෙම කියන්නෙ ඇයි? එහෙම කියන්නෙ මම ඒක හොඳටම දන්න නිසයි. එහෙම බැහැ. ඔබ ඊට හේතු දක්වා පුළුල් විග්‍රහයක් කර ඔප්පු කළ යුතුයි නේද? රාජපක්ෂ පවුලේම කෙනකුට අපේක්ෂකත්වය ගියොත් එතැන පිපිරීමක් වෙනවාමයි. ඊළඟට ගෝඨාභය ආවොත් සුළු ජාතික ඡන්ද ලැබෙන්නෙම නෑ. අපේ ආණ්ඩුව ඇති කළ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදයට ආදරේ දකුණේ කිසි කෙනෙක් යළිත් සුදුවෑන්, පැහැර ගැනීම්, ජනමාධ්‍ය ගිනි තැබීම්, බලෙන් ඉඩම් අත්පත් කර ගැනීම්, මිග් හෝ සොහොන් වංචාවලට කැමැති නෑ. කෙටියෙන්ම එච්චරයි. ඕන නම් තව පැය ගණන් ඒ ගැන කතා කළ හැකියි. තම හමුදා මූලස්ථානය සින්නක්කරව පිටරට හෝටල්වලට විකුණපු ඇමෙරිකානු පුරවැසියෙක් මේ රටේ ජනපති කරන්න ජනතාවට ඔල්මාද ඇති කියල මම හිතන්නෙ නෑ. අශෝක ජයතුංග
 

More News..