brand logo

කකුලක් කපා දරුවෙක් මැරුවැයි සාෆිට තවත් නඩුවක්

07 February 2020

මව්වරුන් වඳභාවයට පත් කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල රෝහලේ සේවයේ නියුතුව සිටි වෛද්‍ය සාෆි ෂෙහාබ්දීන්ට එරෙහිව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩු විභාගයට අදාල වෛද්‍යවරයා විසින් ඔහුගේ නිවසේ භාවිතාකල සීසීටීවී දර්ශන ඇතුළත් DVR යන්ත්‍රය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල් 44895 (සිල්වා) විසින් ඊයේ( 7) කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා වෙත ඉදිරිපත් කරන ලදී. පසුගිය නඩු විභාගයේදී අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් අනුව වෛද්‍ය සාෆි ෂෙහාබ්දීන් ගේ නිවසේ භාවිතා කළ DVR යන්ත්‍රය නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස කළ ඉල්ලීම හේතුවෙන්ම එම යන්ත්‍රය සාෆි වෛද්‍යවරයා විසින් පසුගිය දිනක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නැවත භාරදී තිබුණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද මෝසමක් අනූව සාෆි වෛද්‍යවරයා අධිකරණයට කැඳවා තිබුණි. මෙහිදී මෙම DVR යන්ත්‍රයේ ගබඩා කර තිබූ දත්ත මැකී ගොස් තිබෙන බවත්, එම දත්ත නැවත ලබා ගැනීම සඳහා රස පරීක්ෂකවරයාගේ රස පරීක්ෂක වාර්තාවක් ලබාගැනීමට නියෝග කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි අතර, එම ඉල්ලීමට අධිකරණයේ අනුමැතිය ලබා දෙන ලදී. තවද,සාෆි වෛද්‍යවරයා කුරුණෑගල රෝහලේ සේවයේ නියුතු කාලයේදි මව්වරුන්ගේ සීසේරියන් සැත්කම් කරන අතරතුරදී එක් මවක් අවසරයකින් තොරව එල්. ආර්. ටී. සැත්කමකට භාජනය කිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව වෙත වාර්තාවක් ඉදිරිපත් කර තිබෙන බවත්, HSG පරීක්ෂණයක් සඳහා කුලියාපිටිය ශීක්ෂණ රෝහලට ඉදිරිපත් කිරීමට අධිකරණයෙන් නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලීය. ඒ සඳහා අධිකරණයේ අවසරය ලැබුණි. යුක්තිය උදෙසා මව්වරුන්ගේ සංවිධානයේ කැඳවුම්කරු නිතිඥ නිලුෂි උයන් වත්ත අධිකරණය හමුවේ කියා සිටියේ වැල්ලව, රිකිල්ල ගමුව යන ලිපිනයේ පදිංචි 33 හැවිරිදි හා තුෂාරි මංගලිකාට තුන්වැනි දරුවා ඉපදී දින තුනකින් සිදුවූ මරණය සම්බන්ධව වගකීව යුතු අයෙකු ලෙස වෛද්‍ය සාරි ෂෙහාබ්දීන් වගකිව යුතු අයකු ලෙස සැකකරන බවයි. මියගිය දරුවාගේ එක් කකුලක දරුණු කැපුම් තුවාලයක් තිබුණ බවත්, එනිසා මෙම මරණය පිළිබඳව සැකයක් ඇති වන බවත් මෙතෙක් කල් විධිමත් පරීක්ෂණයක් සිදු වී නොමැති බවත්, මෘතදේහය නැවත ගොඩගෙන විධිමත් පරීක්ෂණයක් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින බව පැවසුවාය. එහිදී ප්‍රධාන, මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර සිටියේ මෙම නඩුවට එම කාරණා අදාළ නොවන හෙයින් වෙනම නඩු කටයුත්තක් ලෙස නඩුවක් ගොනු කරන ලෙසත් , වෙනම පැමිණිල්ලක් කරන ලෙසටත් ය. නැත්නම් මෙම නඩුවට තවත් කරුණු එකතු වීමක් පමණක් සිදුවන බවත් මහේස්ත්‍රාත්වරයා පැවසූහ. නීතිඥ නිලුසි උයන් වත්ත වැඩිදුරටත් අධිකරණය හමුවේ පැවසුවේ මෙම සිද්ධිය සම්බන්ධ පැමිණිල්ලක් කර ඇති අතර පරීක්ෂණ කටයුතු විධිමත්ව සිදු නොවූ බවත්ය. මව්වරුන්ගේ පාර්ශවය වෙනුවෙන් යුක්තිය උදෙසා මව්වරුන්ගේ සංවිධානයේ ලේකම් නීතිඥ සමන් බණ්ඩාර දිසානායක මහතාද අධිකරණය හමුවේ පෙනී සිටියේය. නැවත නඩු විභාගය මාර් තු 17 වැනිදා කැඳවන බව ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා දැන්වූහ. මල්ලවපිටිය - අනුර ජයන්ත දිසානායක
 

More News..