brand logo

ඕස්ට්‍රේලියාවේදී සම්මාන දිනූ ලංකාවේ රස සුවඳ

08 August 2019

"සුවඳ" සුවඳක්ම නොව අනන්‍යතාවයක්ද වේ. ඒ නිසා සුවඳ යනු ස්මරණයට දොර විවර කරන්නාද වේ. සුවඳ විවිධාකාරය. ඒ අතරේ මේ කතා කරන්න සූදානම් වන්නේ රස නහර පිනවූ සුවඳක් ගැනය. ශ්‍රී ලාංකේය අනන්‍යතාව කියන ඒ සුවඳ හමන්නේ අපේ මුළුතැන්ගෙයිනි. අද එය ඕස්ට්‍රේලියාවටද දැනෙනවා පමණක් නොව ඒ රස සුවඳ ඉහළින් ඔසවා තැබීමටද අපේ රටේ දිරිය කාන්තාවකට හැකිවිය. ඇය නමින් සිතාරා රාජකරුණාය . පසුගියදා ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නගරයේ පැවති The city awards 2019 තරඟයේදී ඇය The best dining experience කාණ්ඩය යටතේ සම්මානයට පාත්‍ර වූවාය. ඕස්ට්‍රේලියාවේ මැසෙන්ජර් ප්‍රකාශකයන්, ද ඇඩ්වර්ටයිස්ර් පුවත්පත සහ බිස්නස් සවුත් ඕස්ට්‍රේලියා නම් ආයතන තුන එක්ව The city awards 2019 නමින් සම්මාන උළෙලක් පසුගියදා ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නගරයේදී පැවැත්විය. නගරයේ සංචාරක ආකර්ෂණය වැඩි කර ගැනීම මෙන්ම ව්‍යාපාරික ප්‍රජාව දිරිමත් කිරීම මෙම සම්මාන උළෙල පැවැත්වීමේ ප්‍රධාන අරමුණ විය. වෙනස්ම රටකදී ව්‍යාපාරික ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයක් තුළ ලැබූ මේ ජයග්‍රහණය ගැන ඇය අපට කීවේ මෙසේය. “ශ්‍රී ලාංකිකයෙක් විදියට මේ ජයග්‍රහණය මට ලොකු ආඩම්බරයක් . මම තරඟ කළේ මේ නගරයේ අවුරුදු 20 ක් 30 ක් පැරණි බලවත් ව්‍යාපාරික නම් එක්ක. මම Coconut estate eatery නමින් මේ අවන්හල පටන් ගත්තේ මාස 8 කට කලින්. මෙතැනින් තමයි මම බිස්නස් කියනදේ ඉගෙන ගත්තේ. නැත්නම් මම සූපවේදිනියක් විතරයි. මම පොඩි තැනකින් ආපු කෙනෙක් . ඕස්ට්‍රෙලියාවට ඇවිත් අවුරුදු අටක් වෙනවා. පිට රටක වෙන භාෂාවක් කතා කරන පිරිසක් සමඟ තරඟ කරලා ලැබූ ජයග්‍රහණය වගේම කාන්තාවක් විදියට මේ ලැබුණු දේවල් වචනෙන් විස්තර කරන්න බෑ. මේක මගේ හැකියාව වගේම පෙර පිනක්”. ශ්‍රී ලාංකේය රසය කාලයට ගැලපෙන විදියට ඕස්ට්‍රේලියානුවන්ට හඳුන්වාදීමක් ලෙස ඇය මෙම අවන්හල ගැන කියයි. ප්‍රණීත Egg bennedict වල පාන් වෙනුවට සිතාරා එක් කරන්නේ පොල් රොටියකි. කුරුම්බා ගෙඩිය පිළිගන්වද්දි ලස්සනට මලක් ගසයි. එය වෙනස්ය. ඇය ලංකාවේ රසයට ඕස්ට්‍රේලියාවේ රසය එක් කරමින් අලුත් සංකල්පවලට යන්නීය. “ මගේ හිතේ දේදුණු වර්ණ තියෙන්නේ. ඒකත් එක්ක ධනාත්මක සිතුවිලිවලින් මගේ මනස පිරෙනවා. ආහාරයේ රසය වගේම පිළිගන්වන විදියත් ඉතාම වැදගත්. ඒ කරුණු දෙකම ඉහළ මට්ටමක පවත්වාගෙන යාම තමයි මගේ අවන්හලේ සැබෑ වෙනස වුණේ”. ඇය පද ගලපන්නීය මේ අවන්හල විවෘත වන්නේ දහවල් කාලයේ පමණි. ඕස්ට්‍රේලියාවේ වෙනත් ප්‍රාන්තවලින් පවා පිරිස් ඇගේ අවන්හලට ඇදෙති. ඉර නැගෙද්දී පනහ හැට ඇදුණු පෝලිමකට සංග්‍රහ කරන්න ඇගේ කාර්ය මණ්ඩලයේ පහළොස්දෙනෙකු සිටී. ලංකාවේ අය මෙන්ම ඕස්ට්‍රේලියානුවන්ද ඒ අතර වේ. භාෂාව හේතුවෙන් ඉදිරිපස සිටින්නේ ඕස්ට්‍රේලියානුවන්ය. ලංකාවේ රසය දන්න ශ්‍රී ලාංකිකයින් ඉන්නේ මුළුතැන්ගේය. මීට වසර අටකට පමණ ඉහතදී ඇය ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූයේ උසස් අධ්‍යාපනය හැදෑරීමට වන අතර ඇගේ විෂය වූයේ ගිණුම්කරණයයි . නමුත් විෂය මාරු කර Commercial Cookery Hospitality Management විෂයට මාරු වුණේ දෛවෝපගතව බව ඇය කියන්නීය. මේ පාඨමලාව සාර්ථකව නිමා කිරීමත් සමඟ ලොව සුපතල සූපවේදීන් වන ජෙමී ඔලිවර් , රන්ගනී ඩේ වැනි ප්‍රවීණයන් සමඟ වැඩ කිරීමට ඇයට අවස්ථාව ලැබීණි. “ජෙමී ඔලිවර් මහත්මයා සමඟ වැඩ කරද්දි මට ගොඩක් නිර්මාණශීලි වෙන්න අවස්ථාව හැදුනා. එතැනදි මම හිතාගත්තා මගෙම තැනක් කවදා හරි ආරම්භ කරනවා කියලා. මම ඕස්ට්‍රෙලියාවේ වගේම වෙනත් රටවලත් අවන්හල්වලට යද්දි ඒ හැම එකකින්ම දෙයක් ඉගෙන ගත්තා. මේ තැනට එන්න අවුරුදු 5 ක් විතර සැලසුම් කරා”. මේ අතර ඇය පසුගියදා ලංකාවේ ස්ථාන කිහිපයකට එල්ලවූ පාස්කු ප්‍රහාරයේදී කම්පාවට පත් අගතියට පත් පිරිස වෙනුවෙන් තම අත හිත දුන්නාය. එතැනදි විශේෂ ශ්‍රී ලාංකේය ආහාර වට්ටෝරුවක් සකසා එය ඩොලර් 28 කට අලෙවි කළ ඇය පසුව ඒ සියලු මුදල් කොළඹ සහ මීගමුව පල්ලිවලට ලබා දුන්නාය. දුර ඈතක හිටියත් රට ගැන දැනෙන හැඟිම ඇය වචන වලට පෙරළුවේ මෙහෙමයි. “හොඳ බෞද්ධයෙක්. මේක මගේ හිතයට වැදුණු අවස්ථාවක්. අපි මේ රටේ හොඳින් ඉන්නවා. ඉතින් අවශ්‍ය ඕනම වෙලාවක අපි අපේ ලංකාව වෙනුවෙන් පෙනී සිටිනවා”. කුරුණෑගල ඉපිද පහ සමත් වූ ඇය මහනුවර පුෂ්පදාන බාලිකාවට ගියේ සූපවේදිනියකගේ සිහින දකිමින් නොවේ. ඒ සුන්දර නුවර සොඳුරු පාසලේ ඇය සිටියේ නේවාසිකාගාරයේ. අද සූපවේදිනියක් වුණාට එදා නිකමටවත් ඇයට උයන්න අවස්ථාවක් නම් ලැබුණේ නැත. ඇගේ ස්වාමියා, දරු දෙදෙනා ,සහෝදරිය, කාර්ය මණ්ඩලය සහ මාපිය ආශිර්වාදය ඇගේ සවිය වන බව ඇය පවසන්නීය. හීන නොදකින්නේ කවුද? සෙමින් ගමනක් යන ඇය ඇගේ හීනය ගැන මෙසේ කියයි. “තාම බිස්නස් ඉගෙන ගන්නවා. සල්ලි පස්සේ යන්නේ නෑ. ඕස්ට්‍රේලියාව වගේ රටක අවන්හලක් කරනවා කියන්නේ සල්ලි ලොකුවට හම්බ කරන්න පුථුවන් දෙයක් නෙවෙයි. හිතේ සතුට වගේම මගේ ආශාව මේක. ඒ නිසා කවදහරි ලංකාවෙත් අවන්හලක් ආරම්භ කිරීම මම දකින ලස්සන හීනයක්”.. ශිරන්තනි මානවඩු
 

More News..