brand logo

ඔය ප්‍රශ්නයට පිළිතුරු දෙන්න කැමති නැහැ

20 November 2022

ජනප්‍රිය නිළිය වෙයි කියලා බලාපොරොත්තුවක් නැහැ

26 වැනි උපන් දිනය උත්සවාකාරයෙන් සැමරුවා

සැමියා වීඩියෝ තාක්ෂණයෙන් කේක් එක කපන්න එකතු වුණා

කලා ලෝකයේ තරු අතර සංජානා ගමආරච්චි කියන්නේ පුවත් මවන චරිතයක්. වරෙක ප්‍රසිද්ධ මාධ්‍යයකට පැවසූ කතාවක් නිසා සංජානා ගැන බොහෝ දෙනා කතා වුණා. ඊටත් පස්සෙ ඇය හා ටෙලි නාට්‍ය, සමාජ මාධ්‍ය හා ඡායාරුපවල පෙනී සිටි රංගන ශිල්පියෙකු හා ඇගේ නම ඈඳමින් කතාවක් පැතිරුණා. ඉන්පසු සංජානා සිය විවාහ ගිවිස ගැනීම වෙනස්ම ආකාරයට සිදුකරමින් සමාජයේ අවධානයට පාත්‍ර වුණා. ඊයේ පෙරේදා සිය 26 වැනි උපන් දිනය සුපිරි ලෙස සැමරීමත් සමගම ඒ ගැනත් ගොඩක් දෙනා කතා කළා. මේ දිනවල ජනප්‍රිය චරිත දෙකක පෙම් කතාවකට සංජානාගේ නමත් ඈඳිලා. මේ හැමදේම නිසා අපි සංජානා එක්ක කතාබහ කළා. මේ වසරේදි ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළිය සම්මානය ඔබට හිමිවෙයි කියලා හිතෙන්නේ නැද්ද? මට එහෙම හිතෙන්නෙ නැහැ. සම්මාන ගැන ලොකු බලාපොරොත්තුවක් නැහැ. වර්තමානයේදී සම්මාන ලැබෙන්නේ ලැබිය යුත්තාටමද කියලා හිතෙන තත්ත්වයක්නේ තියෙන්නෙ. කොහොමටත් මම මේ වසරේ ජනප්‍රිය නිළිය වෙයි කියලා කොහෙත්ම බලාපොරොත්තුවක් නැහැ. රංගන ශිල්පිනියක් විදිහට සම්මානයක් හිමිවෙන එක සතුටක්. සම්මානයක් ලැබුණොත් එය ගෞරවයෙන් බාරගන්නවා. ටීනාගේ චරිතයට ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා නේද? ඔව්. ටීනාගේ චරිතය ගොඩක් ජනප්‍රියයි. ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක් අය මට ටීනා කියල කතාකරනවත් එක්ක. පසුගියදා ඔබ පැවැත්වූ උපන්දින සාදය ගැනත් කතාබහට ලක්වෙලා නේද? අවුරුදු ගාණකින් මගේ උපන්දිනය උත්සවාකාරයෙන් සමරල තිබුණේ නැහැ. ඉතින් මට හිතුණා මේ උපන්දිනය මගේ සමීපතම අය, යාළුවො පිරිවරාගෙන සතුටින් සමරන්න. ඒ නිසා මම මගේ 26 වැනි උපන්දිනය උත්සවාකාරයෙන් ගත්තා. සමහරු නම් දොස් කියනවා රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි මොනවද ඔය කරන විකාර කියලා. මේක මගේ ආසාවක්. ඉතින් මම හිතන්නෙ නැහැ ඒකෙ වරදක් තියෙනවා කියලා. මගේ උපන්දිනය දා වැඩිහිටි නිවාසයකට දානයක් දුන්නා. මගේ අම්මා මියගිය දිනයේදිත් ඇය වෙනුවෙන් පින් අනුමෝදන් කරමින් සෑම වසරකම මහරගම අපේක්ෂා රෝහලට කිරිපිටි බෙදාදීමක් කරනවා. ප්‍රසිද්ධ නොකළාට මම හැකි අයුරින් ඒ දේවල් කරනවා. උත්සවාකාරයෙන් සමරපු උපන් දිනය සාදයේදී ඔබේ සැමියා ළඟ හිටියේ නැහැ නේද? ඔහු ඉන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ. ඔහුගේ විභාග කටයුතු නිසා මගේ උපන් දිනය වෙනුවෙන් ලංකාවට පැමිණීමට නොහැකි වුණා. නමුත් උපන්දින කේක් එක කපන වෙලාවේ එයා වීඩියෝ කෝල් එකකින් අපිත් එක්ක සම්බන්ධ වුණා. සංජානාගෙ විවාහ මංගල උත්සවය පවත්වන්නේ කවදාද? ලබන වසරේ විවාහ මංගල්‍යය ගන්න හිතාගෙන ඉන්නවා. ගොඩක් අය අහනවා විවාහ උත්සවය ගන්නේ කොහේද කොයි විදිහටද කියලා. මංගල උත්සවය පවත්වන්නේ කොහොමද කියලා දැනට විශේෂ අදහසක් නැහැ. ඒ ගැන විස්තර විවාහ උත්සවය ළං වෙලාම කියන එක හොඳයි කියලයි මම හිතන්නේ. විවාහයෙන් පසු සංජානා විදේශගත වෙනවාද? ඒ ගැන තවම තීරණය කරලා නැහැ. පවුල් ජීවිතය හොඳින් ගෙවන එක තමයි මූලික අරමුණ. රංගන ශිල්පිනියක් විදිහටත් ඉදිරියටත් මම වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොම වුණත් මම මුල්තැන දෙන්නේ පවුල් ජීවිතයටයි. සංජානාට කටකතා හැදෙන එක ගැන මොකද හිතන්නේ? මිනිස්සුන්ට කටකතා හදලා අපහාස කරලා, මඩ ගහලා සමහරු සතුටක් ලබනවා. සමහර වෙලාවට තමන්ට හිතෙන දේවල් කියනවා වගේම ඇත්ත විකෘති කරලා ප්‍රසිද්ධ කරනවා. අපි ගැන කතා හැදෙන්න හැදෙන්න ප්‍රසිද්ධිය වැඩිවෙනවා. රංගනයට ආපු මුල් කාලෙ නම් කටකතාවක් කියවුණොත් මං ඒ ගැන ගොඩක් හිතුවා. දැන් නම් මම ඒවා ගණන් ගන්නෙ නැහැ. අනුන්ගේ දේවල් හොයන්නෙ නැතිව තමන්ගෙ දෙයක් හරියට කරගන්නයි ඕනේ. ජනප්‍රිය පෙම් යුවළකගේ ආදර කතාව මැද්දට ඔබේ නමත් ඈඳමින් සමාජ මාධ්‍ය තුළ කතාබහක් ඇතිවෙලා නේද? මම කැමති මං ගැන කතා කරන්නයි. ඇයි අනුන් ගැන කතා කරන්නේ? ඒ නිසා ඔය ප්‍රශ්නයට පිළිතුරු දෙන්න කැමති නැහැ. ධම්මිකා සුරංජි පතිරණ  
 

More News..