brand logo

ඔලිම්පික් එන ප්‍රථම සංක්‍රාන්ති ලිංගිකයා

22 June 2021

නවසීලන්තයේ ලෝරල් හබාර්ඩ් ඔලිම්පික් උළෙලකට තරග කිරීමට තෝරාගත් ප්‍රථම සංක්‍රාන්ති ලිංගික මලල ක්‍රීඩකයා බවට පත්වී ඇත. යම් ආන්දෝලනයක් මධ්‍යයේ වුවද මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කරන නවසීලන්ත කාන්තා බර ඉසිලීමේ කණ්ඩායම සඳහා ඇයව තෝරාගෙන තිබේ. ඇය 2013දී තමා සංක්‍රාන්ති ලිංගිකයකු ලෙස ප්‍රකාශ කිරීමට ප්‍රථම පිරිමි ඉසව්වලට සහභාගි වී ඇත.

 ‘‘නවසීලන්ත වැසියන් බොහෝ දෙනකු මට ලබාදී ඇති කරුණාව හා සහයෝගය ගැන මම කෘතඥ වෙනවා’’

විචාරකයන් පවසන්නේ පෙරදී පුරුෂයකු ලෙස තරග කිරීම හරහා හබාර්ඩ්ට ‘අසාධාරණ වාසියක්’ ඇති නමුත් ඔලිම්පික් උළෙලට තවත් සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩකයන් ඇතුළත් කරගැනීම සඳහා මෙය පදනමක් දමා ඇති බවයි. නවසීලන්ත ජාතික ඔලිම්පික් කමිටුව සඳුදා නිකුත් කළ නිවේදනයක ලෝරල් හබාර්ඩ්ගේ අදහස්ද දක්වා ඇති අතර එහිදී ඇය පවසා ඇත්තේ ‘‘නවසීලන්ත වැසියන් බොහෝ දෙනකු මට ලබාදී ඇති කරුණාව හා සහයෝගය ගැන මම කෘතඥ වෙනවා’’ යනුවෙනි.

ලෝරල් හබාර්ඩ් මෙවර ඔලිම්පික් උළෙලේ කාන්තා කිලෝග්‍රෑම් 87 බර ඉසිලීමේ අංශයට තරග වදියි

ඒ අනුව ලෝරල් හබාර්ඩ් මෙවර ඔලිම්පික් උළෙලේ කාන්තා කිලෝග්‍රෑම් 87 බර ඉසිලීමේ අංශයට තරග වදියි. ශරීරයේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම යම් සීමාවකට වඩා අඩු නම් සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කාන්තාවන් ලෙස තරග කිරීමට අවස්ථාව ලබාදෙමින් 2015දී අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සිය නීති වෙනස් කිරීම පදනම් කරගෙන ලෝරල් හබාර්ඩ්ට මෙවර ඔලිම්පික් උළෙලට සහභාගි වීමට අවස්ථාව ලැබී ඇත.

උපතින්ම කාන්තාවක වන ක්‍රීඩිකාවන්ට අසාධාරණයක්

කෙසේ වෙතත් ඇයගේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම අදාළ සීමාවට වඩා පහළ මට්ටමක පවතින නමුත් ඇය ඔලිම්පික් උළෙලට සහභාගි වීම උපතින්ම කාන්තාවක වන ක්‍රීඩිකාවන්ට අසාධාරණ බව ඇතැම් විචාරකයෝ දැඩිව පෙන්වා දෙති. ඇය පිරිමියකු ලෙස වැඩිවිය පැමිණ ඇති බැවින් ක්‍රීඩාවේදී ඇයට ජීව විද්‍යාත්මක වාසි ඇති බව ඔවුන් පෙන්වා දී ඇත. නයන තරංග ගමගේ
 

More News..