brand logo

කංජිපානි ඉම්රාන් සැප්. 09 අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝගයක්

05 September 2019

මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවකු නිදහස් කරන ලෙස කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකුට විදේශයක සිට දුරකතන මගින් තර්ජනය කළේ යැයි සැකකෙරෙන දැනට සිර දඬුවම් විදින පතාල කල්ලි නායකයෙකු බව කියන කන්ජිපානි ඉම්රාන් නමැත්තා ලබන 09 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (05) බන්ධනාගාර කොමසාරිස් වරයාට නියෝග කළාය. කෙසෙල් වත්ත පොලිසිය විසින් කරනු ලැබූ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී. කෙසෙල්වත්ත පොලිසිය අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් පසුගිය කාලයේ කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ සගයකු බව කියන කේමදාසන් තුෂාන්තන් හෙවත් සුසන්ත නැමති අය හෙරොයින් මත්කුඩු ග්‍රෑම් විස්සකට අධික සංඛ්‍යාවක් සමග කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබූ බව සඳහන් කර තිබේ. එම වකවානුවේ විදේශගතව සිටි කංජිපානි ඉම්රාන් දුරකථන මාර්ගයෙන් එම වැටලීමට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තර්ජනය කරමින් තම සගයා මුදාහරින ලෙස බලපෑම් කර ඇති බවත් එම නිලධාරීන්ට පරුෂ වචනවලින් බැන වැදී ඇති බවත් පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කර තිබේ. එම සිද්ධිය සැකකරුවකු ලෙස දැනට සිරදඬුවම් විඳින කංජිපානි ඉම්රාන් නම්කර ඇති හෙයින් ඔහු අධිකරණය හමුවට කැඳවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද පොලිසිය ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ගෙන් ඉල්ලීමක් කළේය. එම ඉල්ලීම පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් දැනට සිරදඬුවම් විඳින කංජිපානි ඉම්රාන් ලබන 09 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර කොමසාරිස් වරයාට නියෝග කළාය. ගංජා කිලෝග්‍රෑම් 5.3 ක් සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරද පිළිගත් කංජිපාන් ඉම්රාන්ට කොළඹ මහාධිකරණය විසින් ඉකුත්දා බරපතළ වැඩ සහිත වසර හයක සිර දඬුවම් නියම කර තිබුණි. අධිකරණ වාර්තාකරු
 

More News..