brand logo

ඖෂධ සැපයුම විධිමත් කිරීමට ජනපතිගෙන් උපදෙස්

22 May 2020

ජනාධිපතිවරයා ඊයේ (21 වැනිදා) ජනාධිපති කාර්යාලයේදී රාජ්‍ය ඖෂධ සංස්ථා දෙකෙහි සභාපතිවරු සමග ඖෂධ නිෂ්පාදනය, ආනයනය හා බෙදාහැරීම පිළිබඳව සාකච්චඡාවක නිරත විය. රට තුළ ඖෂධ සැපයුම සකස්වී ඇති ආකාරය පිළිබඳ ජනාධිපතිවරයා රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේනගෙන් විමසීය. ඔහු එම සැපයුම ක්‍රම තුනකට සිදුවන බව කීවේය. ඒ රාජ්‍ය අංශයේ නිෂ්පාදන, පෞද්ගලික අංශයේ නිෂ්පාදන සහ දෙඅංශයම කරන ආනයන වශයෙනි. රට තුළ ඖෂධ වර්ග 750ක් පමණ භාවිත වන බවත්, ආනයනයේදී ප්‍රසම්පාදන ක්‍රියාවලියට මාස කීපයක් ගතවන බැවින් ඇතැම් විට හිඟයක් ඇති වන බවත් සභාපතිවරයා කීවේය. ඖෂධ සැපයුමේ කිසිදු හිඟයකට ඉඩ නොතබන්නැයි උපදෙස් දුන් ජනාධිපතිවරයා කලින් වසරේ ඉල්ලුම් රටාව අධ්‍යයනය කොට ඊළඟ වසරේ ඖෂධ අවශ්‍යතාව තීරණය කළ යුතු බවද පැවසීය. අතරමැදියන් කිහිප දෙනකුගේ ලාභය නොව ජනතාවගේ පාර්ශ්වයෙන් බලා ඖෂධ නිෂ්පාදනය සහ සැපයුම විධිමත් කළ යුතු යැයිද ජනාධිපතිවරයා පැවසීය. රෝහල්වලට අවශ්‍ය ඖෂධ වර්ග 80ක් තම ආයතනය නිෂ්පාදනය කරන බව සඳහන් කළ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ සේලයින් ඇතුළු තවත් බොහෝ වෛද්‍ය සැපයුම් දේශීයව නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බවද පැවසීය. එමගින් වසරකට රුපියල් කෝටි 130ක් පමණ ඉතිරි කර ගැනීමට හැකි වෙතැයි ඔහු කීවේය. සේවක අර්ථ සාධක අරමුදල සහ සමෘද්ධි ව්‍යාපාරය සතු මුදල් ඖෂධ නිෂ්පාදනයට ආයෝජනය කිරීමේ ඉඩ කඩ පිළිබඳව මෙහිදී සාකච්ඡා කළේය. එවැනි ක්‍රමයක් සකස් කළහොත් මේ අරමුදල් දෙකට ස්ථිර ආදායමක් විවෘත වනු ඇතැයිද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.    
 

More News..