brand logo

ඔවුහු මව්බිමේ කිරිසුවඳ සොයා පැමිණෙති | මේ දූ පුතුන්ට අම්මා සොයා දෙන්න !

07 January 2019

දරුවෙකු මුලින්ම ලෝකය දකින්නේ ජීවය දුන් අම්මාගේ දෑසෙනි. සෙනෙහස, උණුසුම ලබන්නේ ඒ අම්මාගේ පපුවෙනි, ඇකයෙනි. සමස්තයක් දරුවන් ඒ වාසනාව ලබන්නෝ වුවත් අපේ රටේ සමහර දරුවන්ට කුඩා කලදීම ඒ වාසනාව අහිමිව ඇත්තේය. ඔවුන් අම්මාගෙන් පමණක් නොව උපන් රටෙන්ද වෙන්ව මහ මුහුදෙනුත් එහා ගොසිනි. ඒ නිසා ඒ දරුවන් ලෝකය දුටුවේ ඈත දේශෙක ඔවුන් හදාගන්නා නොදන්නා අම්මෙකුගේ දෑස තුළිනි. ඔවුන්ට ආදරය, සෙනෙහස ලැබුණේත් ඒ අම්මාගේ පපුවෙනි. සිංහල ලෙයින් උපන්න ද කතා කරන්නට සිදුවූයේ වෙනත් භාෂාවන්ය. එසේ වුවත් ඔවුන් ලැබූ වාසනාව නම් බොහෝමය. සැප සම්පත් මැද ජීවිතය දිනීම ම ඔවුන්ට ඇතිය. ලංකාවේ සිටියා නම් සමහරවිට ‍යන්නට බැරි තරම් දුරකට අද ඔවුන් අනාගතය ගොඩනගාගෙන ඇත. ඒ මොන ජයග්‍රහණ ලැබූවත් ඔවුන් උපන්නේ ලංකාවේ බවත් බිහිකළ අම්මා, තාත්තා සිටින්නේ ඒ ලංකාවේ බවත් දැනගත් දා පටන් වුවමනා වූයේ ඒ අම්මා තාත්තා දකින්නටය. කතා බහ කර බලන්නය. ඒ නිසා ලෝකය පුරාම සිටින එවන් දරුවෝ යොවුන් වියට ආ කල්හී තමන්ගේ මව්පියන් ගැන සොයන්නට පටන් ගැනීම සාමාන්‍ය දෙයක් වී ඇත. දරුවන් හදා වඩා ගත් මේ බටහිර මව්පියන් ඒ කිසිවක් මේ දරුවන්ගෙන් හංගන්නේ ද නැත. ඔවුන් මේ දරුවන් දරුකමට ගත් තැන සිට ඔවුන් සතුව ඇති සියලු ජීවදත්ත තොරතුරු ද මේ දරුවන්ට ලබා දෙන්නට තරම් කාරුණික වෙති. ඊනා, එන්රිකා, කුමාර, සමන්ති, ඇන්ටන් බර්නාඩ්, නිරෝෂි කුමාරි, දිල්රුක්ෂි සාගා, සිමෝන් ෆෙලික්ස් ඔස්ටෙරේරෝ සහ රුජිත් ශානක ද එසේ ලංකාවේ මව්වරුන්ගෙන් ගිලිහී ගිය තවත් දරුවන් නව දෙනෙකි. ඔවුන් ලංකාවේ උප්පැන්න සහතිකයකට උරුමකම් කියන දරුවන් වුවත් බිලිඳු වියේදීම ඉතාලිය, ජර්මනිය, බ්‍රිතාන්‍ය වැනි රටවලට දරුකමට ගොස් සිටින්නෝ වෙති. මේ දරුවන්ටත් වුවමනා වී ඇත්තේ කෙසේ හෝ ලංකාවේ මව්පියවරුන් හමුවන්නටයි. ලංකාවට ඇති සම්බන්ධතා මගින් ඔවුන්ගේ මව්පියන් ගැන යම් තරමකට තොරතුරු සොයාගන්නට පුළුවන් වුණේය. ඒ තොරතුරුවලට අනුව ඔවුන්ගේ අම්මාවරු, තාත්තාවරු සොයාගන්නට මේ අය නුදුරේදීම ලංකාවට එන්නට ද බලාපොරොත්තුවෙන් සිටිති. ඊනා එන්නේ ජර්මනියේ සිටයි. ඈ ජර්මනියට යන්නේ බිලිඳු අවදියේ ය. 86 වසරේ ජූනි 29 වැනිදා උපන් ඊනාට ලංකාවේ උප්පැන්නයෙන් ලැබී ඇති නම මාලනීය. ඊනාගේ පියා ගල්කිස්ස ප්‍රදේශයේ ජීවත්වන මෝහන් නම් අයකු බවට ඊනාට තොරතුරු ලැබී තිබේ. ඇගේ මව අම්බලංගොඩ රාණි දොඹගේ බවට උප්පැන්නයේ ලියැවී ඇත. රාණි දොඹගේ මේ වන විට සවුදි අරාබියේ රැකියාවක් කරන බවටත් ඊනාට ලැබුණු තොරතුරුවල සඳහන්ය. ඒ බැව් දැන දැනත් ඊනා ලංකාවට එන්නේ ඇගේ තාත්තා සොයා දැක බලා යන්නටයි. " මාව මේ ලෝකෙට බිහිකරපු අම්මා තාත්තා දැක ගැනීමේ සිතුවිල්ල එන්නෙ මම අම්මා කෙනෙක් වුණ මොහොතෙයි. ඒ බව දැනුණ දා ඉඳලා මට ඒ අම්මා තාත්තා හොයාගන්න වුවමනා වුණා. එයාලා මාව වෙන කෙනකුට හදාගන්න දුන්නට මං කවදාවත් දොසක් කියන්නෙ නෑ. ජීවිතේ බැරි කාලයක් එයාලට තියෙන්න ඇති. එහෙම වෙලාවක මගෙ හුස්ම නතර නොකර මාව මේ විදිහට හරි ජීවත් කරවීම මොනතරම් වටිනවද ? මං විතරක් නෙවෙයි, අපෙ අම්මටයි, තාත්තටයි මාත් එක්ක තව දරුවෝ දෙන්නෙක් ඉඳාලා තියෙනවා මයිකල් සහ ජූලියා කියලත්. මං වගේම මයිකල් ස්විට්සර්ලන්තෙටත්  ජූලියා ඉතාලියටත් දීලා තියෙනවා. ඒ නැති බැරිකමටනෙ. ඒ නිසා ඒ අම්මා, තාත්තාගෙන් මම කවදාවත් අහන්නෙ නෑ මාව හදලා දුන්නේ ඇයි කියලා.. ඒත් දැන්නම් මට ලොකු ආසාවක් ඇවිත් තියෙනවා මගෙ තාත්තව දකින්න. ඒ ඇයි කියලා කියන්න මට තේරෙන්නෙ නෑ. මං මේ පාර ලංකාවට එන්නෙ කොහොමහරි තාත්තා හොයලා දැකලා යන්නයි " ඊනාගේ හිතේ ලංකාවේ මව්පියන් ගැන අනුකම්පාවක් මිස වෛරයක් නැත. ඇය පෙබරවාරියේ ඇගේ තාත්තා සොයාගන්නට ලංකාවට එන්නට බලාපොරොත්තුවෙන් සිටින්නීය. ඊනා සේම ජීවිතය දුන් මව්පියන් සොයා පෙබරවාරියේ ලංකාවට එන්නට පෙරුම් පුරන එන්රිකා සිටින්නේ ඉතාලියේය. 94 වසරේ පෙබරවාරි 8 වැනිදා ඉපදී ඇති එන්රිකා උපන් ස්ථානය ලෙස ඇගේ ලංකා උප්පැන්නයේ සඳහන් වන්නේ මෝදර රෝහලයි. ඇයට උප්පැන්නයෙන් ලැබී ඇති නම ලක්ෂිකා ශිරන්තිය. එහි ඇගේ මවගේ නාමය ලෙස සටහන්ව ඇත්තේ කෝට්ටෙගොඩ ලියනගේ පද්මලතාය. ඈ මෝදර ශාන්ති නිවාස හි පදිංචිව සිටි බවට සඳහන් අතර උප්පැන්න සහතිකයේ එන්රිකාගේ සීයා ලෙස කළුතර ලියනගේ ජෝර්ජ් පෙරේරාගේ නම ලියැවී ඇත. " ලංකාවේ අම්මා, තාත්තා මාව වෙන රටකට හදාගන්න දෙන්න ඇත්තෙ ඒ වෙලාවෙ තිබුණ අසීරුතාව හින්දා වෙන්න ඇති. නමුත් ඒ ගැන මම ඒ අයට කවදාවත් දොස් කියන්නෙ නෑ. එයාලා ඒ දේ කළේ නැති බැරිකමටද, මුදලටද, නිකම්ද කියලා මට අදාළ නෑ. මට වැදගත්වෙන්නෙ මොන ගැටලු තිබිලා හරි ඒ අම්මා තාත්තා මට මේ ලෝකෙට උපත දුන්නා කියන එකයි. සමහරවිට මම ලංකාවෙ ජීවත් වුණා නම් අද මං මේ ඉන්න තැන මට නොලැබෙන්න තිබුණා. මාව මේ රටේ හදාගත්ත දෙමාපියන් ඉතාම හොඳ ගුණයහපත් අය. ඒ ගැන මට සතුටුයි. " එන්රිකා කියන්නා සේ ඇය ලංකාවේ සිටියා නම් සමහරවිට ඇගේ ජීවිතයට ඈ ලබා සිටින මේ ජයග්‍රහණයන් නොලැබෙන්නටත් ඉඩ ඇත. අද ඉතාලියේ පදිංචිකාරියක වන ඇය බාරි විශ්ව විද්‍යාලයේ නීතිය හදාරන්නීය. ඒ අතරතුරේ ඉතාලියේ radio incontro හි නිවේදිකාවක් ලෙසට ද කටයුතු කරන්නීය. කුමාර මස්තරෝසා ජීවත්වන්නේද ඉතාලියේය. ලංකාවේ උපන්නත් බිලිඳු වියේ ඉතාලියට කිය කුමාර අද ඉතාලියේ පදිංචිකරුවෙකි. කළුතර රෝහලේ ඉපැදුණු බවට උප්පැන්න සහතිකයේ සඳහන් කුමාරගේ මව ලෙස සඳහන් වන්නී ගමගේ වසන්තීය. ඇය අගලවත්ත පිඹුර ප්‍රදේශයේ පදිංචිකාරියක් බවටත් එහි ලියැවී ඇත. " මම කැමැතියි මගෙ ලංකාවේ අම්මා හරි තාත්තා හරි දකින්න. ලංකාවෙන් මේ රටට ඇවිත් මේ දක්වා ඇවිත් තියෙන දුර ගැන මං සතුටු වෙනවා. ඒත් ඒ සතුට අතරේ හැමදාම මාව එක්තරා හැඟීමකින් පෙළනවා. ඒ මාව මේ ලෝකෙට බිහිකරපු මගෙ ලංකාවෙ අම්මා තාත්තා කොහේ ඉන්නවා ඇත්ද කියලා. මං ලංකාවට එන්න හදන්නෙ ඒකයි. එක වතාවක් හරි එයාලව දැක ගන්න මං ආසයි.." කුමාර මේ වන විට එංගලන්තයේ විශ්ව විද්‍යාලයක ජාන විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධිය හදාරයි. ඔහු වෘත්තියෙන් ජාන ඉංජිනේරු අංශයේ උසස් රැකියාවක් කරන්නෙකි. ඔහුද පෙබරවාරි මාසයේ ලංකාවට එන්නට බලා සිටින කෙනෙකි. ලියනෝරා සමන්ති ලෙම්මා ද පෙබරවාරියේ ඇයගේ උප්පැන්නයේ වූ මව්පියන් සොයා ලංකාවට එන්නට සූදානමින් සිටින්නීය. බිලිඳියක ලෙසින් ලංකාව හැර යන්නට සිදුවූ ඇය අද ඉතාලියේ පදිංචිකාරියකි. සූපවේදිනියක් ලෙසට රැකියාවක් ද කරන ලියනෝරා සමන්ති ලෙම්මාට ලංකාවේ මව්පියන්ගෙන් ලැබී ඇති නම සමන්ති පට්ටියවත්තය. 91 වසරෙහි කෑගල්ල රෝහලේ ඉපැදුණු බවට සඳහන් ඇගේ උප්පැන්නයේ මව ලෙසින් සිටින්නී විජේනායකගේ ශ්‍රියාවතී ය. ඇය මොරලිය ප්‍රදේශයේ පදිංචිකාරියක ලෙසටත් සඳහන්ය. 90 වසරේ ලංකාවේ ඉපදී ඇති දිලරුක්ෂි සගා අද පදිංචි වී සිටින්නේ ඉතාලියේය. එරට විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් වන ඇයටද ඇගේ අම්මා - තාත්තා දැක බලා ගැනීමේ ආසාව එන්නේ වසර ගණනාවකට කලින් සිටය. ලංකාවේ ඉපදුණු බවට උප්පැන්න සහතිකයෙන් සහ හදාගන්නා මව්පියන් වෙතින් දැනගත්තත් ඒ වන විට නොදන්නා දේශයක් වූ ලංකාවේ ඇගේ මව්පියන් ගැන තොරතුරක් අසා දැන ගන්නට හෝ කෙනෙක් හෝ සිටියේ නැත. ඇය එදා පටන් මහන්සි වී මේ ලෝකෙට ජීවිතය දුන් අම්මා තාත්තා ගැන සෙව්වාය. එහි ප්‍රතිඵලයක් නොවීය. ඈ දන්නේ උප්පැන්නයේ සඳහන් ආකාරයට ඇගේ ලංකාවේ අම්මා කිතුල්ගල පෝදෙණියේ සිටි රත්නායක මුදියන්සේලාගේ දුශාන්ති කියා පමණකි. ඒ තොරතුර ඔස්සේ හෝ අම්මා තාත්තා ගැන සොයන්නට දිල්රුක්ෂි සගා ද පෙබරවාරියේ ලංකාවට ඇවිත් යන්නට එන්නට බලාහිඳින්නීය.   සිමොන් ෆෙලික්ස් ඔස්ටෙරේරෝ ඉතාලියේ කොපී අවන්හල් හිමිකරුවෙකි.. ඔහු හදාවඩා ගන්නා ඉතාලි ජාතික මව්පියන් සිමෝන් ඉතාලියට ගෙන යන්නේ බිලිඳු අවදියේය. ඔහු උපන්ගෙයි ඔහුට ලැබුණු නම ෆෙලික්ස් ය. " මම මේ පෙබරවාරි මාසෙ මගෙ අම්මා හොයාගන්න කොහොමහරි ලංකාවට එනවා. එයා දැකලා කතාකරන කල් මගෙ හිතට හරි අඩුවක් දැනෙනවා. මාව පිටරටකට දෙන්න ඇත්තෙ එයාට මාව හදාගන්න විදිහක් තියෙන්න නැතුව ඇති. ඒක වැරැද්දක් නෙවේ. මට ලංකාවෙන් දීලා තියෙන උප්පැන්න සහතිකේ මගෙ අම්මගෙ නම විදිහට තියෙන්නේ  ස්ටෙෆාන් පුෂ්පරාණි. ඇය යාපනේ කිළිනොච්චිය පදිංචිකාරියක් කියලයි ලියලා තියෙන්නෙ. " දෙමළ කාන්තාවක වූ ස්ටෙෆාන් පුෂ්පරාණිට ෆෙලික්ස් ඉපදෙන්නේ අවුරුදු 27 දීය. අද ෆෙලික්ස් සිටින්නේත් ඒ වයසේ වගේමය. ඉතාලියේ පදිංචි ඇන්ටන් බර්නාඩ් ලුනාදිගේ මවත් දෙමළ කාන්තාවකි. ශ්‍රීනා තනූජා ලේන් නමින් උප්පැන්න සහතිකයේ මවගේ නම ලෙස සටහන්ව ඇති ඇය නුවරඑළියේ ජීවත් වූ කාන්තාවකි. 1983 වසරේ ශ්‍රීනා තනූජාට ඇන්ටන් බර්නාඩ් ලුනාදි ලැබෙන්නේ බදුල්ල රෝහලේදීය. එහිදී ඇන්ටන් බර්නාඩ් ලෙස ඔහුගේ නම උප්පැන්නයේ ලියැවී ඇත. ඒ අම්මා සොයාගන්නට, ඇය දකින්නට ඇන්ටන්ට ඇත්තේ පුදුමාකාර ආසාවකි. අද ඉතාලියේ ව්‍යාපාරිකයෙක් ලෙස සාර්ථකව ජීවිතය පවත්වාගෙන යන ඇන්ටන් ද අම්මාගේ තොරතුරක් සොයා ගන්නට පෙබරවාරියේ ලංකාවට එන්නට නියමිතය. " ලංකාවෙ මගේ අම්මා පිටගලදෙණිය මුදියන්සේලාගේ ආරියලතා. එයාගෙ ගම කැස්ගල්ල කියලයි තියෙන්නෙ. මාළඟ තියෙන මගේ උප්පැන්න සහතිකේ තාත්තගෙ නම විදිහට සටහන් වෙලා තියෙන්නෙ චිත්‍රාවඩුගේ ෂෙල්ටන්. ඔහු බරහන්කඩුව ප්‍රදේශයේ කෙනෙක්. මට උප්පැන්න සහතිකේ නම දීලා තියෙන්නෙ නිරෝෂි කුමාරි කියලා " එසේ කියන්නී ඉතාලියේ පදිංචිකාරියක වන ඉලැරියා නිරෝෂි ස්පිනාසිය. ඉතාලියේ අද්වකාත්වරියක වන ඇය එරට ඇගේ ජයමාවතට පැමිණ ඇත. ඒත් හිත අග නොහඳුනනා කනස්සල්ලකි. ඒ ඈ ජාතක කළ මව්පියන් දක්නට නැති සොවිනි. ඇය පෙබරවාරියේ ලංකාවට එන්නට හදන්නේ ඔවුන් ගැන සොයාබලන්නටයි. ඇය සේම ඉතාලියේ පදිංචිව එරට රතු කුරුස සංවිධානයේ වැඩ කරන රේ රැජෝ ලෙන්සෝනි ද මේ පෙබරවාරියේම ලංකාවට එන්නට සූදානමින් සිටියි. " මට ඉතාලියට එන්න වුණේ මේ අම්මලා මාව පුංචිකාලෙම ඉතාලි අම්මටයි තාත්තටයි දුන්න හින්දා කියලා දැනගත්ත දවසෙ ඉඳන් මට ලංකාවේ අම්මයි තාත්තයි දකින්න පුදුම ඕනෑකමක් තියෙන්නෙ. එයාලා මාව මේ ලෝකෙට උපද්දලා දෙන්න ඇත්තෙ මාව හදන්න විදිහක් නැතිහින්දා වෙන්න ඇති. ඒ ගැන මගෙ තරහක් නෑ. මට මෙහෙ හොඳ ජීවිතයක් ලැබිලා තියෙනවා. හොඳම අම්මා කෙනකුයි තාත්තෙකුයි ලැබිලා තියෙනවා. මෙහෙ සතුටින් හිටියත් ඒ සතුට යට ලංකාවේ අම්මා තාත්තා හමුවෙන්න, ඔවුන් කොයිවගේ අයද කියලා දැනගන්න තියෙන්නෙ හරි ඕනෑකමක්.." 1985 වසරේ රේ රැජෝ ලෙන්සෝනිට ලංකා උප්පැන්නයෙන් ලැබී තිබුණු නම රුජිත් ශානකය. ඔහුගේ අම්මා ලෙස එහි ලියැවී සිටින්නේ රුද්‍රානි තේනුවරයි. මණ්ඩාවල පදිංචිකාරියක් වන රුද්‍රානි තේනුවරත් උප්පැන්නයේ ලියැවී හෝ නැති පියාත් සොයා ගැනීම රේ රැජෝ ලෙන්සෝනියෝගේ එකම බලාපොරොත්තුවයි. මේ දරුවන් සියල්ලෝම එළඹෙන පෙබරවාරියේ ලංකාවට පැමිණෙන්නේ ඉරණම් ගමනකි. ඒ බිලිඳුවියේ දුටුවාට පසු දැක නැති ඇත්ත අම්මා තාත්තා සොයා ගන්නටයි. ජීවිතය දිනා සැප පහසු ජීවිත ගත කළත් ඔවුන්ගේ හද තුළ ඇති ඒ ප්‍රාර්ථනය ඉටුකරගන්නට ආශිර්වාදයක් වෙන්නට අරුණ කියවන ඔබටත් හැකියාවක් ඇත. ඒ මේ තොරතුරුවලට අදාළ වූ කිසියම් අනාවරණයක් වේ නම් අරුණට දැනුම් දීමයි. ඔබෙන් ලැබෙන්නා වූ ඒ තොරතුරෙහි රහසිගත බව සුරකින්නටත් අපි විශ්වාසවන්ත වෙමු. ඔබ දන්නා තොරතුරක් වේ නම් අප වෙත දන්වන්න' චමින්ද : 0761367660 chaminda.news@gmail.com අනූපමා ගල්කඩවල බියංකා නානායක්කාර
 

More News..