brand logo

ඔල්කොට්ලා දේශීය දැනුම් මග යටපත් කළ හැටි

03 March 2019

‘සුද්දා උසස් අප පහත්’ යන සිතුවිල්ල ඉන්දියාව ලංකාව වැනි රටවල ස්වදේශිකයන් අතර පැතිරයාමට, ඉංග්‍රීසි අධ්‍යාපන ක්‍රමය ප්‍රධාන හේතුවකි. චීනය මෙම මානසික රෝගය දුරුකර දමා ඇත. ලංකාවට රෝගය බෝකිරීමට සම්බන්ධ වූ පුද්ගලයින් ගණනාවකි. ඔවුන් අතර ඇමෙරිකානු ජාතික හෙන්රි ස්ටීල් ඕල්කොට්ට හිමි වන්නේ ප්‍රධාන ස්ථානයකි. ‘පානදුරාවාදය පිළිබඳව ඉංග්‍රීසි පත්තරවල පළවූ විස්තර කියවා සිංහල බෞද්ධයන්ට උපකාර කිරීමට අදහස් කරගත්, ඕල්කොට් ලංකාවේ බෞද්ධ නායකයින් සමග සම්බන්ධකම් ඇතිකර ගත්තේය’යි සඳහන් කරන්නෝ සිටිති. තවත් සමහරුන් පවසන ආකාරයට ඉන්දියාවට එන්නට පෙර සිටම ඕල්කොට් බෞද්ධයෙකි. මේ කිසිවක් ඇත්ත නොවේ. මිෂනාරින් සමග වාද කළ භික්ෂුන් වහන්සේ, බුද්ධාගමේ සූත්‍ර හැරුණු විට බයිබලය වැනි විශාල පොත්වල අඩංගු තොරතුරු පරිච්ඡේද සහ පිටු අංක සහිතව හිතේ ධාරණය කරගෙන සිටියේ කෙසේද යන්න ඕල්කොට් ප්‍රමුඛ ‘තියෝසොපි’ නායකයින්ට ප්‍රහේලිකාවක් වූ බවට තොරතුරු පවතී. හින්දූන් සහ බෞද්ධයින් වේගයෙන් ඉගෙන ගන්නේ කෙසේද? ඔවුන් විෂයන් ගණනාවක් එකවර හදාරන්නේ කෙසේද? ඉගෙන ගන්නා හැම දෙයක්ම සිතේ ධාරණය කරගන්නේ කෙසේද? ආදිය ඔවුන් සාකච්ඡා කළ තවත් මාතෘකා කිහිපයකි. බුදුරජාණන් වහන්සේ දීර්ඝ කාලයක් මුළුල්ලේ දේශනා කළ ධර්මය පුස්කොළවල ලියවෙන තුරු ආරක්ෂා කරගත්තේ භික්ෂුන් වහන්සේගේ මතකයෙනි. මේ ආකාරයට මතක ශක්තිය වැඩි දියුණු කළ, ‘භාණකවරුන්’ නම් භික්ෂූන් සිංහල රට තුළ බිහිකිරීම ඇරඹෙන්නේ මිහිඳු හිමියන් මූලික වී පිහිටුවූ මහාවිහාරයෙනි. භාණකවරුන් බිහිකර ඇත්තේ කුඩා සාමනේරවරුන්ගේ මනස දියුණු කිරීමෙනි. ඇතැම් ඇන්ජීඕකාරයින් කුලදරුවන් මහණ කිරීම ළමා හිංසනයක් යයි මොරගහන්නට සැබෑ හේතුව සාමනේරවරුන් බිහිකිරීම වැළැක්වීමට ආණ්ඩුව මගින් නීති පිළියෙල කරවා, බුදුසසුන දුර්වල කිරීමට ඇති වුවමනාවයි. ළමා හිංසනය පෙරදිග ක්‍රියාවක් නොවේ. ඉදිරියේදී එය වෙනත් ලිපියකින් පැහැදිලි කරමු. ධර්ම ශාස්ත්‍රය සහ වේදය පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යාමට හැකි වන පරිදි පුද්ගලයාගේ මතක ශක්තිය වර්ධනය කරන ක්‍රම ඉන්දියාවේ බ්‍රාහ්මණයන් අතර පැවතුණි. ටිබෙට් රටේ ලාමාවරුන් අතරද තිබුණි. මේ හැම තොරතුරක්ම කොල්ලකෑමේ හැකියාව තියෝසොපිවාදීන්ට තිබුණි. අදටත් සිංහල බෞද්ධයින් අතර ළමයින්ට අකුරු කියවීම නමින් චාරිත්‍රයක් පවතී. එය ළමයෙකු වෙනුවෙන් කරන පළමුවෙනි මංගල්‍යයයි. අතීතයේ ඒ සිරිතට සම්බන්ධ සංස්කෘතික අංග රාශියක් තිබුණි. ගුරුවරුන් දරුවන්ට අකුරු උගන්වා ඇත්තේ ගායනා ක්‍රම අනුවය. අකුරුවලින් ඇරඹෙන ශිල්ප දැනුම දරුවන්ගේ මොළයේ තැන්පත් කර ඇත්තේ ගායනා ආධාරයෙනි. ගීතයෙන් දරුවන්ගේ මොළයේ දකුණු පැත්ත අවදි වූ අතර දැනුම මොළයේ වම් පැත්තේ තැන්පත් වුණි. බ්‍රාහ්මණයෝ දරුවන්ට අකුරු කියවීමෙන් පසු ඔවුන් දැනුම යම් මට්ටමකට එද්දී, උපනයන මංගල්‍යය පැවැත් වූහ. භික්ෂූන්ගේ උපසම්පදා උළෙල මීට සමාන එකකි. කොටහළු සිරිත ගැහැනු දරුවන් සඳහා වූ අධ්‍යාපන වැඩපිළිවෙළක නටබුන් අංගයකි. නගරයේ බෞද්ධ නායකයින් එකතු කර කොළඹ පරමවිඥානාර්ථ බෞද්ධ සමාගම පිහිටුවා ගැනීමෙන් තියෝසොපි සොසයිටිය ලැබුවේ පුදුමාකාර ජයකි. එය වනාහි, කර්නල් ඕල්කොට් ඇමරිකානු හමුදාවේ හිටියා නම්, පදක්කමක් ලැබීමට තරම් දක්ෂකමකි. බෞද්ධ ඉංග්‍රීසි පාසල් පිහිටුවීම මගින් සිංහල බෞද්ධයින් සමග බෞද්ධ අධ්‍යාපනයට අයත් හැම දැනුමක්ම තියෝසොපි සමාජයට හිමි විය. මීට සමාන ක්‍රමවලට හින්දුන්ගේ අධ්‍යාපන ක්‍රම පිළිබඳව දැනුම ලබා ගැනීමට ද ඔවුහු සමත් වූහ. මෙසේ උපක්‍රමශීලීව ලබාගත් දේශීය දැනුම, තියෝසොපි සමාජය හරහා ජීර්ණ කරගත් ඇතැම් සුදු ජාතිකයින් යුරෝපයේ මතුවී ඇත්තේ මහා ගවේෂකයින් ලෙසිනි. තියෝසොපි සංගමයේ ජර්මන් ශාඛාවේ සභාපති රුඩෝෆ් ස්ටයිනර් එවැන්නෙකි. ඔහු හඳුන්වා දුන් ‘වල්ඩෝෆ්’ අධ්‍යාපන ක්‍රමය ජර්මනිය කිසිදාක නොදැන සිටි ඉගෙනුම් ක්‍රමයකි. ස්වභාවික පරිසරය තුළ ගායනා කරමින් නටමින් අකුරු ඉගෙනීමේ ළමා අධ්‍යාපන ක්‍රමයක්ද ඔහු හඳුන්වා දුන්නේය. වල්ඩෝෆ් අධ්‍යාපන ක්‍රමය සහ ස්ටයින්ර්ගේ ළමා අධ්‍යාපන ක්‍රමය යුරෝපය පුරා පැතිර ගියේය. මෙය තනිකරම බෞද්ධ සහ බ්‍රාහ්මණ අධ්‍යාපන ක්‍රමයේ සංකලනයකි. තියෝසොපි සමාජය හරහා ලබාගත් පෙරදිග දැනුමකි. හිට්ලර්ට පක්ෂව සිටි ඉතාලියේ ආඥාදායක මුසොලිනිට සේවය කළ මරීයා මොන්ටිසෝරි පෙරදිග ළමා අධ්‍යාපනය ගැන තොරතුරු සෙවීමට අද්යර්හි තියෝසොපි මූලස්ථානයට පැමිණි ඉතාලි ජාතික වෛද්‍යවරියකි. බ්‍රාහ්මණ ළමා අධ්‍යාපනය ගැන තොරතුරු සෙවූ ඇය සාමනේර අධ්‍යාපනය ගැන තොරතුරු සෙවීමට ලංකාවට පැමිණ ඇත්තේ පරමවිඥානාර්ථ බෞද්ධ සමාගමේ ආධාරයෙනි. අද්යර් තියෝසොපි මූලස්ථානයේ ළමා පාසලක් ඇරඹූ ඇය, තමා ලැබු දැනුම පිළිබඳ ප්‍රයෝගික පර්යේෂණයක යෙදුණාය. ඉන්පසු ඉතාලියට ගොස් ළමා අධ්‍යාපන විශේෂඥවරියක වශයෙන් සොයාගැනීම් ඉදිරිපත් කළාය. මොන්ටිසෝරි නමින් ලංකාවේ පළමු ළමා පාසල් අරඹා ඇත්තේ මරියා මොන්ටිසෝරිගේ ශිෂ්‍යාවන් බව කියන කාන්තාවන් දෙදෙනෙකු විසිනි. මෙවැනි යුරෝපීය ගවේෂකයින් ඉදිරිපත් කළ සොයාගැනීම් යුරෝපයේ සහ ඇමරිකාවේ පැතිරෙන අතරතුර ඉන්දියාව, ලංකාව වැනි රටවලටත් පැමිණ තිබේ. ඒ බටහිර සොයාගැනීම් වශයෙනි. බොහෝ දෙනෙකුට මේ දැනුම් මංකොල්ලය ගැන හරි වැටහීමක් නැත. තව පිරිසක් වැටහීම ඇතත් ඒ බව නොපෙනෙන අයුරින් හැසිරෙති. වර්තමානයේද එම ක්‍රියාව ඒ ආකාරයටම සිදුවේ. මානසික ආතිතය ඇතුළු මානසික රෝග ගණනාවක් සඳහා භාවිතා කරන ඇමරිකාවේ උපන් ‘මයින්ඩ්ෆුල්නස් මෙඩිටේෂන්’ නමැති මානසික වෛද්‍ය ක්‍රමය හොඳම උදාහරණයයි. ඇමරිකානු ජාතික මහාචාර්ය ජෝන් කබට් පන්සල්වල කරක්ගසා භික්ෂූන් ඇසුරුකර උගත් විපස්සනා භාවනාව මෙහි පදනමයි. ඔහු මයින්ඩ්ෆුල්නස් මෙඩිටේෂන් නමින් නව වෛද්‍ය ක්‍රමයක් පිහිටුවූ ගවේෂකයෙකු වශයෙන් ගෞරව ලබයි. වැදගත්ම කතාව පන්සලේ ජීවත්වෙමින් පන්සලෙන් උගත් ඔහු ගවේෂකයෙකු වූ පසුව අතීතය හෙළිවනවාට දැක්වූ අකමැත්තයි. තමා ඉදිරිපත් කරන්නේ විද්‍යාත්මක මානසික ක්‍රමයක් විනා බෞද්ධ භාවනා ක්‍රමයක් නොවන බව, ඔහු ගෙන් ප්‍රශ්න කරන්නන්ට පවසා තිබේ. බටහිර උගතුන් මේ ආකාරයෙන් හැසිරෙන්නට හේතුවක් තිබේ. ඇමරිකාවට ඇත්තේ අවුරුදු දහස් ගණනක් පැරණි ඉතිහාසයකි. නමුත් පාප්තුමාගේ ‘බුල්’ නියෝගය හේතුවෙන් ක්‍රි. ව. 1492 කොළොම්බස් ඇමරිකාව සොයාගත් බව සමස්ත ක්‍රිස්තියානි යුරෝපයටම පිළිගැනීමට සිදුවිය. ඇමරිකාවේ පුරාණ රාජධානි වෙත භික්ෂුන් වහන්සේ වැඩිය බවට සාක්ෂ්‍ය තිබේ. චීන නාවිකයින් එහි ගිය බවට තොරතුරු ඇත. ඒ මොන තොරතුරු ඇතත්, අදටත් ඇමරිකාව සොයාගන්නා ලද්දේ කොලොම්බස් විසින් යැයි බටහිර පාසල්වල උගන්වති. යුරෝපීයන්ගේ හැම සොයාගැනීමක්ම ලෝකය පිළිගන්නේ ‘බුල්’ නීති සම්ප්‍රදාය අනුවය. කොලොම්බස් ඇමරිකා මහාද්වීපය වැනසූ බවට අප්‍රමාණ සාක්ෂ්‍ය තිබේ. මේ බව දැන දැනත්, කොලොම්බස් මානව සංහතියට කළ අපරාධය නොදන්නා සේ ඔහු ශ්‍රේෂ්ඨ දේශගවේෂකයෙකු වශයෙන් ලංකාවේද ඇගැයුමට ලක්වේ. සිංහල පිළිබඳ විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකු කොලොම්බස් පිළිබඳව ලියූ ළමා පොතක ‘කොළොම්බස් සහ ඔහුගේ චාරිකා පිළිබඳ හොඳ දේවල් සිහිකරමු’ යි සඳහන්ය. ඇමරිකාවේ, එංගලන්තයේ හෝ වෙනත් යුරෝපා රටකට සම්බන්ධ කිසියම් සුදු ජාතික උගතෙකු සිංහල භාෂාව, බුද්ධාගම හෝ සිංහල සංස්කෘතියේ කිසියම් අංගයක් ගැන අදහසක් ප්‍රකාශ කළ සැණින් ප්‍රීතියට පත්වීම හීනමානයේ ලක්ෂණයකි. ඇත්ත වශයෙන්ම, ඒ බොහෝ අවස්ථාවල සිදුවන්නේ අපගේ උරුමයක් වර්ණනා කරමින් කොල්ලකෑමයි. ඒ සඳහා නීතිමය හිමිකමක් ලබාගැනීම හා අපට හඳුනා ගැනීමට නොහැකි ලෙසට ජීර්ණ කරගැනීම මෙවැනි පුද්ගලයින්ගේ සිරිතකි. සමහර අවස්ථාවලදී ඔවුන්ගේ ආගමට, සංස්කෘතියට නොගැළපෙන දේ දිරවා ගැනීමට නොහැකි බැවින් හලා දැමීමත් මෙවැන්නන්ගේ සිරිතකි. බෞද්ධයින් විශාල පිරිසකගේ ධජයක් වී බැබලෙන නාස්තික බෞද්ධ දර්ශනය ඉදිරිපත් කරන බ්‍රිතාන්‍ය ජාතික මහාචාර්ය ස්ටෙෆන් බැචලර් නිදසුනකි. තමා බුද්ධාගම ඉගෙන ගත්තේ ඉන්දියාවේ ධර්මශාලාහි භික්ෂුවකගෙන් යැයි බැචලර්ගේ පැරණිම ලේඛනයන්හි සඳහන් වේ. ධර්මශාලා යනු දලයි ලාමාතුමා වාසය කරන ආරාමයයි. බැචලර් භික්ෂුවක වශයෙන්ද කටයුතු කර තිබේ. පසුව විවාහ ජීවිතයක් අරඹා මහා බෞද්ධ ලේඛකයකු වූයේය. ස්ටෙෆන් බැචලර් බුද්ධාගම පැහැදිලි කරන්නේ එහි මූලික හරයන් හලා දමමිනි. කර්මය හා පුනර්භවය සම්පූර්ණයෙන්ම ඉවත්කර තිබේ. කර්මය සහ පුනර්භවය, බුදුන් නොවදාළ, පසු කාලයක භික්ෂුන් වහන්සේ විසින් බ්‍රාහ්මණ ආගමින් බුදුදහමට එකතුකරගත් අදහස් යයි ඔහු පවසා තිබේ. ලංකාවේ ඇතැම් බෞද්ධ උගත්තු බුද්ධාගම ගැන අදහස් දක්වන අවස්ථාවල ස්ටෙෆන් බැචලර්ගේ අදහස් ඉතාම ගරු සරු ඇතිව සඳහන් කරති.  
 

More News..