brand logo

ඔස්ට්‍රේලියාව පහසුවෙන්ම ඉතිහාසය වෙනස් කරයි

31 October 2019

ඊයේ (30 දා) බ්‍රිස්බේන්හි පැවැති දෙවැනි විස්සයි විස්ස තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් ලැබූ ඔස්ට්‍රේලියාව සිය සත්කාරකත්වය යටතේ පළමු වරට ශ්‍රී ලංකාවට එරෙහිව විස්සයි විස්ස තරගාවලි ජයක් වාර්තා කිරීමට සමත්විය. ඒ අනුව තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම 2-0ක් ලෙස තරගාවලි ජය තහවුරු කර ගැනීමට ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ට හැකි විය. ඔස්ට්‍රේලියානු ඉනිමේ තුන්වැනි පන්දුවේදී ලකුණු ලබා ගැනීමට පෙර නායක එරන් ෆින්ච්ව දවාගැනීමට ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංගට හැකිවිය. නමුත් එතැන් පටන් තවත් එකදු කඩුල්ලක් හෝ ශ්‍රී ලංකාවට නොදී පීඩනයකින් තොරව දෙවැනි කඩුල්ලට ලකුණු 117ක සබඳතාවක් දැක්වූ ඩේවිඩ් වෝනර් සහ ස්ටීවන් ස්මිත් ඔස්ට්‍රේලියානු ජය තහවුරු කළේය. මේ තරගාවලියේ පිට පිට දෙවැනි වතාවටත් තරගයේ වීරයා වීමට ඩේවිඩ් වෝනර් සමත් වූයේ නොදැවී ලකුණු 60ක් රැස්කර ගනිමිනි. පන්දු 41ක් වැය කරමින් සිය 14වැනි අර්ධ ශතකය කරා පිත්ත හැසිර වූ වෝනර්ගේ එම ලකුණු සංඛ්‍යාවට හතරේ පහර 9ක් අන්තර්ගත වී තිබුණි. පන්දුව පලුදු කිරීමේ සිද්ධියෙන් දඩුවම් ලැබීමෙන් පසුව සිය රටේදී පළමු වතාවට විස්සයි විස්ස තරගයකදී පිත්ත හැසිරවූ ස්ටීව් ස්මිත් හතරේ පහර හයක් සමගින් පන්දු 36කදී නොදැවී ලකුණු 53ක් රැස්කරගත්තේය. එය ඔහුගේ විස්සයි විස්ස දිවියේ 3වැනි අර්ධ ශතකය විය. මෙම තරගාවලියේ පිට පිට දෙවැනි වතාවටත් කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයා ඊයේ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තේය. ඒ අනුව පළමු තරගයේදී සේම මෙම තරගයේදී ආරම්භක පිතිකරු යුගලය වශයෙන් ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් පිටියට පැමිණියද ඔවුන්ගේ පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 5කට සීමා විය. පන්දුවට පහරදෙමින් සිටි ධනුෂ්කගේ ඇරයුමෙන් නොතිබූ ලකුණක් උදුරා ගැනීමට ගොස්, එය ව්‍යර්ථ වූ කළ ආපසු තමන් සිටි පන්දු යැවීමේ අන්තය බලා යාමේදී කුසල් මෙන්ඩිස් දුවද්දී දැවී යාමකට හසු වූයේය. පළමු තරගයේ ලකුණු ලබා ගැනීමට පෙර දැවී යාමට හසු වූ මෙන්ඩිස්ට ඊයේ රැස්කරගත හැකි වූයේ ලකුණු 1ක් පමණි. විස්සයි විස්ස තරග රටාවේ අවසන් තරග 10දී මෙන්ඩිස් රැස්කරගෙන තිබෙන්නේ ලකුණු 140ක් පමණි. එහි ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 14කි. එම තරග 10 අතුරෙන් ලකුණු නොලබා දැවී යාම් දෙකක් සහ ලකුණු එකක් ලබා සිටියදී දැවී යාම් තුනක් සටහන්ව තිබේ. ඒ අතර ලකුණු 4ට දැවී යාමේ අවස්ථාවක්ද සටහන් වද්දී, එහි මෙන්ඩිස් විසින් ඉනිමක රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ 79කි. ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන් හමුවේ අන්ද මන්ද වී සිටි ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන්ට සිය ඉනිමේ පළමු හතරේ පහර වාර්තා කිරීමට පන්දුවාර 3කුත් පන්දු 2ක් බලා හිඳීමට සිදු විය. ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනියට වැඩිම ලකුණු රැස්කළ ධනුෂ්ක ගුණතිලක පන්දු 22කදී හයේ පහරක් සහ හතරේ පහර දෙකක් සමගින් ලකුණු 21ක් රැස්කර ගත්තේය. භානුක රාජපක්ෂ, ඕෂධ ප්‍රනාන්දු, කසුන් රාජිතව බංකුවේ තබමින් අවිශ්ක ප්‍රනාන්දු, නිරෝෂන් දික්වැල්ල සහ ඉසුරු උදාන කණ්ඩායමට එක්ව සිටියේය. එම ක්‍රීඩක ආදේශනයන් සමගින් ඊයේ තරගයේ ආරම්භක පිතිකරුවන් වශයෙන් ශ්‍රී ලංකා පිල නියෝජනය කළ ක්‍රීඩකයින් 5 දෙනෙක් කණ්ඩායමට ඇතුළත්ව සිටියේය. පාකිස්තානයේදී සාර්ථක සංචාරයක් අවසන් කරමින් ඔස්ට්‍රේලියානු තරගාවලිය හා එක්වුණු භානුක රාජපක්ෂ සහ ඕෂධ ප්‍රනාන්දු වෙනුවට කණ්ඩායමට එක් වූ අවිශ්ක ප්‍රනාන්දු සහ නිරෝෂන් දික්වැල්ලට රැස්කරගත හැකි වූයේ ලකුණු 17ක් සහ 5ක් වශයෙනි. ශ්‍රී ලංකා පිලේ ලකුණු 53කදී කඩුලු 3ක් දැවී පවතින මොහොතක පිටියට පිවිසි කුසල් පෙරේරා යම් වේගවත් පිති ප්‍රහාරයකට සූදානම් වුවද, ඇෂ්ටන් ආගර් එවූ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් 6 වැනි කඩුල්ල වශයෙන් පිටියෙන් ඉවත් විය. ඒ වනවිට පන්දු 19කට මුහුණ දී සිටි පෙරේරා හයේ පහරක් සහ හතරේ පහර දෙකක් සමගින් ලකුණු 27ක් රැස්කරගෙන සිටියේය. ලකුණු සටහන ශ්‍රී ලංකාව පන්දුවාර 19 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 117යි. (ධනුෂ්ක ගුණතිලක 21, කුසල් මෙන්ඩිස් 1, අවිශ්ක ප්‍රනාන්දු 17, කුසල් පෙරේරා 27, නිරෝෂන් දික්වැල්ල 5, දසුන් ශානක 1, වනිඳු හසරංග 10, ඉසුරු උදාන 10, ලක්ෂාන් සඳකැන් 10, ලසිත් මාලිංග 9, නුවන් ප්‍රදීප් (නොදැවී) 2, බිලී ස්ටැන්ලේක් 2/23, පැට් කමින්ස් 2/29, ඇෂ්ටන් ආගර් 2/27, ඇඩම් සම්පා 2/20) ඔස්ට්‍රේලියාවපන්දුවාර 13කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 118 යි. (ඩේවිඩ් වෝනර් (නොදැවී) 60, එරන් ෆින්ච් 0, ස්ටීව් ස්මිත් (නොදැවී) 53)
 

More News..