brand logo

ඔලිම්පික් සුදුසුකම සපුරාගැනීමට ඉල්ලන ඕනෑම තරගාවලියක් දෙන්නම්

17 June 2021

උස පැනීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් වරම් ලැබීමට ආසන්නයේ සිටින ක්‍රීඩක උෂාන් තිවංකව හට පෙරේදා (15වැනිදා) රාත්‍රියේ දුරකථන ඇමතුමක් ලබාදුන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, අදාළ ඔලිම්පික් සුදුසුකම සපුරාගැනීම උදෙසා උෂාන් විසින් ඉල්ලා සිටින ඕනෑම තරගාවලියකට සහභාගී කරවීමට තමන් සූදානම් යැයි පවසා ඇතිබව සැලවේ. උෂාන්ට සිය ඔලිම්පික් වරම‍ වෙනුවෙන් අතිශයින් වැදගත් වූ කසකස්තානයේ පැවැත්වීමට නියමිත තරගාවලියේ සහභාගීත්වය අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති බව ක්‍රීඩා ඇමතිවරයාට සැලවූ සැණින් ඔහු විසින් මෙලෙස උෂාන්ව අමතා ඔහුව දිරිගැන්වීමට පියවර ගෙන තිබුණි. මෙම 19 සහ 20 දෙදින පැවැත්වෙන ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත අදාළ කසකස්තාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස් දෙනෙකු සහභාගීවීමට නියමිතව සිටි අතර ‍ ඇමරිකාවේ සිට සිය පුහුණුවීම් කරන උෂාන් එරට සිට පැමිණ කසකස්තානයේදී අදාළ ශ්‍රී ලංකා කණ්ඩායම හා එකතුවීමට යෙදී තිබුණි. ක්‍රීඩා අමාත්‍යංශයේ පූර්ණ අනුග්‍රහය සහිතව මෙම ශ්‍රී ලංකා කණ්ඩායම පෙරේදා (15වැනිදා) කසකස්තනාය බලා පිටත්වීමට යෙදී තිබුණිද වීසා ලබාගැනීමේදී ඇතිවූ ගැටලුවක් මත එම සංචාරය අවිනිශ්චිත තැනට පත්විය. ඒ බව වාර්තා වීමත් සමග මෙම කණ්ඩායමේ ඉහළම ඔලිම්පික් වරම් බලාපොරොත්තුව වන උෂාන් තිවංක පිළිබඳව විශේෂයෙන් සොයා බැලීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කර තිබුණි. ඉකුත් සමයේ දකුණු ආසියානු වාර්තාව දෙවරක් අලුත් කරමින් මේ වන විට මීටර 2.30ක උපරිම දක්ෂතාවක් දක්වා සිටින උෂාන් අදාළ උස වාර්තා කිරීමත් සමගින් එම සමයේ (ඉකුත් අප්‍රේල් මස) උස පැනීමෙන් ලොව දෙවැනි හොඳම දක්ෂතාව සටහන් කිරීමටද සමත් වූ අතර වත්මන් සමයේ ලෝක දක්ෂතා අනුව ඔහු 11 වැනි ස්ථානයේ රැඳී සිටියි. නමුත් උෂාන්ට ඔලිම්පික් වරම් ලබාගැනීමට නම් මීටර 2.33ක් වන පරිසාධන මට්ටම ඉක්මවා යෑමට හෝ ලෝක ශ්‍රේණිගත කිරීමේ ලකුණු අනුව පළමු ක්‍රීඩකයන් 32 අතරට පැමිණිය යුතු වේ. අදාළ ශ්‍රේණිගත කිරීමේ ලකුණු 1161 ක් සමගින් උෂාන් මේ වන විට එ‍ම ශ්‍රේණියේ 50 වැනි ස්ථානයේ රැඳී සිටින අතර පිළිගත් ජාත්‍යන්තර තරගයකදී ඔහු විසින් මීටර 2.25ක උසක් සටහන් කළහොත් ශ්‍රේණිගත කිරීම මගින් ඔලිම්පික් සුදුසුකම් ලබන ක්‍රීඩකයන් 32 අතරට එක්වීමේ අවස්ථාව උෂාන් හට හිමිවේ. මේ අතර අවිනිශ්චිත අඩියක පවතින කසකස්තාන සංචාරයට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිකරවීම සඳහා වන උත්සාහය ඊයේ වන විට නැවත පනගැන්වෙමින් අදාළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ව පී.සී.ආර් පරීක්ෂණයක් සඳහා කැඳවා තිබුණි. ඉන්ද්‍රජිත් සුබසිංහ
 

More News..