brand logo

ඕමන්ත පැරණි යුද හමුදා මුරපොළෙන් බිම් බෝම්බ මතුවෙයි

17 July 2019

වව්නියාව, ඕමන්ත, පැරණි යුද හමුදා මුරපොළ පැවති ස්ථානයේ ඉඩමක තිබී බිම් බෝම්බ තොගයක් අද (16) සොයාගත් බව වව්නියාව ඕමන්ත පොලිසිය පවසයි. පොලිසිය පැවසුවේ අදාළ ඉඩම වගාවන් සඳහා සකස් කරමින් සිටියදී බිම් බෝම්බ මතුව ඇති අතර, ගෙහිමියා අනතුරුව පොලිසිය දැනුවත් කොට ඇති බවයි. බිම් බෝම්බ හතක් අදාළ ඉඩමේ තිබී සොයාගෙන ඇති අතර තවත් බෝම්බ පවතින්නේද යන්න සොයා පරීක්ෂණ පවත්වන බවද පොලිසිය සඳහන් කළේය. රට තුළ පැවති යුද වාතාවරණය හේතුවෙන් 1992 වසරේ වව්නියාව, ඕමන්ත ප්‍රදේශයේදී රජයේ ආරක්ෂක හමුදාවන් ඕමන්ත ආරක්ෂක මුරපොළ ස්ථාපිත කළේ එහි සිවිල් ජනතාවට අයත්ව තිබූ ඉඩම් පවරා ගනිමිනි. යුද්ධය නිමාවීමෙන් අනතුරුව 2017 වසරේදී වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් එවක වව්නියාව දිස්ත්‍රික් ලේකම්වරයා වෙත ඕමන්ත යුද හමුදා ආරක්ෂක මුරපොළ හා භාණ්ඩ පරීක්ෂා කිරීමේ ස්ථානය සඳහා පවරාගෙන තිබූ ඉඩම් නැවත පවරාදෙනු ලැබීය. 2017 වසරෙන් අනතුරුව අදාළ ඉඩම්ව මුල් පදිංචිකරුවන් ඕමන්ත පැරණි යුද හමුදා මුරපොළ පැවති ස්ථානයේ නැවත පදිංචි විණි. නැවත පදිංචි ජනතාව අදාළ ඉඩම්වල මේ වන විට භෝග වගා කිරීම සිදුකරන අතර, ඉඩමක වගාවන් වෙනුවෙන් බිම සකස් කරන අවස්ථාවේදී එහි තිබී මෙමබෛ්ම්බ හමුවූ බව ප්‍රදේශවාසීන් පැවසූහ. ප්‍රදේශවාසීන් තවදුරටත් පැවසුවේ බිම් බෝම්බ ඉවත් කළ බව සහතික කර තමන් වෙත පැවරූ ඉඩම්වල ඇතැම් අවස්ථාවලදී බිම් බෝම්බ ඇතුළු පුපුරන ද්‍රව්‍ය හමුවන බවයි. යුද සමයේ ඕමන්ත ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් යුද හමුදා ආරක්ෂක මුරපොළක් මෙන්ම එල්ටීටීඊ සංවිධානයේ ආරක්ෂක මුරපොළක් පැවති අතර, එකල උතුර හා දකුණු ප්‍රදේශ වෙන්වීමේ සීමාව ලෙස ඕමන්ත ප්‍රදේශය හඳුන්වනු ලැබීය. පොලිසිය පැවසුවේ සොයාගත් බෝම්බ සම්බන්ධයෙන් වව්නියාව මහෙස්ත්‍රාත් අධිකරණය දැනුවත් කොට අධිකරණ නියෝග යටතේ බෝම්බ නිශ්‍ක්‍රීය කිරීමට නියමිත බවයි. සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි. මාධව කුලසූරිය-වව්නියාව
 

More News..