brand logo

ඔස්ට්‍රේලියාව අද දිනුවොත් වාර්තාවක්

30 October 2019

සත්කාරකත්වය දරමින් පළමු වතාවට ශ්‍රී ලංකාවට එරෙහිව විස්සයි විස්ස තරගාවලි ජයක් ලැබීමට අපේක්ෂාවෙන් සිටින ඔස්ට්‍රේලියාව දෙරට අතර පැවැත්වෙන දෙවැනි විස්සයි විස්ස තරගයට අද (30වැනිදා) බ්‍රිස්බේන්හිදී සහභාගි වේ. දිවා - රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 1.40ට පැවැත්වීමට නියමිතය. ඔස්ට්‍රේලියාව මෙම තරගාවලිය ජයගතහොත් විස්සයි විස්ස ශ්‍රේණියේ 5 වැනි ස්ථානයේ සිට 4 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයක් ඉදිරියට පැමිණීමේ අවස්ථාව වේ. යම් හෙයකින් අද පැවැත්වෙන දෙවැනි තරගය සහ තුන්වැනි තරගය ජය ගනිමින් 2-0ක් ලෙස තරගාවලි ජය තහවුරුකර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුවහොත් පස්වැනි තැන සිටින ඔස්ට්‍රේලියාව පිටුපසට ඇද දමමින් එම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව පවතී. පළමු තරගයේදී ලකුණු 134ක දැවැන්ත පරාජයකට නතු වූ ශ්‍රී ලංකාව අද යම් වෙනස්කමක් සමගින් තරගයට පවිසෙනු ඇතැයි වාර්තා වේ. ඒ අනුව පළමු තරගයේදී පන්දුවාර 4ට ලකුණු 75ක් ලබාදුන් කසුන් රාජිත වෙනුවට මෙම තරගයේදී තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන තරග වැදීමේ සූදානමක් වේ. ලසිත් මාලිංග විස්සයි විස්ස නායකයා වශයෙන් කටයුතු කරන 18 වැනි තරගය මෙය වන අතර මෙතෙක් ඔහු නායකයාව කටයුතු කළ තරග 17න් 10ක් පරාජය වී ඉන් ජයගෙන තිබෙන්නේ තරග 7ක් පමණි. ඒ අතරින් ඔහුගේ නායකත්වය ලද අවසන් තරග අටේදී ඔහුට ජයගත හැකිව තිබෙන්නේ එක් තරගයක් පමණි. ඔස්​ට්‍රේලියාවේ අංක එකේ වමත් වේග පන්දු යවන්නා වන මිචෙල් ස්ටාක් සිය සහෝදරයාගේ විවාහය හේතුවෙන් මෙම තරගය ක්‍රීඩා කරන්නේ නැත. ඒ හේතුවෙන් අද තරගයේදී 24 හැවිරිදි දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක බිලී ස්ටෑන්කල්ට අවස්ථාවක් වෙයි. එසේ නැතහොත් එම අවස්ථාව ශෝන් ඇබට්ට හිමි වනු ඇති බවට විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී. ශෝන් ඇබට් යනු ඔස්ට්‍රේලියානු ක්‍රීඩක පිල් හියුස්ට මාරාන්තික වේග පන්දුව යැවූ ක්‍රීඩකයා වේ.
 

More News..